උණුසුම් පුවත්දේශපාලන

රනිල් වැඩට බහී

සැබෑව තේමා පාඨය කරගෙන කුලියාපිටියෙන් ඡන්ද වැඩ අරඹමින් ජනපති ප්රතිවාදීන් සැමට නෙලයි

 

සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැති බවත්, එම පක්ෂය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී අති බවත් ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වු සියලුදෙනාට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අමතමිනි.

රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට කැමති ජනතා හමුව  "සැබෑව" තේමාව යටතේ  මෙම ජන හමු මාලාව සංවිධානය කර තිබෙන අතර කුලියාපිටියේ පැවති පළමු රැළිය සදහා  අති විශාල ජනකායක් එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමතූ පළමු ජන රැළිය ද මෙය වන අතර ක්‍රිඩාංගණයට එක්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

ජන රැළිය ඇමතීමෙන් අනතුරුව ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.

තමන් ජනාධිපති ධූරයේ වගකීම භාරගත් දින සිට පක්ෂ බේදයකින් තොරව සහාය ලබාදුන් සියලු දෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අද සියලු දෙනා එක්ව කටයුතු කළ යුත්තේ රට ගොඩනැගීමට මිස පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට නොවන බව ද අවධාරණය කළේය.

එසේම අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බවද පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයකට රට ගොඩනැගීමේ සැලැස්මක් නොතිබු බවද කියා සිටියේය.

රට මුහුණදුන් ආර්ථික අර්බුදය පිළිබඳව 2020 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දුන් කරුණු ද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිහිපත් කරන ලදි. ''අසීරු කාලයේ ඔබ සියලුදෙනා මට සහාය ලබා දුන්නා. ඒ අසීරු කාලය අවසන් වන විට ඉදිරියට යාම සඳහා ජාතික එකඟත්වයක් ඇති කරගත යුතු සමයක අද මට ඔබ සියලුදෙනා ඇමතීමට අවස්ථාව ලැබී තිබෙනවා"

ඔබ මෙතනට පැමිණෙන්නේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න  නොවෙයි. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහායි. අසීරු කාලයකින් පසුව අපට තිබෙන අනාගතය කුමක්ද යන ප්‍රශ්නය ඔබේ සිතේ තිබෙනවා.

තවමත් අපට යම් අසීරුතා තිබෙනවා. අපි සියලුදෙනා එකතුවී පටු දේශපාලන බේදයකින් තොරව ඉදිරියට යමු කියා ප්‍රකාශ කිරීමටයි මම මෙතනට පැමිණියේ.

මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ  රට මේ තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේකෂා කළේ නැහැ. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නියමිතව තිබෙනවා. බොහෝ අය සිතුවා මේ සඳහා වසර පහක්වත් ගතවනු ඇතියි කියලා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණ සිටිනවා. අප ඔවුන් සමග සහ නිල වශයෙන් ණය ලබාගත් රටවල් සමඟ සාකච්ඡා කර එහි පළමු ගිවිසුමට මැයි හෝ ජූනි මාසයේ දීඅත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව බංකොලොත් නැති රටක් ලෙස අපට සහන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම ගමනනේ දී ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා. ඒ වගේම මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට රුපියල් දස දහසක් ඔවුන්ට වැඩිපුර ලැබෙනවා. ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක් ප්‍රතිලාභ ලබා දෙනවා. එය ඉදිරියේදී ලක්ෂ 24 කට ලැබෙනවා.

එම සියලු පවුල්වලට මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දට සහල් කිලෝ ග්‍රෑම් 20 ක් ලබාදීමට අප කටයුතු කරනවා.

ඒ වගේම ඉඩම් බලපත්‍ර තිබෙන සියලුදෙනාට සින්නකර ඉඩම් අයිතිය ලබාදිමට අපි කටයුතු කරනවා. කොළඹ තට්ටු නිවාස 50,000 ක සිටින ජනතාව වෙනුවෙන් නිත්‍යානුකුල අයිතිය ලබා දෙනවා. අසීරු කාලයක් ගත කළත් ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා වසර 10 කින් රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන කර්මාන්තවලින් මුදල් උපයා ගැනීමට අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම අපි අල්ලස් දූෂණ සඳහා කොමිසමක් ඇති කළා. මම කිසි අවස්ථාවක එම කිසිවකට අතගැසුවේ නැහැ. වැරදිකාරයන්ට නඩු දාන්න. ඒක මට ගැටලුවක් නොවෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු පත් කළා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරනවා.

එමෙන්ම ස්ත්‍රීන් සඳහා සමබර අයවැයකරණය සහ කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට ද අප  කටයුතු කරනවා. එමෙන්ම සෑම පොලිසියකම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේවා සිදුකළේ රටේ සාමාන්‍ය ජනතාවගේ දියුණුව වෙනුවෙන්.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බෙදුණා. නමුත් මම ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ලෙස අප සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යමුයි කියලා. අපි සැලසුම්සහගතව කටයුතු කළොත් අපට ටික කාලයකින් ආණ්ඩුවක් ගොඩනගාගත හැකි බව මම එදා පෙන්වා දුන්නා. නමුත් බොහෝ අය ඊට විරුද්ධ වුණා. ඇතැම් අය සිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න ඕන කියලා.

මේ මතය තුළ එක්සත් ජාතික පක්ෂය බෙදුණා. ඇතැම් අය සමගි ජන බලවේගයට ඡන්දය දුන්නා. ඇතැම් අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඇතැම් අය අපි වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. මම ඒ සියලුදෙනාටම කියනවා අද තිබෙන්නේ එක පක්ෂයයි. ඒ එක්සත් ජාතික පක්ෂයයි. අපි ඉදිරිපත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා නිදහස ලබා දුන් මේ රට ආරක්ෂා කර ගැනිමට  වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇති කළ ඒ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහායි කියලා. ඒ සඳහායි මම ඔබ සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටින්නේ කියලා.

සමගි ජන බලවේගය කිව්වේ සියලු දේ දෙනවා කියලා.

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මේ විදියට ආර්ථිකය ගැන කථා කළා.

“පුද්ගලික අංශයේ ක්‍රියාකාරි පාර්ශ්වකරුවෙකු ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බනධ වන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් 2025 දී ඒක පුද්ගලික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කිරීම සඳහා වූ මග පෙන්වීම, දිරිගැන්වීම ඇතුළු යටිතල පහසුකම් හා බදු සහන සහිත උපාය මාර්ගික ජාතික ආර්ථික සැලැස්මකට අනුව ආර්ථිකය මෙහෙයවීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම”.

රටේ කඩා වැටෙන ආර්ථිකය තුළ ඔබට ලැබෙන ආදායම දෙගුණයක් කිරිමට ස්වාධීන ආයතනයක් පිහිටුවනවා කියලා ඔවුන් ප්‍රකාශ කළා.

රට ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය හැර වෙන කිසිවෙකුට සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දි මම හිතුවා ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ කියලා. ඒ නිසා මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට කතා කළා. එතුමිය කිව්වා අපිට උදව් කරන්න කැමතියි කියලා. ලෝක බැංකුවෙනුත් එයම ප්‍රකාශ කළා. මමත් ගිහින් ජනාධිපතිවරයාව දෙවරක් මුණ ගැසුණා. මේ කරුණු ප්‍රකාශ කළා. නමුත් අවාසනාවකට ඇතැම් නිලධාරීන් ඊට විරුද්ධ වුණා.

ඊළගට මැයි 09  සිදුවීම නිසා කුමක්ද සිදු වුණේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති ධූරය භාරගන්න බැහැ කිව්වා. අනුර දිසානායක මහත්තයා ඒක ඉල්ලුවෙත් නැහැ. මම ඔවුන් කිසිවෙකුටවත් දොස් කියන්නේ නැහැ. ඒ හේතුව ඔබ දන්නවා. ජනතා විරෝධයක් මැද කොහොමද ඔවුන් අගමැති ධූරය භාරගන්නේ. ඔවුන්ට ගාලු මුවදොර පිටියට යන්නවත් බැරි වුණා. ඒකයි සත්‍ය.

එදා මම හිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති රංජිත් සියඹලාපිටිය මහත්මයාගේ දුවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවෙමින්. එළියේ සිටී සියලුදෙනා දැන ගෙන හිටියා මම හෝටලයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුරුවත් ඇවිල්ලා මට යන්න කිව්වේ නැහැ. පසුව මම පිටත් වෙලා ගියා. එවිට නගර සභාව අසළ සිටි අය මෙන්ම කොම්පඤ්ඤ වීදිය පැත්තේ හිටපු අය එක්ක කථා කරලා මම ගියා. මොකද අපි සෑමවිටම සත්‍ය ප්‍රකාශ කළා. දුක් වින්දා. මිනිස්සු මුලා කළේ නැහැ. පරාජය භාර ගැනීමට සූදානම් වුණා.

පසුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු මට කථා කළා. ජනාධිපතිවරයා මට කතා කළා. මම අගමැති ධූරය භාරගත්තා. වෙන කවුරුත්වත් හිටියේ නැහැ මේක භාරගන්න. පොහොට්ටුවට භාරගන්න බැහැ සජිත්, අනුර මේක භාර ගත්තේ නැහැ. ඒ වගේම සම්බන්ධන් මහත්මයා අසනීපයෙන් හිටියේ එතුමාට භාරගන්නත් බැහැ. ඒ නිසා මම අගමැති ධුරය භාරගෙන හිටපු ජනාධිපතිවරයාට කිව්වා පුළුවන්නම් විපක්ෂය එකතු කරගන්න කියලා. නමුත් ඔවුන්කැමති වුණේ නැහැ.

මම මුදල් අමාත්‍යවරයා විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කථා කළා. එම අධාර උපකාර ලබාගත්තා.  මේ අතර තමයි ජූලි 09 වනදා සිදුවීම ඇති වුණේ. මම දන්නේ නැහැ ඒ විරෝධය හිටපු ජනාධිපතිවරයාව පළවා හැරීමට ගෙන ආවද, මාව පළවා හැරීමට ගෙන ආවද කියලා. කෙසේ හෝ එදා ජනාධිපති නිවස වැටලු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ධුරය හැර ගියා. මගේ නිවස ගිනි තැබුවා. නමුත් මම හිටියා. මොකද අපි එක්සත් ජාතික පාක්ෂිකයින්.  හිටපු ජනාධිපතිවරයා භාරදුන් වගකීම මම භාරගත්තා.

මම වැඩබලන ජනාධිපති ලෙස රජයේ ගොඩනැගිල්ලක දිවුරුම් දෙනවට රජයේ නිලධාරින් බිය වුණා. නමුත් වාලුකාරමයේ දී මම වැඩබලන ජනාධිපති ලෙස  දිවුරුම් දුන්නා.

මම මැතිවරණයකට යාමට සිතුවා. මම සිතුවා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා මට සහයෝගය ලබාදෙයි කියලා. ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඔවුන් එකතු වුණේ නැහැ. ඔවුන් අපිත් ඒකක ආවනම් අද එම කිහිපදෙනෙකුම ඇමතිකම්වල කටයුතු කරනවා. නැවත පැමිණ මනුෂ සහ හරින් මම පිළිගන්නවා.

තවත් සමහර අය කිව්වා ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දෙනවා කියලා. ජී.එල්. පීරිස් මට විරුද්ධ වුණේ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනාධිපතිකම දෙන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැහැ පොහොට්ටුවට දෙන්න කිව්වහම සජිත් ප්‍රේමදාසයි, සජබෙයි එයට එකතු වෙනවා. ඒකට ඔහු එකඟ වුණා. ඒ වගේම ඩලස් අලහප්පෙරුමගේ දෙවැනියා වෙන්න සූදානම් වුණා.

මම මේ ආර්ථික අර්බුදයෙන් රට බේරගන්න සියලුදෙනාගෙන් සහය ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ විට ඔහු කිව්වා රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරන්න පුළුවන් ඔයාට විතරයි ඔයා ඒක භාරගෙන කරන්න කියලා.

අද මහින්ද රාජපක්ෂ හොද නැහැ කියන අය එදා මල් වට්ටි අරගෙන ගිහින් සහාය ඉල්ලුවේ. මම නිකන් දුරකථනයෙන්  එතුමාට කතා කළේ. මහින්ද රාජපක්ෂ හොදයි ඡන්දය දෙනවනම්. ඒ නිසා ඔය බොරුව කරන්න එපා කියලා මම සමගි ජන බලවේගයට කියනවා.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ හොඳ නැහැ අපි එන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ සට්ටන්බිරාළව ජී.එල්. පීරිස්ව ගත්තා. ඒ සට්ටන්බිරාළ කියන්නේ නැහැ මහින්ද හොද නැහැ කියලා. සට්ටන්බිරාළ හොදයි. මහින්ද හොද නැහැ.

අද සමගි ජන බලවේගය තුළ ඉන්නේ සට්ටන්බිරාළයි, ගොඩ පෙරකදෝරුවයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට එහි තැනක් නැහැ.

පසුගිය 06 වනදා මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විට හර්ෂ ද සිල්වා මහත්මයා ඉල්ලීමක් කළා  ණය ගණුදෙණුවලට අදාළ සාකච්ඡාවලදී අපවත් සම්බන්ධ කරගන්න කියලා. මම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙනවා එම සාකච්ඡා සඳහා සහභාගී විය හැකියි කියලා. ඒ අනුව මම මගේ ලේකම්වරයාට කිව්වා සදුදා පක්ෂ නායකයන් කැදවලා අපි මේ පිළිබද සාකච්ඡා කරමු කියලා. අපි ඒ සඳහා ලිපි යැවුවා. එවිට ගොඩපෙරකදෝරුවා ගිහින් විපක්ෂ නායකතුමාට කිව්වා හර්ෂ කියන ඒවා කරන්න එපා. මම කියන ඒවා කරන්න ඕන කියලා. අපි මේ සාකච්ඡා සදහා සහභාගිවෙන්නේ නැහැ කියලා. අද මගේ ලේකම්තුමාට ලිපියක් එවලා තිබෙනවා එම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. ගොඩපෙරකදොරුවට යට වුණා. ඉතින් මේ පක්ෂය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තැනක් තිබෙනවද, එම සියලුදෙනා අද කොන් වෙලා සිටින්නේ.

ඔවුන්ගේම මුදල් පිළිබඳ ප්‍රධාන මන්ත්‍රීවරයා පැත්තකට දමා තිබෙන විට කොහෙමද බලාපොරොත්තුවක් තබන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහ ලේකම් රංගේ බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ද මේ රැලිය ඇමතූහ.