හෙළදිව් හි පවතින අර්බුදකාරී තත්වය සුළුපටු නොවේ. සෑම ක්ෂේත්‍රයක ම ඇත්තේ ඉතා ශොචනීය කඩා වැටීමකි. මේ කඩාවැටීම් මැද වුව පොතක් පතක් කියවන්නට ඒවායින් සිය ජීවිතයට යමක් උරාගන්නට හුරු පුරුදු වූ පිරිසක් සිටීම ජාතියේත් රටේත් වාසනාවක් ම ය.
අප ඒ වැකි දෙක ලිව්වේ එළඹෙන ඉරිදා හෙවත් 13 වැනි දා හෙළදිව් හි ජනයා දෝතට අලුත් පත්තරයක් වඩම්මන්නට දෙස බස හා රැස ගැන පෙම් බැඳි මිනිසුන් කණ්ඩායමක් සැදී පැහැද එ පුවත්පතෙහි මංගල කලාපය අද (11) පත්තර තට්ටුවලට එක්කරන ඇති හෙයිනි.
අපි ඒ උත්තම පුරුෂයනට හිස නමා ආචාර කරන්නෙමු. 
පුවත්පතක් මුද්‍රණය කර පවත්වා ගෙන යෑම රටේ පවතින ආර්ථික ප්‍රශ්න කන්දරාව අභිමුව ඉතා අසීරු ය. ඔව්! ඉතාමත් ම අසීරු ය. අමාරු ය. ඒත් ඒ අමාරුකම් අසීරුකම් නොතකා 'රතුඉර' නමින් ජාතික පුවත්පතක් කොළඹ රටේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් හි ශාන්ත ජෝෂප් මාවතේ අංක 21 1/1 හි පිහිටි ගොඩනැගිල්ලේ පටන් ගත්තු අලුත් පත්තර කන්තෝරුවේ ගොනුවී සිටින කතු මඬුල්ල සිය අපිරිමිත උත්සාහය මල්ඵල ගන්වමින් රතුඉර දොරට වඩම්මා ඇත.
මේ අගනා වටනා අතිභාරධූර කාර්ය උදෙසා ඉදිරිපත් වූ ඒ අර්ථපති මිනිහා ද රතුඉර කතුකම දරන තිලකරත්න කුරුවිටබණ්ඩාර දෙටු සොවුරාණන් ද, ඔහුට දිරිය සපයන දයා ලංකාපුර හා රෝහණ වෙත්තසිංහ නම් සුමිතුරන් දෙන්නා ද කාංචනා සිරිවර්ධන ඇතුළු කතු මඩුල්ලේ සෙසු පුවත්පත් කලාවේදීන් ද කරන්නේ අතුරේ යෑමකි. හැබැයි ඒ ඇත්තන්ගේ සද්කාර්ය කෙරෙහි පැහැදි සිතින් අප ගෞරව කරන්නේ අද වන විට සීඝ්‍රයෙන් පොත පත කියවීමෙන් ඈත්වෙමින් ඔහේ යන්නන්වාලේ නන්නත්තාර වී ඉබාගාතේ දුවන අපේ ජාතියේ මහා සම්පත - තරුණ පරපුරේ, කියවීමේ රුචිය, කියවන රුචිය එක ඇබින්දකින් හෝ, ඔසවා තබන්නට මේ පිරිස කරන්නා වූ කැප කිරීම ප්‍රසංශනීය බව ජාතියට ම දැනුම් දෙමිනි.
පොතක පතක තීන්ත සුවඳ ආශ්වාස කරන්නට අපේ යොවුන් පරපුර ඇද බැඳ ගන්නට රතුඉරට හැකි වූවොත් එය ජාතියේ අනාගත පැවැත්මට මහත් මැ වූ රුකුළක් බව සටහන් කරන්නෙමු