උණුසුම් පුවත්දේශපාලන

රට ගොඩනඟන්න දැවැන්ත මෙහෙයුමක් අවශ්‍ය යි – ටිල්වින් සිල්වා

අපි මේ අවුරුද්දේ රටේ පාලනය වෙනස් කරනවා - පුත්තලම කාන්තා සමුළුවේ දී ජවිපෙ ප්රධාන ලේකම් කියයි

මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරාගෙන අපේ රටට අලුත් පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු සහිතව වැඩකරන පිරිසක්. ඒ නිසා අපි කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කරන්න “ගැහැනු අපි එක මිටට” කාන්තා සමුළු පවත්වමින් යනවා. මේක කාන්තාවන් එකතු වෙලා තමන්ගෙ ධෛර්යය, ශක්තිය පෙන්වමින් මුළු රටම පෙළගස්වමින් යන වෙලාවක්. ඒ වෙලාවෙ පුත්තලම වගේ දිස්ත්‍රික්කයක මෙතරම් විශාල පිරිසක් එකතු කර ගන්න ලැබීම රටම ජයග්‍රහණය කරන කොට ඒ සමගින් පුත්තලමත් එකතු වෙන්න ලැහැස්තියි කියන එක, පුත්තලමේ ගැහැනුත් ජයග්‍රහණය සඳහා පෙළගැහෙන්න සූදානම් කියන එක පෙන්වා දී තිබෙනවා.
අපි මේ අවුරුද්දේ රටේ පාලනයේ වෙනසක් කරන්න යනවා. අලුත් ආණ්ඩුවක් හදන්න. මේ අලුත් ආණ්ඩුවක් විතරක් නොවෙයි අපි හදන්න යන්නේ. මීට ප්‍රථමත් ආණ්ඩු හැදුවා. ඒවා අලුත් ආණ්ඩු වුණාට අපේ රටට අලුත් වුණේ නැහැ. අපේ ජීවිත අලුත් කළේ නැහැ. මේ අපි හදන්න යන්නේ අලුත් ආණ්ඩුවක් විතරක් නොවෙයි. අපට ඕන වෙලා තිබෙනවා අපි ඔකකෝම එකතු වෙලා මේ වට්ටපු රට ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්න. ජනතාව ඒකරාශී කරගෙන ජාතික පිබිදීමක්, ජාතික පුනර්ජීවනයක් කරා මේ රට වෙනස් කිරීම සඳහා ගමනක යන්න. අපි විශාල කර්යභාරයක් පවරාගෙන තිබෙනවා. මේ වෙන්න යන්නේ සරල වෙනසක් නොවෙයි; අපේ ආර්ථිකයේ, සමාජයේ සහ ජීවිතයේ විශාල ගුණාත්මක වෙනසක්.අපේ රටේ ගැහැනු බලවේගයක් ලෙස එකතු කරන්නේ ඡන්දෙ ගන්න විතරක් නොවෙයි. මෙතෙක් කල් අපේ රටේ කාන්තාවෝ පාවිච්චි කළේ ඡන්දෙ ගන්න විතරයි. මේ එකතු කරන්නේ, ඡන්දෙ අරගෙන ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව එක්ක අත්වැල් බැඳගෙන වඩා සාධාරණ සමාජයක් නිර්මාණය කරන්නයි; ගැහැනුන්ට ආරක්ෂාව තිබෙන, ගැහැනුන් හැකියාවන් පිළිබඳ ඇගයීමක් තිබෙන, ගැහැනුන්ට ගරුත්වය තිබෙන අපි හැමෝටම මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි අලුත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා කාන්තාව සක්‍රීයව දායක කර ගන්නයි. අපේ රටේ වට්ටපු ආර්ථිකයක් තිබෙනවා ගොඩගන්න. අවුරුදු 76ක් තිස්සේ අපේ රට වට්ටලා තිබෙන්නේ. අපි මුහුණපාන ප්‍රශ්නවලට ආරම්භක හේතුව ඒක. 2022 අප්‍රෙල් මාසෙ ආණ්ඩුව නිල වශයෙන් ලංකාව බංකොලොත් කළා. අපේ රට ගෙවා ගන්න බැරිතරම් ණය කන්දක හිරකළා. තාමත් අපි ණය ගෙවන්නේ නැතිව ජීවත් වෙනවා. මේ දවස්වල පොඩි සහනයක් වගේ දැනෙන්නේ ආණ්ඩුව ණය නොගෙවීම නිසා ඇති තත්වයයි.මීට වසර දෙකකට කලින් ෂෙඩ්වල තෙල් තිබුණේ නැහැ. අවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. නිෂ්පාදනය කරන්නේ නැහැ. ණයට කාල ජීවත් වුණේ. අතේ ඩොලර් ටිකක් තියෙනවා. ණය ගෙවන්නයි බඩු ගේන්නයි දෙකම කරන්න බැරිව ගියා. 2022 කාලේ තෙල් නැව මුහුදේ තිබෙනවා. තෙල් ටික බාගන්න ආණ්ඩුව ඩොලර් 300ක් 400ක් සොයා ගන්නකම් නැව මුහුදේ තියාගෙන ඉන්නවා. වාහන තිබෙන අය ෂෙඩ් එක ළඟ පෝලිමේ ඉන්නවා. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කළා රට බංකොලොත් කියා ප්‍රකාශ කොට ණය නොගෙවා ඉන්න. ඒ නිසා අතේ තිබෙන ඩොලර් ටිකෙන් බඩු ටිකක් ගේන්න පුළුවන්. හැබැයි අපි ඊළඟ මාසෙ ඉඳලා ණය ගෙවන්න පටන් ගන්න ඕනෑ. බන්දුල ගුණවර්ධන මහතාම කිවුවා ආයි ණය ගෙවන්න පටන් ගත්තාම මේ තියෙන සනීපෙ නැතිවෙනවා කියලා. තියෙන සල්ලි ටික ණය ගෙවන්නයි, බඩු ගේන්නයි දෙකටම මදි. මේ විදිහට තවදුරටත් යන්න බැහැ.මේක වෙනස් කරන්න ඕනෑ. අපට ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් ඕනෑ. ඒකට බලවේගයක් ලෙස කාන්තාවෝ දායක කර ගන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. දැනටමත් අපේ ආර්ථිකයේ විශාල පංගුවක් උපයන්නේ කාන්තාවෝ. එසේ වුවත් එයාලට සමාජ ඇගයීම, සමාජ අවධානය යොමු වී නැහැ. අඩුතරමින් සමාජය එය පිළිඅරගෙන නැහැ. තේ ගස්වල දළු නෙළලා, රබර් කට්ටියේ කිරි කපලා, මැදපෙරදිග රස්සා කරලා, ඇඟලුම් කම්හලේ වැඩකරලා, උපයන ඩොලර් ටික පාලකයෝ කණ්ඩායමක් නාස්ති කරලා තියෙනවා. මහන්සි වුණු ජනතාව දුකට පත්වෙලා තිබෙනවා. ඒක වෙනස් කරන්න, ආණ්ඩුවක් වෙනස් කරන්න අපි හදන්නේ. අපි මේ කතාකරන්නේ අවුරුදු 76කට පස්සේ අපේ ඉතිහාසය වෙනස් කරලා, ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමේ අභියස සිටගෙනයි. ආණ්ඩුවක් හදන එක විතරක් නොවෙයි ඔබ සියලු දෙනා ඒ ආණ්ඩුවත් එක්ක රට හදන්න එකතුවෙන කොටස්කාරයෝ. අපේ ජීවිත කාලය තුළ අපේ දුක නිමාකරලා රට ගොඩගැනීමේ කාර්යයකට අපි සියලු දෙනාටම සජීවීව සම්බන්ධ වෙන්න ලැබීමම අපේ ජීවිතයට ලැබුණු එක්තරා භාග්‍යයක්.මේ දිනවල ප්‍රවෘත්තියක් යනවා ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් තියන්න ඕනෑ කියලා. පසුගිය 05දා බැසිල් රාජපක්ෂ ලංකාවට ආවා. මේ ආවේ රටේ මිනිස්සුන්ට අමාරුයි රට බේරා ගන්නද? පසුගිය කාලයේ ආණ්ඩුව විදුලි ගාස්තු වැඩිකරලා, තෙල් මිල වැඩි කරලා, වැට් එක වැඩි කළා, බදු වැඩි කළා, බඩුමිල වැඩිවුණා කාන්තාවන්ට විශාල දුෂ්කරතාවයක් හැදුවා. ඒ වෙලාවේ බැසිල්ලා ආවේ නැහැ. මේ වෙලාවේ බැසිල් ආවේ රාජපක්ෂ පවුල බේරාගන්න. රාජපක්ෂ පවුලේ ඔටුනු ගැලවෙන්න යන්නේ. සිංහාසනයෙන් බහින්න සිදුවෙලා තිබෙනවා. බලය අත්හැරපු ගමන් යන්න වෙන්නේ මහඋළු ගෙදර යන්න වෙන බව දන්නවා. දැන් පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් තියන්න යෝජනා කරනවා. මේ ජනතාවට ආදරයෙන් ගේන යෝජනා නොවෙයි. ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණය තියන්න ඕනෙ ලබන අවුරුද්දේ. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 17ට කලින් සැප්තැම්බර් මාසේ 17ට පස්සේ සෙනසුරාදාවක අපේ රටේ ජනාධිපතිවරණය තියන්න ඕනෑ. රටේ කරන ලද සමීක්ෂණ වාර්තා, ජනතා ප්‍රතිචාර සියල්ල ගත්විට ඉර හඳ වගේ පැහැදිලියි, ජාතික ජන බලවේගයේ අපේක්ෂක, අනුර දිසානායක සහෝදරයා දිනවන්න අපේ රටේ ජනතාව පෙළ ගැසී ඉන්නවා කියන එක. ඒක වළක්වන්න බැරි නිසා මන්ත්‍රීකම් ටිකක්වත් බේරා ගන්න මහ ඡන්දය තියන්න යෝජනා කරනවා. ජනාධිපතිවරණයේදී එයාලට ඉල්ලන්න අපේක්ෂකයෙක්වත් නැහැ. රටක් වැටිලා, ආර්ථිකය සමතලා වෙලා, ණය බරින් මිරිකිලා, ජනතාවට තුන්වේල කන්න බැරිවෙලා, බදු මිල වැඩිවෙලා, දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බැරිවෙලා, රට පුරා විෂ මත්ද්‍රව්‍ය පැතිරිලා, අපරාධ පැතිරිලා, ඒක බේරා ගන්න උත්සාහ කරන්නේ නැතිව තමන්ගෙන් ගිලිහෙන්න යන පාලනය බේරා ගන්න දඟලනවා.අපේ පාලකයෝ හැමදාම හිතුවෙත් දැන් හිතන්නෙත් ජනතාවගේ බඩ ගැන නොවෙයි තමන් ගැන. මෙයාලා මේතරම් බලයට කෑදර ඇයි? ඒ ගොල්ලන්ට බලය කියන්නේ ධනය. එයාලා බලය පාවිච්චි කරලා තමයි ධනය උත්පාදනය කරන්නේ. ඡන්ද කාලයේදි අර එකතු කරපු ධනය ටිකක් වියදම් කරලා ආයිමත් බලය ගන්නවා. සජිත් පේමදාස මේ දවස්වල හට් ගහලා හාල් මිටි පේන්න තියනවා. හරියට සත්තු දඩයම් කරන්න තියෙනවා වගේ. කුරුල්ලා අල්ල ගන්න උගුල අටවලා ඒකට වී ටිකක් දාලා තියනවා වගේ හාල් මිටි පේන්න තියලා. පස්දෙනෙක් ඉන්න ගෙදරකට දවස් 05ක් කන්න හාල් කිලෝ 10ක් දීලා, ඒගොල්ලෝ අවුරුදු පහකට රට ඉල්ලා ගන්නවා. ඒ අවුරුදු පහේම ජනතාව බැන බැන හූල්ල හූල්ල ඉන්නවා. අපි ඒක වෙනස් කරන්න ඕනෙ නැද්ද? අපි කියන්න ඕනෑ ඒ ඉතිහාසය ඉවරයි, මාලිමාව දිනවලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා. අපේ මහජන මුදල්වලින් දෙන ඒවා ගන්න. හැබැයි වැරදි දේශපාලන තීන්දුවක් ගන්න එපා. එයාලා හැමදාම ජනතාව දුප්පත්කමේ තියලා, මානසිකව අපව වට්ටලා ඒ දුප්පත්කම පාවිච්චි කරනවා ඡන්දෙ ගන්න. මේක සමාජයට කර තිබෙන අපරාධයක්. මේ අපරාධයෙන් අපි සමාජය ගලවා ගන්න ඕනෑ

මේ පාලකයෝ රට හදන අයවත් ජනතාවගේ හැඟීම් තේරුම් ගන්නා අයවත් නොවෙයි; නිර්වින්දනය කළ කට්ටියක්. අපේ රටේ ජනතාව පාරට බැස්සා, විශාල උද්ඝෝණයක් තිබ්බා මේ පාලනයට එරෙහිව. ජනාධිපතිවරයා එළවා දමන මට්ටමේ උද්ඝෝෂණයක්. ඒ අරගලයේ තිබුණු එක කරුණක් තමයි, මේ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියන එක. වංචා, දූෂණ, හොරකම නවත්වන්න කියන එක තිබුණා. දේශපාලකයා වරප්‍රසාද ගන්න එක වැරදියි කියන එක තිබුණා. මහජන මුදල් නාස්ති කරන එක වැරදියි කියන මතයක් තිබුණා. මහජනතාවගේ දැවැන්ත නැගිටීමක් වුණාට පසුව වත් මේ ගොල්ලෝ පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවක් තිබෙනවා. ඒකෙන් කරන්නේ රාජ්‍ය ආයතනවල ගිණුම් පරීක්ෂා කරලා, එවායේ වංචා, දූෂණ පිළිබඳව සොයා ගන්න. රනිල් - රාජපක්ෂලාගේ ආණ්ඩුව ඒ කොප් සභාවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන පත් කළා. රෝහිතට නඩුවක් තිබුණා. රුපියල් කෝටි 45ක වත්කම් තිබෙනවා, උපයාගත් ක්‍රමය කියාදෙන්න තේරෙන්නේ නැහැ. ඒක උපයා ගත්තේ කෙසේද කියා දැනගන්න නඩුවක් දමා තිබුණා. නඩුව පැවරීමේ තිබූ දුර්වලතා නිසා නඩුව ඉවත දැමුණා. ඒ රෝහිත හොරු අල්ලන එකේ සභාපති. අද හොරු කෝප් කමිටුව අල්ලගෙන. කෝප් කමිටුවට රෝහිත වගේ කෙනෙක් දාන එක වැරදි බව රනිල්ට දැනෙන්නේ නැතිනම්, ජනතා මතයට අභියෝග කරනවා නම්, ඒ ගොල්ලෝ කවදාවත් ජනතාව ගැන හිතන්නේ නැහැ. ඊයේ පුවත්පතක ප්‍රවෘත්තියක් තියෙනවා සීනෝර් එකේ සභාපති ඉල්ලා අස්වෙලා, කියලා. ඒකට හේතුව රාජ්‍ය ඇමති පියල් නිශාන්ත එයාට බල කරනවාලු සල්ලි ඉල්ලලා. පියල් නිශාන්තට බඩු බෙදන්න සීනෝර් එකේ සභාපතිට කියනවාලු මුදල් වෙන්කර දෙන්න කියලා. ඒගොල්ලෝ තාමත් දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගන්නේ නැහැ.

අපේ රට මෙතනට වට්ටපු ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් අපට නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැහැ. දෙක තමයි, මේ වංචා, දූෂණ හොරකමෙන් පිරුණු සංස්කෘතිය. මේ කරුණු දෙක වෙනස් නොකර මේ රට ගොඩනඟන්න බැහැ. අපේ රට හදනවා නම් ගොඩාක් සම්පත් තිබෙන රටක්. විශාල මහ මුහුදක්, ලස්සන වෙරළක්, තිබෙනවා. අද ධීවරයාගේ බෝට්ටු තිබෙන්නේ මුහුදේ නොවෙයි. ගොඩබිමේ. බෝට්ටුවක් දියත් කරන්න බැහැ. තෙල් මිල, භාණ්ඩ මිල වැඩියි. ඒ නිසා ධීවර කර්මාන්තය වැටිලා තිබෙන්නේ. මේ පැත්තේ ඉස්සෝ කර්මාන්තය කරනවා. ඒක ඩොලර් උපයන්න හැකි සම්පතක්. ඒක මෙහේ අය කරන්නේ බැංකු ණය අරගෙන. ආණ්ඩුව කරන්නේ ජාවාරම්කරුවන් අල්ලගෙන විදේශවලින් ලාබෙට ඉස්සෝ ගෙන්වනවා. ඒ ගෙනාපු ගමන් මෙතන කර්මාන්තය කඩා වැටෙනවා. රට ගොඩනගන්න කර්මාන්ත ගොඩනගන්නේ නැතිව මේ රට කොමිස්වලට ලාබෙට රටින් භාණ්ඩ ගෙනාව රටක්. ලංකාවේ බිත්තර නිෂ්පාදනය කඩා වැටෙන කොට ආණ්ඩුව මැදිහත්වෙලා එය නඟා සිටුවනවා වෙනුවට ඉන්දියාවෙන් බිත්තර ගෙනාවා. දවසකට බිත්තර මිලියනයක් ගේනවා. භාණ්ඩ ගේන්න ඩොලර් නැහැයි කියමින් ඕනෑ නැති ඒවට ඩොලර් වියදම් කරනවා. දවසකට මිලියනයක් ගේනවා නම්, එක බිත්තරයකින් ඉන්දියන් රුපියල් එකක් කොමිස් ලෙස තියා ගත්තොත් දවසකට ලංකාවෙ රුපියල් ලක්ෂ 25ක් -30ක්. ඒ ගොල්ලෝ තමන් හම්බකර ගැනීම අරමුණු කරගෙන නිෂ්පාදනය කඩා වට්ටවනවා.