ජගත් ගේ සතියේ සටහන - 88
අල්ලස් කොමිසමේ වැඩ නිසා හිටපු මැති ඇමතියන් රොත්තක් ලොකු කැළඹීමක!
දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ දිනවල පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවී ඇතැයි කියන දූෂණ, අක්‍රමිකතා හා වංචා පිළිබඳව චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයින්ට හා රජයේ හිටපු උසස් නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ගෙන යෑමගැන විපක්ෂයේ සමහරුන් මහත් කැළඹීමට හා භීතියට පත්වී ඇති බව වාර්තා වෙනවා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දොස්තර රාජිත සේනාරත්න, මර්වින් සිල්වා ඇතුළු පිරිසකට දැනටමත් මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී ඇති අතර තවත් හිටපු මැති ඇමතිවරුන් 20 කට අධික පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යනවා.
මේ තත්වයට මුහුණ දීම සඳහා ආණ්ඩුව පෙරළා දැමීමට දේශපාලන භේදවලින් තොරව එකතුවිය යුතු බවට විපක්ෂයේ පක්ෂ රාශියක් පොදු එකඟතාවයකට පැමිණ ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාට විරුද්ධව මේ සතියේ පාර්ලිමේන්තුවේ දී හඩක් නැඟීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී මේ සඳහා එම සභාව විසින් සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වා තිබෙනවා. පළමු සම්මුඛ පරීක්ෂණයේ දී රංග දිසානායක මහතා පත්කිරීම ගැන එහි සාමාජිකයින් අතර ඡන්දයක් පවත්වා ඇති බවත්, ඔහට ඡන්ද 4 ක් ද තවත් අපේක්ෂකයකු වන මාධව තෙන්නකෝන් මහතාට ඡන්ද 5 ක් ද ලැබී තිබු බවයි දැනගන්නට තිබෙන්නේ. පසුව තවත් ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා. එහිදී දිසානායක මහතාට ඡන්ද 5 ක් ද, තෙන්නකෝන් මහතාට 4 ක් ද, ලැබීම නිසා දිසානායක මහතා ගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට යවා ඇති අතර ජනාධිපතිවරයා ඒ අනුව රංග දිසානායක මහතා පත්කොට තිබෙනවා.
රංග දිසානායක මහතා කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් ධූරයට පත්කළ ආකාරය ගැන ප්‍රශ්න කිරීමට සජබ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවයි පැවසෙන්නේ.
ව්‍යවස්ථාදායක සභාව් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ද සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන දැන් එක්සත් ජාතික පක්ෂයට එක්වී කටයුතු කරන නන්දන ගුණතිලක මහතා ද රංග දිසානායක මහතා 1989 කාලයේ ජවිපේ නීති අංශයේ කටයුතු කළ බවට චෝදනා කළ අතර රංග දිසානායක මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කොට තිබුණා.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද මාධ්‍ය හමුවක දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව චෝදනා කොට තිබුණා.
මේ සම්බන්ධයෙන් එම කොමිසම නන්දන ගුණතිලක හා උදය ගම්මන්පිල මහත්වරුන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීමට යන බව ද වාර්තා වෙනවා.
එජාප - සජබ හවුලකට වට කීපයකින් කතාවෙලා
මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු තිරීම පිළිබඳ සාකච්ඡා කිහිපයක්ම පසුගිය දිනවල පවත්වා ඇතත් එහිදී පොදු එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය බදාදා පැවති සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ රැස්වීමේ දී මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. එහිදී එක්සත් ජාතික පක්ෂය එකතු වන්නේ නම් ඒ කුමන ආකාරයකට ද යන්න එහි ප්‍රධාන මාර්තෘකාවක් වී තිබුණා.
එම රැස්වීමට පැමිණ සිටි සෑම දෙනාගේ ම පාහේ අදහස වී තිබුණේ පක්ෂ දෙක ම ඒකාබද්ධව වැඩ කළ යුතු බව යි. වර්තමාන ආණ්ඩුව පරාජය කළ හැක්කේ සජබ හා එජාප පක්ෂ දෙක එකතු වීමෙන් පමණක් බවයි එහිදී බොහෝ දෙනා පවසා තිබුණේ.
මෙහිදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස මහතා තමා සන්ධානගත දේශපාලනයටත්, සජබ - එජප සමගියටත් සියයට සියයක් ම කැමති නමුත් එසේ එකතුවනවා නම් මෙහි ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගයට මූලිකත්වය දිය යුතු බව පවසා තිබෙනවා.
ඉදිරියේ දී සජබ සහ එජප ඒකාබද්ධවෙලා වැඩ කරන්නේ සමගි ජන බලවේගයට ප්‍රධානත්වය දීලා වැඩ කරනවා ය යන පොදු පිළිගැනීම ඇති වෙනවා නම් පමණක් බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කොට ඇති අතර පක්ෂ දෙක එකතු වී වැඩ කළ යුතු ආකාරය පිළිබඳව කෙටි වාර්තාවක් සැපයීමට මුජිබර් රහුමාන්, කබීර් හෂීම් හා එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක් කළමනාකරණ කමිටුව විසින් පත් කොට තිබෙනවා.
මෙම කමිටුවේ වාර්තාව ලබල කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇතැ යි සජබ නායකයෙක් ප්‍රකාශ කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ පෞද්ගලික හෝටලයක පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉල්ලීම අනුව මෙම හමුව හා රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කොට තිබුණේ පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් හඩ නැඟූ විපක්ෂයේ පක්ෂ නායකයින්ට ස්තුති කිරීම සඳහා බවයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
දේශපාලන පක්ෂ 25 ක පමණ නායකයින් මෙයට සහභාගි වූ අතර පසුව මෙය දේශපාලන සාකච්ඡාවක් බවට පත්වී තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහාචාර්ය ජී. එල්. පීරිස් ආදීන් විපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ගැන දීර්ඝ වශයෙන් අදහස් දක්වා තිබුණා.
පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සමුළුවේ දී රට පුරා රැස්වීම් දහසක් පැවැත්විය යුතු බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
එජාප - සජබ දීගෙට සජිත්......?
ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් නොවැම්බර් මස මුල කොළඹ දී මහජන රැළියක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබුණා. රජයේ ලබන වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම රැළිය නුගේගොඩ දී පැවැත්වීමට තීරණය වූ බව ද එයට සහභාගි වූ පක්ෂ නායකයින් අප සමඟ ප්‍රකාශ කළා.
මෙම රැළියට පිට පළාත්වලින් බස් රථ 200 කින් පමණ ජනතාව ගෙන්වා ගැනීමට හා සමගි ජන බලවේගයට ආරාධනා කිරීමටත් මෙහිදී තීරණය වූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.
මේ අතර විපක්ෂයේ පක්ෂ අතර පොදු සන්ධානයක් ඇති කර ගැනීම සඳහා මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ වල දෙවැනි පෙළ නායකයින් අතර සාකච්ඡා පැවත්වෙනවා.
එහෙත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවලට කැමැත්තක් දක්වන්නේ නැති බව ද දැනගන්නට තිබෙනවා.
''විපක්ෂයේ එක එක පාර්ශ්ව සමඟ අපේ ම අයත් විවිධ සාකච්ඡා පවත්වනවා. මේ සමහර සාකච්ඡා අපි දන්නෙත් නෑ. සමහර සාකච්ඡාවලට අපව දැනුවත් කරල සහභාගි වූ අයත් ඉන්නවා. ඒ නිසා මෙවැනි සාකච්ඡාවලට යනවා නම් කවුද යායුත්තේ කියල පොඩි සිස්ටම් එකක් හදන්න ඕනැ. මෙතැන හැම දෙනාම ගිහින් නායකයෝ වගේ සාකච්ඡා කරන්න බැහැ නේ" යනුවෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පසුගිය බදාදා පැවති කළමනාකරණ කමිටුවේ දී අවධාරණයෙන් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ගේ ඉල්ලීමක් අනුව යැ යි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වුවද මේ වන විට පවතින දේශපාලන වාතාවරණය අනුව පෙනී යන්නේ ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ඒකාබද්ධ පොදු සන්ධානයක් බිහිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි.
එම සන්ධානයේ කටයුතු නායකත්ව මණ්ඩලයක් මඟින් මෙහෙයවීම ගැන ද සාකච්ඡා වී ඇති බවත් වාර්තා වෙනවා.
රනිල් ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට නාමල් හා සාගර...!!!.??
කොළඹ පිහිටි සිය නිල නිවස හැර ගොස් තංගල්ලේ 'කාල්ටන්' නිවසේ පදිංචිව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ කාල්ටන් නිවසට යන ලද්දේ සාගල රත්නායක මහතා ද සමඟ යි.
එහිදී කාල්ටන් නිවසින් දිවා ආහාරය ද ලබා ගනිද්දී රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර දේශපාලන සාකච්ඡාවක් ද සිදුවී තිබෙනවා.
''දෙසැම්බර් මාසයේ දී ලංකාව පුරා ම රැස්වීම් දහසක් තියන්න අපි සූදානම් වෙනවා. ඒකට පොදුජන පෙරමුණේ සහයෝගය අවශ්‍යයි" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ විට ''අපේ සහයෝගය සම්පූර්ණයෙන් ම ලැබෙනවා. මම නාමල්ට යි, සාගරට යි කියන්නම්" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් යන මහත්වරු සහභාගි වී ඇත්තේ ද ඒ අනුව බවයි දැනගන්නට තිබෙන්නේ.