උණුසුම් පුවත්

රට බංකොලොත් වුණේ නිස්සාර සංවර්ධන ව්‍යාපෘති නිසා

මුල්ගිරිගල වීරකැටියේ දී සජිත් කියයි

ජන සමාජය තුළ විවිධාකාරයේ ගණුදෙනු සිදුවන බවත් උගත්කම වැඩිවෙන්න වැඩිවෙන්න ගණුදෙනුවත් ප්‍රශස්ත වන නමුත් නූගත්කම ප්‍රවර්ධනය වෙන විට යල්පැනගිය ගණුදෙනුවලට ප්‍රවේශ වන බවත් හොඳ ගණුදෙනුවලට ප්‍රවේශ වීමට නම් දත්ත, තොරතුරු, අත්හදා බැලීම්, දැනුම, බුද්ධිය හා ඥානය තිබිය යුතු බවත් එහි දී කවුරුන් හෝ තර්ක විතර්ක කර ගන්නවා නම් ඒවා දැනුමෙන් පවා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම වසර 5කට 6කට වරක් දේශපාලන ගණුදෙනුවක් සිදුවන බවත් එය රැස්වීම්, දැනුවත් කිරිම් හා කතිර ගැසීම්වලින් සිදුවන බවත් එහි දී ප්‍රශස්ත ලෙස ගණුදෙනු කිරීමට හැකියාව තිබිය දී කඩුව, කිණිස්ස, බයිනේත්තුව, බෝම්බ ආදිය පවා යොදා ගත් අවස්ථා තිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුරවැසියන්ගේ දැනුම, බුද්ධිය හා ඥානය වර්ධනය වන විට ජීවිතයක් බිලිගන්න පෙර ජීවිත රැකගෙන ප්‍රශ්නත් විසඳගෙන උගත් තීන්දු තීරණ ගැනීමට පෙළඹෙන නිසා රටේ පාසල් පද්ධතිය පහසුකම්වලින් ශක්තිමත් කිරීම අංක 1 ප්‍රමුඛතාව විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා ඉදිරියේදීවත් රටට ලාභදායී නොවන මහා පරිමාණයේ සෝබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර පාසල් පද්ධතියේ ඇති භෞතික හා මානව සම්පත් හිඟය විසඳීමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවත් මේ වන විට අප රට බංකොලොත් වී ඇත්තේ ණය ලබා ගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බවත් එහි දී එම ව්‍යාපෘතිවලට වැයවන මුදල නැවත ලබා ගත හැකි ක්‍රම ගැන සිතිය යුතු වුවත් ඒවා නොසිතා විවිධ පුද්ගලයන්ගේ ප්‍රතිරූප නිර්මාණය කිරීමේ ව්‍යාපෘති කරන්න ගිණිපොළී ණය ගත් නිසා රට බංකොලොත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය හිඟුරුමුලන ශ්‍රී පේමානන්ද කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 215 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

විවිධ කතාවලට, වචනවලට රැවටී වරම් ලබා දීමෙන් පසු රටම ඔවුන්ගේ පවුල්වලට සින්නක්කරවම ලියා ගැනීම නිසා රට බංකොලොත් වූ බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් ඒ තුළින් පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ආ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන විට අපිට කයිවාරු ගගහ ඉන්න බැහැ