උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

රාජපක්ෂ පවුලට නඩු පිට නඩු

ජගත් ගේ සතියේ සටහන  -  74

රාමචන්ද්‍රන් අර්ජුනා ගේ චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පසුගිය 23 දා සිට 26 දා දක්වා ශ්‍රී ලංකාවේ කළ සිය නිල සංචාරය ශ්‍රී ලංකාවේ දේශපාලන අංශ හා රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර දැඩි කතා බහට ලක්වී තිබෙනවා.

මෙම සංචාරය අතර තුර ටර්ක් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, විදේශ කටයුතු ඇමති විජිත හේරත්, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, විදේශ කටයුතු වියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර, ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන අය සමඟ සාකච්ඡා පැවැත්වූ අතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා, අගවිනිසුරුවරිය යන රජයේ නියෝජිතයින් ද හමුවුණා.

ඒ අතර ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ  විශේෂ සිද්ධියක් වුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් හමුවීම යි. වෙන වතාවල විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයකු පැමිණි විට රජයේ ප්‍රධානීන්ට අමතරව විපක්ෂ නායක, දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයින් හමුවන නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයින් මහ කොමසාරිස්වරයාට එකවර හමුවීමට කටයුතු යොදා තිබුණා.  

මෙම හමුවට සහභාගි වූ ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක එස්. ශ්‍රීධරන් ඇතුළු දෙමළ පක්ෂ නායකයින් ශ්‍රී ලංකාවේ තවමත් මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන බව පවසමින් ආණ්ඩුවට විරුද්ධව චෝදනා එල්ල කරමින් අදහස් දක්වා තිබුණා.

 

''ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිද්ධ වුණා. ලංකාවේ ආණ්ඩුවට ඒ ගැන වගවීමක් නැහැ. ඒ නිසා මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැ යි ද ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.  

ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි යාපනයේ රාමචන්ද්‍රන් අර්ජුනා මහතා මෙම හමුවේ දී පළමුවෙන් ම කතා කිරීමට සූදානම් වූ විට ඇමති බිමල් රත්නායක මහතා 'පොඩ්ඩක් ඉන්න' යි ඔහුට දන්වා ඇති අතර ඉන් කෝපයට පත් අර්ජුනා මහතා ''මේක තමයි ක්‍රමය දෙමළ මනුස්සයකුට පාර්ලිමේන්තුවේ දී වත් කතා කරන්නට ඉඩ දෙන්නේ නැහැ " යි පැවසූ බවයි වාර්තා වෙන්නේ.

මෙහිදී ඔහු තමාට විරුද්ධව පාර්ලිමේන්තුවේ සිදුවන අකටයුතු ගැනත් සඳහන් කොට තිබුණා. නොමනා හැසිරීම නිසා සති දෙකක කාලයකට අර්ජුනා මන්ත්‍රීවරයා ගේ කතා හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම කතානායක වරයා තහනම් කොට තිබුණා. ඔහු පවසා ඇත්තේ වරායෙන් කන්ටේනර් 323 ක් පරීක්ෂා නොකෙට මුදා හැරීම ගැන තමා පාර්ලිමේන්තුවේ දී හෙළිකිරීමෙන් පසු තමාට හිරිහැර සිදුවන බව ද අර්ජුනා මන්ත්‍රීවරයා පැවසූ බව ද වාර්තා වෙනවා.

එහෙත් මෙම රැස්වීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ''යුද්දෙන් පස්සේ කිසිම ගැටලුවක් නැහැ. ජාතීන් අතර සුහදතාවය තියෙනවා. මිනිස්සු ඔක්කොම සුහද ව එකට  ජීවත්වෙනවා.  යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් දැන් හැමෝම එකමුතුව ජීවත් වෙනවා"යැ යි පවසා තිබෙනවා.

අපේ රටේ තිබුණේ සිවිල් යුද්ධයක්. යුද අපරාධ සිද්ධ වුණේ නැහැ යි මෙහිදී පැවසූ නාමල් රාජපක්ෂ මහතා මානව හිමිකම් දේශපාලනීකරණය කරන්නේ නැතිව නැති ප්‍රශ්න ඇති නොකරන්න යැ යි ටර්ක් මහතාගෙන් ඉල්ලා සිටි බව ද දැන ගන්නට තිබෙනවා.

සිය සංචාරය අතර තුර මානව හිමිකම් කොමසාරිස්වරයා යාපනේ චෙම්මිනි සමූහ මිනීවළ නැරඹීමට ද ගියා.

මෙම යාපනයේ ගමනේ දී අතුරුදන්වූවන් නියෝජනය කරන සංවිධාන, තවත් සිවිල් ක්‍රියාකාරීන් හා දේශපාලනඥයින් ද හමුවූ අතර ඔවුන් විසින් විරෝධතා ද සංවිධානය කොට තිබුණා.

මෙහි විශේෂත්වයක් වූයේ මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ගිය ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් එම පක්ෂයේ මන්ත්‍රී ශානක්‍යම් රාජපුත්‍රම් රාසමානික්‍යම්, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති, ධීවර ඇමති රාජමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරු ද විරෝධතා කරුවන් විසින් පලවා හරිනු තැබුවේ තමන්ගේ විරෝධතාවයට දේශපාලනය එක් නොකරන සේ ඉල්ලමින්.

මේ අතර එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සැබෑ තත්වය ලෝකයා හමුවට ගෙන යමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තැබීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහාය අවශ්‍ය බවයි.

රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව තහවුරු කිරීමට මෙන් ම මානව හිමිකම් සුරැකීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තම රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් සිටි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසන්නේ මානව හිමිකම් කොමසාරිස්වරයා ගේ ලංකා සංචාරයෙන් පසුව ලබන සැප්තැම්බරයේ ජිනීවා හි දී පැවැත්වෙන එහි මහා මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් වන බවයි. එහිදී ආණ්ඩුව යුද්ධයේ ‌ෙඑතිහාසික සත්‍යය  හා රට ආරක්ෂා කරන බවක් පෙනෙන්නට නැති බැවින් ලංකාවට කනගාටුදායක ඉරණමක් අත්වීමට ඉඩ ඇති බව ද දයාන් ජයතිලක මහතා පෙන්වා දෙනවා.

⋆⋆⋆       ⋆⋆⋆      ⋆⋆⋆      ⋆⋆⋆

රාජපක්ෂ පවුලට නඩු පිට නඩු

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඔවුන්ගේ මෙහෙයුම් දිනෙන් දින වැඩි කරමින් සිටිනවා. මේ වන විට ඉකුත් දෙසතිය තුළ ප්‍රබල නිලධාරීන් හා හිටපු ආයතන ප්‍රධානීන් ගණනාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිවරයකු වන නිශාන්ත වික්‍රමසිංහ මහතා පෙරේදා අත්අඩංගුවට ගැනීම රාජපක්ෂ පවුලේ දැඩි කම්පනයට හේතුවී ඇති බවත් වාර්තා වෙනවා.

නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අතුඅඩංගුවට ගනු ලැබූ ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූල් 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කොට තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිව සිටිය දී 2010 – 2012 කාලයේ ශ්‍රීලංකන් ගුවන් ගමන් කිහිපයක් වෙනස් කිරීමෙන් ගුවන් සේවයට ඇමරිකානු ඩොලර් 25000 කට අධික මුදලක් පාඩු කිරීම හා 2014 දී කටුනායක පැවති මහින්ද රාජපක්ෂ මහතා ගේ ඡන්ද ප්‍රචාරක රැස්වීමකට සමගාමීව පැවැත් වූ සංගීත සංදර්ශනයකට රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැය කිරීම යන චෝදනා යටතේ නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක දී සිදුවී ඇතැ යි කියන අයථා කටයුතු ගැනත් ඔහුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ කරගෙන යන බව ද වාර්තා වෙනවා.

හිටපු ධීවර ඇමතිවරයකු වූ දොස්තර රාජිත සේනාරත්න මහතා ද ළඟදීම අත්අඩංගුවට ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පෙරේදා (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ ඔහු ධීවර ඇමතිව සිටිය දී කිරින්ද වෙරළේ වැලි ගොඩදමන කොන්ත්‍රාත්තුවක් ලබාගෙන සිටි කොරියානු සමාගමකට නොමිලේ ධීවර සංස්ථාව සතු යාත්‍රා හා උපකරණ ලබාදීම සම්බන්ධයෙන් බවයි දැනගන්නට තිබෙන්නේ.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ එකල සිටි සභාපති උපාලි ලියනගේ මහතා ද කොමිසම විසින් මේ පිළිබඳව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියන පහක් බැගින් වූ ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

මහින්ද ගෙන් මා නා හිමිනමකට ඉල්ලීමක් ?

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද අද හෙට ම අත්අඩංගුවට ගැනීමට යන බව ද වාර්තා වෙනවා.

ඒ සිරිලිය නමින් බැංකු ගිණුමක් පවත්වා ගෙන යෑමත් එම ගිණුමට රුපියල් කෝටි මුදල් ලැබී තිබූ අන්දම ගැන ප්‍රශ්න කිරීමට බවයි දැනගන්නට තිබෙන්නේ.

මෙම සිද්ධිය ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම 2015 දී පටන් පරීක්ෂණ පැවැත්වූ අතර එවකට කතානායකව සිටි චමල් රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ දී කොමිසමේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන තිබුණා. එහෙත් එම පරීක්ෂණ පසුව යටගසා තිබූ බවද පැවසෙනවා.

මේ අතර තම භාර්යාව අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  මහා නායක හිමිනමක් හරහා ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතාට පණිවිඩයක් යැවීමට කටයුතු කොට ඇති නමුත් මහා නායක හිමියන් එයට එකඟ වී නැති බවත් දැනගන්නට තිබෙනවා.

රාජපක්ෂ මහතා අනුර කුමාර දිසානායක මහතාට මේ පිළිබඳව දුරකතන ඇමතුම් කිහිපයක් ගැනීමට උත්සාහ කොට ඇති නමුත් එය ද අසාර්ථක වූ බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ වන විට රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ මහතාට නඩු දෙකක් ද යෝෂිත රාජපක්ෂ මහතාට නඩු දෙකක් ද පවතිනවා. ඒ මුදල් විශුද්ධිකරණය කිරීමේ හා වත්කම් උපයාගත් අන්දම ඔප්පු කිරීමට නොහැකි වීම නිසයි.

අල්ලස් හෝ ධූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට පසුගිය ආණ්ඩු කාලවල ශ්‍රී ලංකාවට ස්ට්‍රේලියාවෙන් කිරි ගවයන්15000 ක් ගෙන්වීමේ ගනුදෙනුව ගැන පරීක්ෂණ පවත්වා ගෙන යනවා. එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරිය ගෙන් ද කොමිෂන් සභාව පසුගිය දා ප්‍රකාශ ලබාගෙන තිබුණා.

 ළඟදීම තවත් ඇමතිවරුන් අත්අඩංගුවට ?

මේ සම්බන්ධයෙන් හිටපු කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනකු ම ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද දැනගන්නට තිබෙනවා.   හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයකුව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත් ඔහුගේ බිරිඳ, දියණියන් හා බෑණාටත් අධිචෝදනා ලබා දී මේ වන විට මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. මේ හැර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ චෝදනා යටතේ රඹුක්වැල්ල මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 11 කුට ද මහාධිකරණය හමුවේ අධිචෝදනා බාරදී නඩු පවරා තිබෙනවා.

මේ හැර 2019 ජනවාරි 01 වනදා සිට 2023 දෙසැම්බර් 22 දක්වා කාලය තුළ උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපොළ රැස්කළා ය කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ජූලි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දූෂණ, අක්‍රමිකතා සහ අයථා වත්කම් ඉපැයීම් පිළිබඳව සිදුකළ පරීක්ෂණවලින් පසු නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනඥයින්, නිලධාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 702 දෙදෙනකුට එරෙහිව මහාධිකරණ හමුවේ නඩු පවරා ඇතැ යි නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

⋆⋆⋆   ⋆⋆⋆   ⋆⋆⋆  ⋆⋆⋆

ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (30) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු රැස්වීම් මාසයේ මුල් සතියේ සහ තුන්වන සතියේ පැවැත්වෙන නමුත් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මෙම රැස්වීම කැඳවීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කොට තිබෙනවා.

මෙහිදී රජය සිය මුල්‍ය උපාය මාර්ගය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

මෙම ප්‍රකාශය මුදල් ඇමතිවරයා ද  වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පවත්වනු ඇති බවයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු හතර වැනි වාරිකය වන ඩොලර් මිලියන 344 ක මුදල ජූලි මාසය තුළ ලැබීමට නියමිත අතර එයින් සිදු කිරීමට යන සංවර්ධන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේ දී සඳහන් කරනු ඇති බවත් දැනගන්නට තිබෙනවා.

   - ජගත්  -