උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

රනිල් බලන්න ගිය ජුලි චං ගැන විමර්ශනයක්!??

ජගත් ගේ සතියේ සටහන - 83

උසාවි තුනකින්                                                                                                                  එක ම දවසෙ රිමාන්ඩ් කෙරුණු                                                                                 අතුරැළියේ රතන හිමි,                                                                                                 දොස්තර රාජිත හා  නිමල් ලංසා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු ඉකුත් සතියේ තවත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම් ගණනාවක් වාර්තා වුණා.

ඒ හිටපු ඇමතිවරයකු වන දොස්තර රාජිත සේනාරත්න, හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන නිමල් ලංසා සහ හිටපු පාර්ලිමේන්තු මන්තී අතුරැළියේ රතන හිමියන් ය.

මොවුන් අතරින් රාජිත සේනාරත්න හා අතුරැළියේ රතන හිමියන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කොට තිබිය දී අධිකරණය මඟහැර සිටියා. පසුගිය සිකුරාදා (29) වෙනත් නඩුවක් සඳහා අලුත්කඩේ මහාධිකරණය වෙත පැමිණ සිටිය දී රාජිත සේනාරත්න මහතා මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන්නැ යි එහි විනිසුරුවරයා ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය ඔහු මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 09 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබනා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළා.

රාජිත සේනාරත්න ධීවර ඇමතිව සිටිය 2012 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන සිටි කොරියානු සමාගමකට, වැලි ඉවත් කිරීම පිණිස ධීවර වරාය නීතිගත සංස්ථාව සතු 'වැලිගොව්වා'නම් යාත්‍රාව ලබාදීමට අනීතිකව අවසර දීමෙන් රජයට රුපියල් ලක්ෂ 262 ක‌ට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩුවක් පවරා තිබුණා.

එම නඩුවට නොපැමිණීම නිසා කොළඹ මහේස්ත්‍රාත් උසාවිය මඟින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කළා.

එහෙත් ඔහු දිගට ම සැඟවී සිටීම නිසා අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවාස හා රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබූ ස්ථාන ද පරීක්ෂා කළ නමුත් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ නැහැ.

මේ අතර රාජිත සේනාරත්න මහතා ධීවර ඇමතිව සිටිය දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට නිසි ක්‍රමවේදයෙන් බැහැර ව බදු දීමෙන් රජයට පාඩු සිදුකළේ යැ යි චෝදනා කරමින් ඔහු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා.

එම නඩුවට ඔහු ඇපමත මුද හැර තිබුණා.  එම නඩුව පසුගිය සිකුරාදා (29) විභාගයට ගත් අවස්ථාවට පෙනී සිටීමට  රාජිත සේනාරත්න මහතා මහාධිකරණයට පැමිණ සිටියා.

මෙහිදී කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය රාජිත සේනාරත්න මහතාට වෙනත් නඩුවක් සඳහා මහේස්ත්‍රාත් උසාවිය මඟින් වරෙන්තු නිකුත් කොට ඇති බව පෙන්වා දුන් අතර මහාධිකරණ විනිසුරුවරයා ඔහුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

ඒ අනුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු සේනාරත්න මහතා සැප්තැම්බර් 09 වනදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කෙරුණා.

මේ අතර වහාම අත්අඩංගුවට ගන්න සේ වරෙන්තුවක් නිකුත් කර තිබිය දී දින 10 ක් සැඟව සිට පෙරේදා ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියට භාර වූ අතුරැළියේ රතන හිමියන් සැප්තැම්බර් 12 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තබනා ලෙස මහේස්ත්‍රාත් රුවනී ජයවර්ධන මහත්මිය නියෝග කළා.

අපේ  ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහර ගෙන යෑම සම්බන්ධයෙන් උන්වහන්සේ කළ පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සළකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය රතන හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 18 වනදා වරෙන්තුවක් නිකුත් කළා.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් සිය පැමිණිල්ලෙන් කියා තිබුණේ 2020 අගේස්තු මහ මැතිවරණයෙන් පසු අතුරැළියේ රතන හිමියන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකිවුණේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපි ලේඛන කිහිපයකට අත්සන් ලබාගත් නිසා බව යි. මේ සඳහා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද රතන හිමියන් සමඟ එකතු වී තමා පැහැරගෙන ගොස් මරණ තර්ජන කළ බව ද උන්වහස්සේ සිය පැමිණිල්ලේ දක්වා තිබුණා.

මේ වරෙන්තුව නිකුත් කොට දින 10 කට පසු රතන හිමියන් පෙරේදා ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියට පැමිණ භාර වූ අතර සැප්තැම්බර් 12 වනදා තෙක් රිමාන්ඩ් භාරයෙත් තබන ලෙස රුවනී ජයවර්ධන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මේ අතර වසර 19 කට පෙර සිදුවූ සිද්ධියක් පිළිබඳව හිටපු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සහ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන බන්දුල නාඔටුන්න යන දෙදෙනා කොච්චිකඩේ පොලිසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 12 වනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කොට තිබෙනවා.

කොච්චිකඩේ පොලිසිය බී වාර්තාවක් ගොනු කරමින් 2006. 03. 08  දින රාත්‍රී 10. 30 ට පමණ කොච්චිකඩේ නිවෙසකට අතැළු වී දේපොළ කොල්ලකෑම හා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා ඇතුළු 19 දෙනකුට විරුද්ධව නඩු පරා ඇති බවත් මේ පිළිබඳව නීතිපති උපදෙස් පතා තිබුණි. නීතිපතිවරයා ගේ උපදෙස් ලැබී ඇත්තේ 2025 අගෝස්තු 28 වැනිදා ය. ඒ අනුව මෙම සැකරුවන් ගිනි අවි ආඥාපනත යටතේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පැමිණිල්ලයි විත්තියයි දැන් හොඳ යාළුවන් ලු

මෙම සිද්ධියට මුහුණ දුන් රුද්‍රිගුගේ සුනිල් විල්බට් ද සිල්වා යන අය ස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා එහි ජීවත්වන බවත්, විත්තිකාර නිමල් ලංසා මහතා සහ ඔහු දැන් මිතුරන් වී සිටින බවත්, දැනගන්නට තිබෙනවා. නිමල් ලංසා මහතා ද මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ‌ෙමල්බර්න් හි පදිංච්ව සිටින බව ද වාර්තා වෙනවා.

නිමල් ලංසා සහ නාඔටුන්න යන දෙදෙනා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා මේ වන විට පැමිණිලිකරු හා විත්තිකරු හොඳ මිතුරන් බවත් මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පැමිණිලිකරු එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා දිවුරුම් පෙත්සමක් ද එවා ඇති බවත් කියා සිටියා.

මෙහිදී විත්තිකරු සැප්තැම්බර් 12 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තබනා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 22 දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් පසු රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

එදින රාත්‍රියේ සිට වික්‍රමසිංහ මහතාට ඇප ලැබුණු ඉකුත් අඟහරුවාදා  (26) දක්වා දිනකට දෙතුන් වතාවක් බැගින් දිනපතා ම ඔහු බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහලට යෑම දේශපාලන අංශ අතර පසුගිය සතියේ කෙරුණු කතාබහේ මුල් තැනක් ගත්තා.

රනිල් සජිතට ස්තුති කරලා. 2019 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගොස් සමගි ජන බලවේගය පිහිටුවීමෙන් පසු රනිල් වික්‍රමසිංහ හා සජිත් අතර කිසිදු සම්බන්ධයක් තිබුණේ නැහැ. එහෙත් සජිත් මේ අවස්ථාවේ රනිල් කෙරෙහි දැඩි අවධානයෙන් කටයුතු කිරීම දේශපාලන අංශවලට මේ දිනවල ප්‍රධාන මාර්තෘකාවක් වී තිබෙනවා.

එසේ ම පසුගිය අඟහරුවාදා අධිකරණය විසින් ඇප පිට රනිල් වික්‍රමසිංහ මහතා මුදා හැරීමෙන් පසු රනිල් රෝහලේ සිට ම සජිත්ට දුරකතන ඇමතුමක් දී ඔහුට ස්තුති කොට තිබෙනවා.

''ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් මා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගවලට ගොඩාක් ස්තුතියි!" යනුවෙන් රනිල් පැවසූ විට,

''සර් මේ ක්‍රියාමාර්ගය මෙතැනින් නතර කරන්නේ නැහැ. ඉදිරියට ගෙන යනවා" යි සජිත් පිළිතුරු දී තිබුණා.

රනිල් බලන්න ගිය ජුලි ගැන විමර්ශනයක්

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටිය දී ඇමරිකානු තානාපති ජුලි චං මහත්මිය ද ඔහු බැලීමට ගොස් තිබෙනවා. මේ පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇතැ යි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග වාර්තා කරනවා.

- ජගත් -