උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

රනිල් ගේ අලකලංචියෙන් විපක්ෂයේ ලොකු පිබිදීමක්

ජගත් ‌ගේ සතියේ සටහන - 82

CID යට ආ තැන් පටන්  පැය 13 ක කාලය තුළ                                                              රනිල්ට බීමට වතුර බිඳක්වත්  කෑමට කිසිවක් ලැබී නැ ලු

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදලින් රුපියල් ලක්ෂ 166 ක් වැය කොට රජයට පාඩු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය සිකුරාදා අධිකරණය මුවට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතකොට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන එනු ලැබූ ඔහු  ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ වෛද්‍යවරු වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා.

ඔහුගේ රුධිර පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත ව තිබු නමුත් එම පහසුකම් බන්ධනාගාර රෝහලේ නොතිබීම හේතුවෙන් ඒ මහතා සෙනසුරාදා සවස කොළඹ  ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

සිකුරාදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි පැය 13 ක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතාට පානයට ජලය හෝ ආහාර කිසිවක් ලැබී නැති බැවින් ඔහු අධික ලෙස විජලනයට පත්වී සිටි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කොට තිබුණේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු ඔහු ගේ මල්පාරේ පිහිටි කාර්යාලයට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ද, මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, අලි සබ්‍රි, හෙක්ටර් අප්පුහාමි, මහින්ද අමරවීර, විමල් වීරවංශ හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් පැමිණ සිටියා.

එහිදී ඔවුන් සාකච්ඡා කළේ සඳුදා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප අයදුම් කිරීම පිළිබඳවයි.  එමෙන් ම උද්ගතවී ඇති තත්වය අනුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබුණා.

ඉරිදා (අද) උදේවරුවේ ද පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් රැසක් මල් පාරේ පිහිටි වික්‍රමසිංහ මහතා ගේ කාර්යාලයට රැස්වී ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පොදු ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡා කොට තිබුණා.

''අපි පක්ෂ සන්ධානයක් හදන්නේ නැහැ. නමුත් විපක්ෂය ලෙස ආණ්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙලට එරෙහිව පොදු ක්‍රියා මාර්ග ගැනීම ගැනයි සාකච්ඡා කරන්නේ" යනුවෙන් දයාසිරි ජයසේකර මහතා මෙම සාකච්ඡාවලට පෙර මාධ්‍යවලට  ප්‍රකාශ කළා.

ජුලි චං මෛත්‍රීගෙන් රනිල් ගැන අහන්න ඇවිත්...

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම ගැන බ්‍රිතාන්‍යයේ හිටපු අගතිවරයකු වන ඩේවිඩ් කැමරන් හා මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂ්ඩි යන මහත්වරු මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දුරකතන ඇමතුම් දී විමසූ බවත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය ද සෙනසුරාදා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවීමට ගොස් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබීම ගැන විමසූ බවත් ආරංචි මාර්ග පවසනවා.

මේ තත්වය යටතේ සඳුදා (25) කොළඹ සිටින විදේශීය තානාපතිවරුන් මල්පාරේ කාර්යාලට කැඳවා පවතින තත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන 26 වැනි දා කොළඹට පැමිණෙන්නැ යි එක්සත් ජාතික පක්ෂය තම පාක්ෂිකයින්ගෙන් හා අධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම පිළිබඳව දේශපාලන පක්ෂ හා මහජනයා අතර විවිධ මත පළ වෙනවා.

විපක්ෂය පවසන්නේ වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන පළිගැනීමක් වශයෙන් බව යි.  ඔහු සිකුරාදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු (සෙනසුරාදා හා ඉරිදා රජයේ නිවාඩු දින බැවින්) සඳුදා වන තුරු ඔහුට ඇප අයදුම් කිරීම ප්‍රමාද කිරීමේ අරමුණෙන් යැ යි සමහර නීති විශාරදයින් පවසනවා.

මහ බැංකු බැඳුම් කර සිද්ධිය, ජනාධිපතිවරණය ආසන්නයේ මත්පැන් අලෙවි බලපත්‍ර දීම ආදී චෝදනා රැසක් තිබිය දී එංගලන්ත සංචාරය සඳහා රුපියල් ලක්ෂ 166 ක් වැය කිරීම වැනි සුළු කරුණක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බව ද එම නීති විශාරදයින් තව දුරටත් සඳහන් කරනවා.

හිටපු ජනාධිපති ලේකම් රත්නායකත් අත්අඩංගුවට?

මේ අතර සිය භාර්යවගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ගේ සංචාරය නිල සංචාරයක් ලෙස දක්වමින් ඒ සඳහා රුපියල් ලක්ෂ 166 ක මුදලක් වැය කිරීමට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

කෙසේ වුව ද දේශපාලන විචාරකයින් පවසන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම නිසා විපක්ෂය තුළ විශාල පිබිදීමක් හටගෙන ඇති බව යි.

ඒ අනුව පොදු විපක්ෂයක් ලෙස සංවිධානය වීමට පක්ෂ භේදවලින් තොරව පක්ෂ රැසක් එකඟ වී ඇති බවයි පැවසෙන්නේ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ඇතුළු පක්ෂ ගණනාවක සිටි හිටපු මැති ඇමතිවරුන් රැසකට ඉදිරි කාලයේ දී විවිධ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන  කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාසය ආදී ආයතනවලට යෑමටත් චෝදනාවලට ලක්වීම සිදුවන නිසාත් ඒවාට මුහුණ දීම සඳහා මෙසේ පොදු සන්ධානයක් ගොඩනඟා ගැනීමට එම පක්ෂ කටයුතු කරගෙන යන බව ද දේශපාලන විචාරකයින් පවසනවා.

ආණ්ඩුව පවසන්නේ පසුගිය මැතිවරණ වල දී ජාතික ජන බලවේගය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමක් වශයෙන් දූෂණ චෝදනා එල්ල වූවන්ට තරාතිරම නොබලා නීථිය එක හා සමානව ක්‍රියාත්මක කරන බව යි.

ඒ කටයුතු සිදු කරන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය නිදහස තිබෙන බවත් ආණ්ඩුව ඒවාට කිසිසේත් ම සම්බන්ධ නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කුමාර ජයකොඩි ඇමතිටත් අධිචෝදනා පත්‍රයක්?

මේ අතර ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යන බව ද වාර්තා වෙනවා.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව මේ සතියේ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිත බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත අද වාර්තා කොට තිබුණා.

කුමාර ජයකොඩි මහතා 2015 දී පොහොර සංස්ථාවේ සේවක කළ කාලයේ ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමේ සිද්ධියක දී රජයට රුපියල් ලක්ෂ 88 ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඇමති වසන්ත සමරසිංහ ට හා ජයලාල් ට කුමක් කරයි ද?

මේ අතර වෙළඳ ඇමති වසන්ත සමරසිංහ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහත්වරුන්ට එරෙහිව දෙහිවල ගොඩනැගිල්ලක් ව්‍යාජ අන්දමින්බදුදීමේ සිද්ධියක් පිළිබඳව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.

මොවුන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැ යි බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වෙනවා.

  - ජගත් -