ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන්න දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
බෙල්ලන මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට ඇති වී ඇත්තේ විජලන තත්ත්වයක් වන අතර, ඒ හේතුවෙන් ඔහුගේ රුධිරයේ සහ අනෙකුත් ශාරීරික සලකුණු වල වෙනස්කම් දක්නට ලැබෙන බවයි.
මෙම තත්ත්වය ‘හීට් ස්ට්‍රෝක්’ වැනි අවස්ථාවක් බවට ද සැක කෙරේ.
වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී ඇත්තේ එදින ඔහු පැය 10ක පමණ කාලයක් අධික උණුසුම යටතේ උසාවියේ රැඳී සිටීම විය හැකි බවත්, එම කාලය තුළ ඔහුට ජලය හෝ ආහාර නිසි ලෙස නොලැබෙන්නට ඇති බවට අනුමාන කරන බවත්ය.
හිටපු ජනාධිපතිවරයා මේ වන විට දැඩි වෛද්‍ය නිරීක්ෂණයක් යටතේ සිටින අතර, විජලනයට අදාළ ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ. විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සමීපව අධීක්ෂණය කරයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අවධාරණය කළේ, විජලන තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් එය වකුගඩු, මොළය සහ අනෙකුත් ප්‍රධාන අවයවවලට බලපෑම් ඇති කරමින් දැඩි සංකූලතා ඇති කළ හැකි බවයි.
මෙම අවදානම වළක්වා ගැනීම සඳහා ඔහු දැඩි සත්කාර ඒකකයේ තබා ඇත.
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ අදහස අනුව, නිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාට දින දෙක තුනකින් හෝ තුනකින් පමණ යථා තත්ත්වයට පත්වී සාමාන්‍ය පරිදි හැසිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් ඔහුට උසාවි කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි බව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.
උපුටා ගැනීම - lanka C news ෙවතිනි