උණුසුම් පුවත්කාලීනදේශපාලන

රනිල් ඇප මත මුදා හරියි

මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් ඔහු මුදා හරින ලද්දේ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ පෞද්ගල ඇප 3 ක් යටතේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ඇප මත මුදා හරින්නට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මීට ටික වෙලාවකට පසු නියෝග කළො ය.

වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලද්දේ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ පුද්ගල ඇප තුනක් මත යි.

රෝගීවීම නිසා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නා වූ හේ ෂූම් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත් ලංකාපුර මෙනෙවිය ගේ විනිශ්චයට ලක් වූ බව මාධ්‍ය වාර්තා කළේ ය.

රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා රෝගී වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට යොමු කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට විශේෂ වෛද්‍යවරුන් පියවර ගන්නා ලදි.

රාජ්‍ය මුදල් අවභොවිතා කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 23 දා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා අනතුරුව එදින සවස 1. 15 ට පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කරුණු දක්වමින් වික්‍රමසිංහ මහතා විදෙස් නිල සංචාරයක යෙදී ආපසු එමින් ගමන එංගලන්තයට පෞද්ගලික සංචාරයක යෙදෙමින් රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් අවභාවිතා කරන ලද බව උසාවියට දැක්වී ය.

ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලද අතර දෙපාර්ශ්වයේ ම කරුණු සලකා බැලූ නිලුපුලී ලංකාපුර මෙනෙවිය සැකකාර වික්‍රමසිංහ මහතා අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියෝග නිකුත් කළා ය.

අද දහවල් මෙකී නඩු කෘතිය යළි කැඳ වූ අවස්ථාවේ දී වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා දිගු කරුණු ඉදිරිපත් කළ අතර ඔහු මෙන්ම අනූජ ප්‍රේමරත්න මහතා ද දීර්ෂ විස්තරයක් අධිකරණය හමුවේ සඳහන් කරන ලදි.

චූදිත වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිවේදීන් සෑහෙන පිරිසක් උසාවියට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අති විශාල ජනකායක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අසල හා අවට මාර්ගවල රොක් වී සිටිනු දක්නට ලැබිණි. භික්ෂූන් වහන්සේලා ද, දේශපාලන පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් ද හිටපු මහජන නියෝජිතයින් ද දක්නට හැකි විය.