උණුසුම් පුවත්

රට බංකොලොත් කළ අයම සුන්දර රටක් හදන්න ජනතාවට පොරොන්දු දෙමින් ඉන්නවා

ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා

මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල ජනාධිපතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතු වෙනවා. මැතිවරණයක් එනකොට අපේ රටේ ජනතාව මේ දුෂ්ට පාලනය වෙනස් කර ගැනීම සඳහා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. බඩු මිල ඉහළ යාම, තුන්වේලට ආහාර ලබාගත නොහැකි වීම, මන්දපෝෂණය ඉහළ යාම වගේම ආණ්ඩුව පසුගිය කාලයේ ක්‍රියාත්මක් කළ බදු ප්‍රතිපත්තීන් හා සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩාගෙන වැටිලා. මේ සියල්ල නිසා ජනතාවගෙන් විශාල පිරිසක් අතිශය පීඩාවට පත්වී සිටිනවා. බෙහෙත් නැතිකම, බාල බෙහෙත් ප්‍රශ්න වගේම අධ්‍යාපන ප්‍රශ්න, දැවැන්ත බදු බර වගේ තත්වයන් වෙනස් කර, ජනතාවට ජීවත් විය හැකි රටක් ගොඩනඟාගන්න හැමකෙනාම බලාගෙන ඉන්නවා. තව පිරිසක් මේ පීඩාව නිසා රට අත්හැර යනවා.

ජනතාව හිතන්නෙත් සරල වෙනස්කම් සඳහා ආණ්ඩුවක් හැදීමට නොවෙයි. පසුගිය 76 වසර පුරාම සරල සටන්පාඨවලට ආණ්ඩු හදලා තිබෙනවා. රු:3.50ට පාන්, ඇට රාත්තල් අට, හඳෙන් හාල් ගෙනත් දීම වගේ තත්වයක් නොවෙයි දැන් තිබෙන්නේ. ආර්ථිකය බිංදුවට වට්ටා, දරාගත නොහැකි ණය බරක් පටවා රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අනෙක් පැත්තෙන් සමාජයේ බිඳ වැටීම, නීතියේ ආධිපත්‍යයක් නොමැතිකම, ආණ්ඩුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වගේ තත්වයන් තුළ පවතින්නේ අතිශය බරපතළ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්න රට තුළ ගැඹුරු පරිවර්තනයක් අවශ්‍යයි. ජනතාවත් දූෂිත පාලනය වෙනස් කිරීම වෙනුවෙන් පෙළගැසී සිටිනවා. ආර්ථික සංවර්ධනය තිබෙන, සාධාරණත්වය තිබෙන, සමාජයක් ගැන ජනතාව බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. තමන්ට ලැබෙන කුඩා වාසි පැත්තකින් තබා සමාජයේ ගැඹුරු වෙනස්කම් වෙනුවෙන් මාලිමාව සමග අත්වැල් බැඳගෙන ජනතාව පෙරට එමින් සිටිනවා.

ජනාධිපතිවරණයට

මේ තුළ පරාජය පිළිබඳව දැනුණු බලය අත්හැරීම පිළිබඳව හිතන්නවත් බැරි දූෂිත පාලක කණ්ඩායම් විවිධ උපක්‍රම යොදමින් බොරු ප්‍රචාර දියත් කරමින් මේ තත්වය මගහැර ගන්න උත්සාහ කරනවා. විකාරරූපී දේශපාලන රංගනයන්ගෙන් සමන්විත සන්ධාන ගොඩනඟමින් තිබෙනවා. අලුත් පෙනුමක් පෙන්වා පරණ මිනිසුන්ව ජනතාව නැවත වතාවක් රවටන්න උත්සාහ කරනවා. රට බංකොලොත් කළ අයම සුන්දර රටක් හැදීම පිළිබඳව ජනතාවට පොරොන්දු දෙමින් ඉන්නවා. පසුගිය කාලයක් තිස්සේ එකට ආණ්ඩුවේ සිටි අයත් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරමින් වෙනත් සාකච්ඡා ඇති කර, ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා. ජනතාව ඒ දිහා බලන්නේ නැහැ. ඒ නිසාම ඡන්ද මඟහැර යන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ කතා කියමින් ඉන්නවා. ජනතාවගෙන් විශාල විරෝධයක් ආණ්ඩුවට ආව වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඒ අයට මතක් වුණේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ට දිනන්න බැරි බව පැහැදිලි වුණාම කඩිමුඩියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මතක් වෙනවා. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දිගටම අරගල කරමින් බොහෝ දේවල් කැප කළ අය. ඔවුන් දිගටම බොරු පොරොන්දු දෙමින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන ආ අය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර, ජනතා පරමාධිපත්‍යය බලය තහවුරු කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර, මහ මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පියවර ගන්නවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන බිය නිසා, හදිසි මහා මැතිවරණයක් පිළිබඳ කතාකරමින් යනවා. මහ මැතිවරණයක් ආවත් දූෂිත හොර නඩය ඉවත් කර, අලුත් පාලනයක් ගොඩනඟන්න මහජනතාව තීන්දු කර අවසන්, මැතිවරණ කාලයක් කිට්ටුවෙනකොට සෑමදාම කරනවා වගේ බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. හොරා කෑ මහජන මුදල්, බදු බර පටවා මහජනතාවගෙන් කොල්ලකාගත් මුදල්, අමාත්‍යාංශවලට වෙන් කර ගත් මුදල් පාවිච්චි කරමින් ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. සින්නක්කර ඔප්පු දෙන බව කියමින් අපේ රටේ මහජනතාව ජනාධිපතිවරයා විසින් දඹුල්ලට එකතු කළා. ඔප්පු දෙන්න ඕනෑ ජනාධිපති විසින් නොවෙයි; ඒ අදාළ රාජ්‍ය නිලධාරීන් විසිනුයි. රට වටේ ජනතාව විවිධ දේවල් දෙන බව කියමින් එකතැනකට එකතු කර, ඡන්ද කැම්පෙන් කරනවා. ඒ වගේම හාල් කිලෝ 20ක් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අතීතයේත් ගිනිපෙට්ටියේ සිට බොහෝ දේවල් බෙදුවා, බෙදුවේ නැත්තේ මිනී පෙට්ටි විතරයි. ඒ ඡන්දය අරගෙනයි, රනිල්ලා රට හොරා කෑවේ. රට ණය කළේ. ජනතාවට ජීවත් වෙන්නට බැරි තැනට වැට්ටුවේ. ඒ සෙල්ලමට ආයෙත් ඉඩ දෙන්න එපා  ජනතාවට අවධාරණය කරනවා