මරණය සැක සහිත බවට රංග නිශාන්තගේ බිරිඳ කියන බව ගම්මන්පිල මාධ්‍ය හමුවේ දී කියයි
අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ ඉලංගරත්න බණ්ඩා, අජිත් ජයසේන, සම්පත් සේනතුංග සහ ගාමිණී දිසානායක කියන අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවකින්. මේ කමිටුව නිගමනය කරලා තියෙන්නේ කැපුම් තුවාල ගණනාවකින් අධික ලෙස ලේ වහනය වීමෙන් මරණය සිදු වුණා, බොහෝ විට සිය දිවි නසා ගැනීමක් විය හැකිය.
උදය ගම්මන්පිල මහතා අද (මැයි 04 වනදා) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.
ඔහු විසින් කරණ ලද සම්පූර්ණ ප්‍රකාශය
නමුත් මැරුණාද? මැරුවාද? කියන සංවාදය සමාජයේ තිබෙන අතර, පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැන්නේ ඇයිදැයි කියලා අපිට මේ පරීක්ෂණ කමිටුවෙන් අහන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ මරණයේ සැකය ආණ්ඩුව වෙත යොමු වෙලා තියෙන පසුබිමක, මරණ පරීක්ෂණය කරන්නත් කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සිය දිවි හානිකර ගැනීමක් කියලා රටට ප්‍රකාශ කළ පසුබිමක පශ්චාත් මරණ පරීක්ෂණ මණ්ඩලය පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතුව තිබුණා.
රංග නිශාන්ත මහතා තමයි මේ පරිගණක වංචාව සොයාගත්තේ. ඔහු තමයි මේ පිළිබඳ රහස් පොලිසියට පැමිණිලි කළේ. පොලිස් විමර්ශනයක වැදගත්ම ලේඛනය තමයි මුල් පැමිණිල්ල. ඒ නිසා මුල් පැමිණිල්ල කළ පැමිණිලිකරුවා අභිරහස් ලෙස මියයෑම මේ විමර්ශනය ඉදිරියට ගෙන යාමට දැවැන්ත බාධාවක්.
එහෙමනම් එවැනි පසුබිමක මේ මරණය පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම පුද්ගලයෙක් තුළ ඇති වෙනවා. එවැනි පසුබිමක පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැනීම අතිශයින්ම ප්‍රශ්නකාරී, ගැටලු සහගතයි.
පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකළා කියලා අපි කියන්නේ ඇයි? පැතලොජි නැතිනම් පටක වේදය, ඒ වගේම ටොක්සිලොජි නැතිනම් විෂ වේදය පිළිබඳ පරීක්ෂණ නොකර තමයි මේ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුව මේ මරණය බොහෝ දුරට සිය දිවි හානිකර ගැනීමක් විය හැක කියලා තීන්දුවක් දීලා තියෙන්නේ.
ඇත්තෙන්ම මහේස්ත්‍රාත්තුමා නියෝග කළා ශරීර කොටස්, ලේ සහ මුත්‍රා පරීක්ෂාවට යවන්න. ඒ පරීක්ෂාවට යැවීමට නියෝග කිරීමෙන් මහේස්ත්‍රාත්තුමා බලාපොරොත්තු වුණේ මේ පුද්ගලයාගේ ශරීරය තුළ වසක් විසක් තිබෙනවාද නැද්ද කියන එක තහවුරු කරගන්න. මොකද කාට හරි පුළුවන් සිහිය නැති වෙන්න වසක් විසක් ශරීරයට ලබා දීලා, ඔහු අවසිහියෙන් ඉන්න අතරේ ඔහුගේ අතේ පිහිය තබලා වෙනත් පුද්ගලයෙක් විසින් අර කැපුම් තුවාල ඇති කරන්න. කරලා ඔහුගේ ඇඟිලි සලකුණු මකලා අර පිහිය අතේ තියලා පැනලා යන්න.
ඒ නිසා ඇත්තටම වසක් විසක් ශරීරගත වී තිබුණාද නැද්ද කියන එක තහවුරු කරගන්නා තුරුම මෙය සිය දිවි හානිකර ගැනීමක්ද නැතිනම් මිනීමැරුමක්ද කියන එක කාටවත්ම තහවුරු කරන්න බැහැ. අන්න ඒ නිසා තමයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මණ්ඩලයත් මෙය සිය දිවි හානිකර ගැනීමක් කියලා නිශ්චිතව නොකියා සිය දිවි හානිකර ගැනීමක් විය හැකියි කියලා අඩමානෙට කිව්වේ.
ඒ වගේම පිහියෙන් කපා ගත්තාද නැතිනම් සිය දිවි හානිකර ගැනීමක් ලෙස පෙනෙන අයුරින් පිහියකින් කැපුවාද කියන ප්‍රශ්නය සමාජයේ මතුවෙලා තියෙන පසුබිමක, ඒ පිහියේ රංග නිශාන්තගේ හැර වෙනත් අයෙකුගේ ඇඟිලි සලකුණු තිබුණාද නැද්ද කියන එක තහවුරු කරගත යුතුව තිබුණා. එහෙමනම් ඒ පිහියේ ඇඟිලි සලකුණු පරීක්ෂාවට රජයේ රස පරීක්ෂක වෙත යවලා ඒ තොරතුරු ලැබෙන්නත් කලින් "සිය දිවි හානිකර ගැනීමක් විය හැකියි" කියලා පරීක්ෂණ මණ්ඩලය කිව්වේ ඇයි?
අර ඇඟිලි සලකුණු වාර්තාව එනතුරු පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න බැරි වුණේ පරීක්ෂණ මණ්ඩලයට කාගේ හරි ප්‍රබලයෙක්ගේ බලපෑමක් එල්ල වුණාද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.
ඒ වගේමයි තවත් දෙයක්. ඇඳුම්වල ලේ පැල්ලම් තිබුණා නම් ඒ ලේ රංග නිශාන්තගෙමද, එහෙම නැතිනම් වෙනත් පුද්ගලයෙක්ගේ ලෙත් ඒ ලේ පැල්ලම් අතර තියෙනවාද කියන එකත් නිගමනයකට එළඹීමට කලින් පශ්චාත් මරණ පරීක්ෂණ මණ්ඩලය විසින් සොයාගත යුතුව තිබුණා.
අපි දන්නවා මේ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරුන් හතර දෙනාගෙන් තුන්දෙනෙක්ම පශ්චාත් පුහුණුව ලබා තිබෙන්නේ ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාවෙයි. අපි ඒ වෛද්‍යවරුන්ගෙන් ඉතාම ගෞරවයෙන් අහනවා, ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න ඉගැන්නුවේ ඔය ක්‍රමයටද? නිසි සාක්ෂි විමසීමක් නැතුව පරීක්ෂණවල ප්‍රතිඵල එන්න කලින් නිගමනවලට පැනීමේ ක්‍රමවේදයක්ද ශිෂ්‍යත්වවලින් විදේශ රටවලට ගිහිල්ලා ඉගෙන ගත්තේ කියලා අපිට ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.
ලෝකයේ ජනප්‍රියතම සිය දිවි නසා ගැනීමේ ක්‍රම තමයි එල්ලී මැරීම, වස පානය කිරීම, වෙඩි තබා ගැනීම, ගිනි තබා ගැනීම සහ දුම්රියට පැනීම. මෙවැනි මරණය නිශ්චිත ලෝකයේ ජනප්‍රිය ක්‍රම ගණනාවක්ම තිබියෙදී අපි කලින් අහලවත් නැති නහර තුනක් කපා ගැනීම, බල නහර තුනක් කපා ගැනීමට රංග නිශාන්ත සිය දිවි හානිකර ගැනීමක් කරා නම් පෙළඹෙයිද? අපි දන්නවා එක අතක් කපලා ඒකෙන් ලේ විදිද්දී දැඩි වේදනාවක් දැනෙද්දී ඔහුට චිත්ත ශක්තියක් තිබ්බේ කොහොමද තවත් කකුල් දෙකක්ම කපාගන්න?
සාමාන්‍යයෙන් බලනහරයක් කැපිලා ලේ විදිනකොට ඇතිවන අවසිහි ගතියත්, දැවැන්ත වේදනාවත් නිසා එවැනි තවත් අනතුරු කර ගැනීමට චිත්ත ධෛර්යයක් තිබීමට ඉඩක් නැහැයි කියන එක තමයි විශේෂඥ වෛද්‍ය මතය. මෙතරම් දුරට සැක සහිත මරණයක් වෙලා තිබියදී, විශේෂයෙන්ම රංග නිශාන්ත මහතාගේ බිරිඳ පොලිසියට පැමිණිලි කරලා කියනවා මේ මරණය සැක සහිතයි කියලා. එම කරුණ කුලියාපිටිය මහේස්ත්‍රාත්තුමා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවූ ලිපියේත් සඳහන් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුව පත් කරන ලිපියේත්, බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති මරණයේ සැක සහිත බව සඳහන් වෙනවා. එවැනි පසුබිමක, මේ පරීක්ෂණ මණ්ඩලය පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැන්නේ ඇයිද කියන එක අපි යළි යළිත් ප්‍රශ්න කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවේ පසුබිමත් ඉතා වැදගත්. වෙළෙඳපොළේ තක්කාලි තෝරනවා වගේ තමන්ට ඕනෑ කට්ටිය තෝරා ගැනීමෙන් තමයි මේ පරීක්ෂණ මණ්ඩලය පත් කරලා තියෙන්නේ. පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක්ම විශ්වවිද්‍යාල සමයේ දැඩි ජවිපෙ ක්‍රියාකාරීන්. ඔවුන් තවමත් ජවිපෙ ක්‍රියාකාරීන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ.
එමෙන්ම එක් වෛද්‍යවරයෙක් වත්මන් කතානායකතුමාගේ වෛද්‍ය විද්‍යාල සමකාලීනයෙක් වගේම මිතුරෙක්. ආණ්ඩුව දෙසට සැකය යොමු වෙලා තිබෙන පසුබිමක, ඒ සැකය දුරු කිරීමට සැබෑ ස්වාධීන මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා වෙනුවට මිතුරන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරගත්තේ ඇයිද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා.
මේ නිසා:
-
පරීක්ෂණ මණ්ඩලයේ පසුබිම
-
තෝරාගැනීම පදනම් විරහිත වීම
-
මරණය සැක සහිත බවට බිරිඳ කළ පැමිණිල්ල
-
මරණය පිළිබඳ සැක කිරීමට හේතු රාශියක් තිබීම
-
පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකිරීම
යන කාරණා පහ මත පදනම් වෙලා අපි මේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුවට ජනතාවගේ විශ්වාසය යළි දිනා ගැනීමට අවශ්‍ය නම්, මරණයේ තිත්ත ඇත්ත ජනතාව දැනගන්නවාට කැමති නම්, ආණ්ඩුව කළ යුත්තේ ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයකින් දෙවන පරීක්ෂණයක් සිදු කිරීමයි. ඒ සඳහා අපි යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් තුන්දෙනාගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවයි. එසේ නොකළහොත් ආණ්ඩුව දෙසට එල්ල වී තිබෙන සැකය කවදාවත් තුරන් කරන්න ලැබෙන්නේ නැහැ.
පරිගණක වංචාකරුවන්ගේ අළුත්ම තිප්පොල ලංකාව නිසා ආයෝජකයින් බියට පත් වේ.
පෙරේදා දිනයේ පරිගණක වංචාකරුවන් වන විදේශිකයන් 157 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. පසුගිය මාස හතර තුළ එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. මාලිමා ආණ්ඩුව බලයට පැමිණියාට පස්සේ රට තුළ අත්අඩංගුවට ගත් විදේශීය පරිගණක අපරාධකරුවන් ගණන 1000කටත් වඩා වැඩියි. මේ අතර චීන ජාතිකයන්, ඉන්දියානුවන්, මැලේසියානුවන්, පිලිපීන ජාතිකයන් වගේම මියන්මාර ජාතිකයනුත් ඉන්නවා.
ඇත්තෙන්ම මේ විදේශීය පරිගණක අපරාධකරුවන් ලංකාවේ බහුල වීමේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාව තුළ පරිගණක අපරාධ පිම්මේ වැඩෙනවා. පොලිස් වාර්තාවලට අනුව:
- 2024දී පරිගණක වංචා පිළිබඳ පොලිස් පැමිණිලි 7210ක් වුණා.
- ඒක 2025දී 12,650 දක්වා ඉහළ නැගලා තිබෙනවා.
ඓතිහාසිකව පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළවල් බවට පත් වුණේ කාම්බෝජය සහ මියන්මාරයයි. නමුත් අවාසනාවකට පසුගිය වසර තුළ ඒක ක්‍රමයෙන් ශ්‍රී ලංකාව බවට පත් වෙමින් තිබෙනවා. සමහර විට පරිගණක අපරාධකරුවන්ගේ නැත්නම් හැකර්වරුන්ගේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පැවතීම නිසා අපේ පුරවැසියන් ලංකාවේ බලය අල්ලලා දැන් අපිට අපේ ජාවාරම කරගෙන යන්න ලොව තිබෙන හොඳම ස්ථානය ලංකාවයි කියන නිගමනයට ඔවුන් එළඹුණා වෙන්න පුළුවන්.
ඇත්තෙන්ම පසුගිය කාලයේ ආණ්ඩුව තුළ පරිගණක වංචාවන් ගණනාවක් වාර්තා වුණා:
• NDB බැංකුවේ කෝටි 1320ක වංචාවක් සිද්ධ වුණා.
• භාණ්ඩාගාරයේ සිදුවුණ වංචාව කෝටි 80කට වැඩියි.
• තැපැල් දෙපාර්තමේන්තුවේ කෝටි 20ක වංචාවක් සිද්ධ වුණා.
• මාර්ග සංවර්ධන අධිකාරියේ කෝටි 5ක වංචාවක් සිද්ධ වුණා.
පෞද්ගලික අංශය ගත්තොත්:
• කොමර්ෂල් බැංකුවේ කෝටි 600ක වංචාවක් සිද්ධ වුණා.
• කාගිල්ස් බැංකුවේ ටෙරාබයිට් දෙකක දැවැන්ත දත්ත සොරකමක් සිද්ධ වුණා.
ඒ නිසා පරිගණක වංචාකරුවන් ලංකාවට පැමිණීමේ රස්නය දැන් සමස්ත රටටම දැනෙමින් තිබෙනවා කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. ලංකාවේ වරින් වර නිරන්තරයෙන් විදේශීය පරිගණක අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීම මේ වන විට නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා.
ලෝකයේ ඉන්න හැකර්වරුන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත් වුණා කියන එකෙන් වඩාත්ම තැති ගැන්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලා ඉන්න, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ආයෝජකයෝයි. ඒ නිසා ඒ අය තමන්ගේ ආයෝජන හකුළාගෙන වෙනත් රටකට යන්න ඉඩ තියෙනවා. ලංකාවට එන්න ඉන්න ආයෝජකයා ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටක් තෝරාගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පරිගණක අපරාධකරුවන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත්වීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළොත් ආයෝජන මණ්ඩලය කෙතරම් මුදල් වියදම් කළත්, කෙතරම් ප්‍රවර්ධන කටයුතු කළත්, කෙතරම් බදු සහන දිරිගැන්වීම් ලබා දුන්නත් ආයෝජකයෝ නම් ලංකාවට එන එකක් නැහැ.
ඒ වගේම හැකර්වරුන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ආණ්ඩුව හැකර්වරුන්ගේ ආණ්ඩුවක් වුණු නිසාම නෙවෙයි, ලංකාවේ හැකර්වරුන්ට හිතකර වාතාවරණයක් තිබෙන නිසායි. ඇයි අපි එහෙම කියන්නේ? අද ලංකාවට ඕනෑම පුද්ගලයෙකුට හරි පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්. ලංකාවට එන ගමන්ම ඔන්ලයින් වීසා එකක් ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. එහෙම නැත්නම් ලංකාවට පැමිණි විගස ඕනෑම විදේශිකයෙකුට දින 30ක වීසාවක් ලබා දෙනවා. ඒක මාස 9ක් දක්වා වරින් වර දීර්ඝ කරන්නත් පුළුවන්.
දැන් සමහරු කියන්න පුළුවන් "ඇයි ඉතින් සිංගප්පූරුවෙත් එහෙමනේ? සිංගප්පූරුවට ගිය ගමන් දින 30ක වීසා ලබා දෙනවානේ" කියලා. ඇත්ත. හැබැයි සිංගප්පූරුවේ ඉහළම තාක්ෂණය භාවිතා කරන අතිශයින් බලසම්පන්න බුද්ධි සේවාවක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ කොහේ හරි අපරාධයක් කරන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ දත්ත බැංකුවේ යාවත්කාලීන කෙරෙනවා. ඔවුන්ගේ කළු ලැයිස්තුවක් තියෙනවා. ඒ කළු ලැයිස්තුවේ සඳහන් නමක් ගුවන්තොටුපොළට ආවොත් ඔවුන්ට වීසා ලබා නොදීමටයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ පරිගණක පද්ධතියෙන් වීසා අවසන් වුණු වහාම අහවල් පුද්ගලයා වීසා නැතුව ඉන්නවාය කියන පණිවිඩය බලධාරීන්ට ලබා දෙනවා. එතකොට බලධාරීන් ගිහිල්ලා ඒ අය අත්අඩංගුවට අරගෙන රටින් පිටමන් කරනවා විතරක් නෙවෙයි, නැවත සිංගප්පූරුවට ඇතුළු වෙන්නත් ඉඩ දෙන්නේ නැහැ.
