උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

රිචඩ් ද සොයිසා ඝාතනයට අවුරුදු 35 යි

මෙවන් සාහසික අපරාධ තව කොතෙක් සිදු වේවි ද?

ධාර්මිෂ්ඨ සමාජයක් මේ බිමේ ස්ථාපිත කරනා වගට ලාංකේය ජනතාවට දිවුරා දිවුරා පොරොන්දු දෙමින්, හයෙන් පහක බලයක් පික්පොකැට් ගසා රටේ පාලන අතට ගත්, ජේ. ආර්. - ප්‍රේමදාස බාන විසින්, මේ පින්බිම පුරා වපුලේ මහා නොපනත්කම් ය. අසාධාරණකම් ය.

ඔවුන් ජනතා මර්ධනය අරඹන ලද්දේ, රුපියල් දහයකින් පඩිපත වැඩි කරනා සේ ඉල්ලා, ලාංකේය කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව ඇරඹූ, මහා වැඩ වර්ජනය ඉතා තුච්ඡ අයුරින් තලාපෙළා  කුඩු පට්ටම් කර විනාශ කරමිනි. ඒ 1980 ජූලි මස ය. අනතුරුව පැවති පළාත් පාලන ඡන්දයට යාපනයේ ගිය ධාර්මිෂ්ඨ මැරයන් යාපනයේ තුබූ ආසියාවේ අති දැවැන්ත පුස්තකාලයක් සේ පිළිගත් පොත්ගුල ගිතිබත් කොට විනාශ කරන්නට තරම් නරුම විය.

1983 කළු ජූලිය ද ඇරඹී ය. අනතුරුව දියත් කෙරුණේ උතුරේ ද දකුණේ ද අති දැවැන්ත තරුණ මර්ධනයකි. තරුණ තරුණියන් බුරුතු පිටින් පැහැරගෙන ගොස් මරා මහමඟ ද, පාළු සොහොන් පිටිවල ද, ඇළ දොළ ගංඟාවන් හි, මෙන් ම මහ මුහුදේ ද පාකර හරින්නට තරම්, උහුගේ ධාරුමිෂ්ඨර්කම ඔප් නංවමින් කළ මහා විනාශය නිසා, දකුණේ තරුණ තරුණියන් හැට දහසක් පමණ ,රට දැය සමයට අහිමි විය. උතුරේ තත්වය ද එය ම විය.
මෙසේ කුරිරු ඝාතන කරන ලද පාලකයින් ගේ නියෝග මත, නිවසට කඩා වැදී පැහැර ගෙන ගොස් ඝාතනය කොට, මහ මුහුදට දමන ලද එක් චරිතයක්, අපේ රැහේ එකෙකි. ඒ බොහෝ ක්ෂේත්‍රයන් හි නමක් රඳවා ගෙන, හුන් ඉංග්‍රිසි පුවත්පත් කලාවේ නිපුණයකු වූ රිචඩ් ද සොයියා යි.  රිචඩ් ඝාතනය කොට එළඹෙන අඟහරුවාදාට (18) හවුරුදු තිස්පහකි.
ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී යන උතුම් ලාංචනය සහිත හිස් වැස්මක් පලඳින, නිල ඇඳමින්  සැරහුණු නීතිය හා සාමය රකින්නට කැපවී සිටිය, මහජන මුදලින් තමා මෙන් ම අඹුදරුවන් ද ්ණය කරනා, පොලිස් ලොක්කකු ඇතුළු කණ්ඩායමක් විසින්, රිචඩ් පැහැර ගෙන ගොස් ඝාතනය කොට මහ මුහුදට දමන විට ඔහු ගේ වයස හවුරුදු 31 කුත් මාස එකොළහකි. රිචඩ් උපන්නේ 1958 මාර්තු මහේ 18 වැනිදා යි. ඔහු ඝාතනය කරන ලද්දේ 1990 පෙබරවාරි 18 වැනි දා යි. මේ පිරිපුන් අති දක්ෂ පුවත්පත් කලාවේදියා, නාට්‍යකරුවා, ගත්කරුවා, මානව හිතවාදියා පැහැරගෙන ගොස් මරාදමන ලද්දේ, පාලකයින් විසින් රට පුරා වපුරමින් පැවති භීෂණය ගැන මානව ක්‍රියාකාරිකයකු හැටියට ඇප කැප වෙමින් තමන්ගෙන් රටට ජනතාවට විය යුතු මෙහෙය, හෙවත් දෙස් විදෙස් හි ජනයා දැනුවත් කරමින් හිඳීමට තිත තබන්නට හැර අන් කවර හේතුවක් නිසා ද?
ඔහු ජනතා විමුක්ති පෙරමුණට හා එහි අනු අංගයක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ඍජු සබඳතාවයක් පැවතියේ ද? හරි තොරතුරක් ඒ ගැන නම් නැත. හැබැයි ඔහු ජවිපෙට කිසියම් අයුරකින් උදව් කරන්නට ඇත යන්න හෙළදිව අපේ විශ්වාසය යි. 
(තිස්පස් වසරක් පුරා රිචඩ් තමාට යුක්තිය ඉටු කරනා සේ බලා හිටියත්, ඔහු ගේ මව මනෝරාණි සරවනමුත්තු මහත්මිය ද, පුතුගේ වියෝවෙන් එකොළොස් වසරකට පසු (2001 පෙබරවාරි 14 දා)  මියගිය ඈ ද ඇගේ සොහොනේ සැතපෙමින් බලා හිටින්නේ ද, තමාගේ එකම පුතා වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු කෙරන දිනය බල බලා ය.  සිය නිවසට මහ රෑ කඩාවැදි අවිගත් රජයේ නිල මැරයන් විසින් ඇගේ ඇස් ඉදිරිපිට ම සිය පුතණුවන් ඇදගෙන ගොස් ජිප් රියට දමා ගන්නවා දුටු මවක ඒ පාහර ක්‍රියාව කළ පුද්ගලයින් කවුරුන් දැ යි, රටේ නීතිය පසිඳලන  තැන්වලට ප්‍රකාශ කර සිටියත් ඒ කෙරෙහි ඔවුන් යුක්තිය ඉටු කරන්නට පියවර නොහෙන්නට   තරම් ආත්ම ශක්තියක් නැති අබල දුබල හීන දීන පිරිසක් වූයේ ඇයි? )
ඉතින්...   
ඒත් ඉතින්... ලසන්ත වික්‍රමතුංග සකියා ගේ ඝාතනය හා තවත් සහෝදර පුවත්පත් කලාවේදීන් ගණනාවකට අඩම්තේට්ටම් කිරීමට එරෙහිව යුක්තිය ඉල්ලා කෑ මොර ගාන, උද්ඝෝෂණ කරන විවිධ සංවිධාන හා පිරිස් රිචඩ් ගේ ඝාතනය ගැන එසේ හඬ නොනඟන්නේ මන් ද යන්නත් පැණයකි. 

රිචඩ් ද සොයිසා ඝාතනයට අවුරුදු 35 ක් සපිරීම නිමිත්තෙන් අපේ ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී සගයා -  දයා ලංකාපුර විසින් ඉරිදා ලංකාදීප පුවතට ලියන ලද ලිපියයි මේ. - සංස්කාරක - හෙළදිව

රිචඩ් ද සොයිසා ඝාතනයට අවුරුදු 35 යි.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට ඉංග්‍රිසි මාධ්‍යවේදියකු, රූපවාහිනී නිවේදකයකු, නළුවකු වූ රිචඩ් ද සොයිසා මෙරටේ බොහෝ දෙනකු හඳුනා ගත්තේ ‘යශෝරාවය‘ ටෙලි නාට්‍යයේ සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘කලියුගය’ චිත්‍රපටයේ ඔහු කළ අද්විතීය රඟපෑම නිසා ය.
ඔහු සහ ඔහුගේ මෑණියන් වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය මේ දිනවල යළි ජනතාවගේ කතා බහට ලක්වී ඇත්තේ අශෝක හඳගමගේ ‘රාණි’ චිත්‍රපටය තිරගත වීමත් සමඟ ය.
                                රිචඩ් ගේ මව වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය

රිචඩ් ද සොයිසා රාජගිරියේ වැලිකඩ පිහිටි සිය නිවසේ නිදා සිටිය දී මහ රෑ පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙළේ මෙයට වසර 35 කට පෙරදී ය. 1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගිය අයුරු ඔහුගේ මව වන වෛi මනෝරාණී සරවනමුත්තු මහත්මිය රිචඩ්ගේ මරණය පිළිබඳව පැවති මහේස්ත්‍රාත් විභාගයේ දී ප්‍රකාශ කොට තිබුණේ මෙසේ ය.

“පසුගිය සෙනසුරාදා රාත්‍රී 10. 00 ට පමණ මා නින්දට ගියා. පාන්දර 3. 00 ට පමණ කවුදෝ නිවසේ සීනුව නාද කරනු මට ඇසුණා. මම ඒ අවස්ථාවේ නැගිට ජනේලයෙන් බලන විට පොලිස් නිල ඇඳුම් ඇඳගත් කෙනකුත්, කළුපාට ටී ෂර්ට් එකක් හා කළු කලිසමක් ඇඳගත් කෙනකුත් දුටුවා. ඔවුන් සමඟ තවත් හතර දෙනකු ද සිටියා. ඔවුන් සියලු දෙනා අත ගිනිඅවි තිබුණා”

පිටස්තර අය සිටිනවා දැ යි බැලීමට නිවස පරීක්ෂා කළ යුතු බව ඔවුන් පැවසුවා. මා එහිදී ඔවුන් ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටි නමුත් ඔවුන් හැඳුනුම්පත් පෙන්නුවේ නැහැ. ඒ නිසා නිවසට ඇතුළු වීමට ඉඩදිය නොහැකියි මා කීවා. එවිට ඔවුන් මා දෙසට ගිනිඅවි එල්ල කොට මට වෙඩි තැබීමට සූදානම් වුණා. ඒ වෙලාවේ ඇති වූ බිය නිසා මා දොර ඇරියා”

“ඔවුන් මගේ කාමරය පරීක්ෂා කළා. පසුව ඔවුන් රිචඩ් නිදා සිටි කාමරයට ගොස් ඔහු එලියට රැගෙන ආවා. ඔවුන් පුතාට රිචඩ්ට පහළට එන ලෙස කියා සිටි විට පහළට යෑම අවශ්‍ය නැති බවත් මෙහි සිට කතා කරන ලෙසත් පුතා කිව්වා. ඔවුන් එවිට පුතා පහළට ඇදගෙන ගොස් එළියේ නතර කොට තිබූ ජිප් රියට නංවා ගත්තා”.

“මගේ නිවසට පැමිණි අයගෙන් දෙදෙනෙක් මට හඳුනාගත හැකියි. මම වහාම වැලිකඩ පොලිසියට ගොස් පුතා පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. ඔවුන් පැමිණි වාහනයේ අංකය මා සටහන් කර ගත්තා. පසුව එය පොලිසියට ලබා දුන්නා. පුතා පැහැර ගෙන ගියේ කොළ පැහැති ජිප් රථයකින්. එහි අංකය 32 ශ්‍රී 4748 යි”

“ඊයේ  (19) රාත්‍රී 8. 00 ට පොලිසියෙන් මගේ නිවසට පැමිණ පුතාට සමාන මළ සිරුරක් කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව පවසා එය හඳුනා ගැනීමට එන ලෙස මට දැනුම් දුන්නා”

“ඒ අනුව මා කළුබෝවිල රෝහලට ගොස් එහි මෘත ශරීරාගාරයේ තිබු මගේ පුතාගේ මළ සිරුර හඳුනා ගත්තා. කවර හේතුවක් නිසා මගේ පුතාගේ මරණයට හේතු වුණා දැ යි මට කිව නොහැකියි” යනුවෙන් ද වෛi මනෝරාණී සරවනමුත්තු මහත්මිය ප්‍රකාශ කළා ය.

පැහැරගෙන යනු ලැබූ රිචඩ් ද සොයිසා වෙඩි තබා ඝාතනය කොට ඔහුගේ මළසිරුර මුහුදට දමා තිබූ බව ද මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී හෙළ විය.

මුහුදේ පාවෙමින් තිබූ ඔහුගේ මළ සිරුර මොරටුව කොරළවැල්ලේ ධීවරයකු විසින් ගොඩට ගෙනැවිත් තිබුණි.
කොරළවැල්ල දුම්රිය පොළ අසළ වෙරළේ තම ධීවර බෝට්ටුව නතර කොට තබන ධීවරයකු වූ සෙල්ලපෙරුමගේ නිමල් ෆ්‍රනාන්දු, මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින්, පෙබරවාරි 19 වනදා දහවල් 11. 45 ට පමණ, තමා ඔරුව අසළට ගිය බවත්, යාර 300 ක් පමණ දුරින් මුහුදේ යමක් පාවෙනු දුටු බවත් පැවසී ය.

ටික වෙලාවකින් එය ක්‍රමක්‍රමයෙන් මුහුදු වෙරළ දෙසට ගසාගෙන ආ බවත්, යාර 50 ක් පමණඑය පාවී ආවිට එය මිනියක් බව හඳුනාගත් අතර, තමා මාකස් නමැත්තා ද සමඟ ගොස් එම මිනිය ගොඩට ගෙන ආ බවත් නිමල් ෆ්‍රනාන්දු තව දුරටත් කී ය.

රිචඩ් ද සොයිසා ගේ මරණය පිළිබඳ පරීක්ෂණය පැවැත් වූ මොරටුව වැඩ බලන මහේත්‍රාත්, ජී. එච්. ජිනප්‍රිය මහකා මළ සිරුරේ වෙඩි පහරවල් දෙකක් තිබෙන බව හෙළි වී තිබෙන හෙයින්, මෙය සාවi මිනිස් ඝාතනයක් ලෙස තීරණය කොට, සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සෙ, පොලිසියට නියෝග කරමින් වැඩිදුර විභාගය පෙබරවාරි 27 වැනිදාට කල් තැබීය.

පෙබරවාරි 27 වැනි දා දෙවැනි වරටආරම්භ වූ මහේස්ත්‍රාක් පරීක්ෂණය, සිදු කරනු ලැබුවේ මොරටුව මහේස්ත්‍රාත් රෝහිණී වල්ගම මහත්මිය විසිනි.

මෙම පරීක්ෂණයේ දී දෙවන දිනටත් සාක්ෂි දුන්, වෛi මනෝරාණී සරවනමුත්තු මහත්මිය රිචඩ් ද සොයිසා පැහැර ගෙන යෑමට පැමිණි, උසස් පොලිස් නිලධාරියකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු ගේ නම් සඳහන් කරමින්, තමාට ඔවුන් හඳුනාගත හැකි බව ද පැවසුවා ය.

එහෙත් මොරටුව පොලිසිය රිචඩ් ගේ මරණය පිළිබඳපරීක්ෂණ, ඉදිරියට ගෙන යෑමට හෝ සැකකරුවන් අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කිරීමට හෝ, කිසිදු උනන්දුවක් නොදැක්වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

එපමණක් නොව තම පුතාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වාර්තාවේ පිටපතක්, ලබා ගැනීම සඳහා සරවනමුත්තු මහත්මියට සිය නීතිඥ බැටී වීරකෝන් මහතා මඟින්, මහේස්ත්‍රාත් සාවියට පෙත්සමක් ඉදිරිපත් කොට නියෝගයක් ලබා ගැනීමට ද සිදු විය.

යශෝරාවය ටෙලිනාට්‍යයේ සහ කලියුගය චිත්‍රපටයේ රඟ පා, ජනප්‍රිය වී සිටි මාධ්‍යවේදි රිචඩ් ද සොයිසා ගේ ඝාතනය පිළිබඳ මේවන විට රටේ අනේදෝලනයක් ද ඇති වී තිබුණි.

මේ අතර රිචඩ් ද සොයිසා ගේ මරණය පිළිබඳ පැවැත් වූ මහේස්ත්‍රාත් විභාගයේ දී, සාක්කි දුන් මනෝරාණී සරවනමුත්තු මහත්මිය තම පුතා, පැහැර ගෙන යෑමට පැමිණි පොලිස් නිලධාරීන් ලෙෂ, රොනී ගුණසිංහ සහ එස්. ඩී. රංචාගොඩ යන පොලිස් නිලධාරීන් දෙදෙනා ගේ නම් සඳහන් කළා ය. එහෙත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නවා තබා, ඔවුන් ගෙන ප්‍රශ්න කිරීමක්වත් සිදු කළේ නැත.

පසුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින්, උසාවියේ දී තමන්ගේ නම් සඳහන් කිරීමෙන් තමන්ට අපහාසයක් වූ බව පවසමින්, මනෝරාණී සරවනමුත්තු මහත්මියට විරුද්ධව, කොළඹ දිස්ත්‍රික් උසාවියේ අපහාස නඩු දෙකක් පවරන ලදි.

සාමාන්‍යයෙන් මරණයක් පිළිබඳව පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයකට, නීතිපතිවරයා වෙනුවෙන් නීතිඥයකු පෙනී නොසිටින නමුත්, රිචඩ් ද සොයිසාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් විභාගයේ දී, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් පෙනී සිටින ලදි.

සැකකරුවන් ලෙස නම්කොට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා, අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ, රජයේ නීතිඥයා තමා එම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව, කිසිදු පියවරක් නොගන්නා බවත්, මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ ය.

එපමණක් නොව සරවනමුත්තු මහත්මියගේ හෝ ඇයගේ සාක්කිකරුවන්ගේ සාක්ෂි, තමා තමා උසාවියේ දී මෙහෙයන්නේ නැති බවත්, රජයේ නීතිඥ අනුර මැද්දේගොඩ මහතා උසාවියට දැන්වීය.

මේ අතර මනෝරාණී සරවනමුත්තු මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, බැටී වීරකෝන් මහතාට ද මෙම නඩු විභාගයෙන් ඉවත් වන ලෙසට මරණ තර්ජන ද එල්ල වී තිබුණු අතර, වීරකෝන් මහතා එ ගැන නීතිඥ සංගමයට හා ජනාධිපතිවරයාට ද පැමිණිලි කොට තිබුණි.

නීතිඥ බැටී වීරකෝන් මහතාට 1990 සැප්තැම්බර් 09 වැනි දින, ජනාධිපති ලේකම් කේ. එච්. ජේ. විජේදාස මහතා ගේ අත්සනින් යුතු, ලිපියක් ජනාධිපති කාර්යාලයෙන් එවා තිබුණි. එම ලිපියේ සඳහන් වූයේ රිචඩ් ද සොයිසා ඝාතනය පිළිබඳ, නඩුවක් ගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා තොරතුරු නොමැති බවයි.

ජිනීවා නුවර පැවති අන්තර් ජාතික නීතිවේදී කොමිෂන් සභාවේ දී, රිචඩ් ද සොයිසා ගේ ඝාතනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබුණි. රිචඩ් ගේ මරණය පිළිබඳව පැවැත්වූ පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බැවින්, මේ ගැන කොමිෂන් සභාවක් පත්කොට පරීක්ෂණ සිදුකළ යුතු යැ යි, එම කොමිසම නිර්දේශ කළේ ය.

මේ අතර රිචඩ් ද සොයිසාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් විභාගය පැවැත්ව,ූ මොරටුව මහේස්ත්‍රාත් රොහිණී වල්ගම මහත්මිය, රජයේ නීතිඥ මැද්දේගොඩ මහතා ඉදිරිපත් කළ කරුණු අනුව, සැකකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට, සාක්ෂි නොමැති බැවින් මෙම නඩුව අවසන් කරන බව ප්‍රකාශ කළා ය.

සාමාන්‍ය ක්‍රමය අනුව නඩුවක දී රජය වෙනුවෙන් පෙනී සිටින, නීතිඥයින් පැමිණිල්ල ඔප්පු කොට, විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි මෙහෙයවමින්, ඔවුන් වරදකරුවන් බවට ඔප්පු කිරීමට, කටයුතු කරන නමුත් මෙම නඩුවේ දී, රජයේ නීතිඥයා විත්තිය වෙනුවෙන් කටයුතු කිරීම විශේෂ සිද්ධියක් විය.

රිචඩ් ද සොයිසා ඝාතනය කිරීමෙන් පසු ඒ ගැන මහජන උද්ඝෝෂණ වර්ධනය වෙමින් පවතිද්දී, රජයේ නිල පුවත් ඒජන්සිය වන ‘ලංකා පුවත්’ වාර්තාවක සඳහන් වූයේ, රිචඩ් ද සොයියා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු බවත්, ඔහු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිද්ධියට අදාළව, අසත්‍ය වාර්තා ‘ඉන්ටර් ප්‍රෙස් සර්විස් (IPS) ප්‍රවෘත්ති සේවය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීමට කටයුතු කොට ඇති බවත් ය.
තවද ඔහු මත්ද්‍රව්‍යලෝලියකු හා සමලිංගික සේවනයෙහි යෙදෙන්නකු බව ද, ලංකා පුවත් වාර්තාවේ දක්වා තිබූ අතර, එම පුවත 1990 මාර්තු මස 02 වැනි දින, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශය මඟින් ද ප්‍රචාරය කරනු ලැබී ය.
එම වාර්තාවේ කිසිදු පදනමක් හා ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ද සඳහන් නොවී ය.
මේ අතර රිචඩ් ද සොයිසා ඝාතන පරීක්ෂණ නතර වීමත්, එ පිළබඳව එවකට පැවති ආණ්ඩුවට චෝදනා එල්ල වීමත් නිසා, මෙහි සුලමුල සෙවීමට රිචඩ් ද සොයිසා පැහැරගෙන යෑම හා ඝාතනය කිරීම පිළිබඳව, පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරන්නැ යි ඉල්ලා සිටිමින්, විපක්ෂය 1990 දෙසැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය.
විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මෙහෙයැවීමෙන්, ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාවට, බණ්ඩාරනායක මැතිනිය හා දිනේෂ් ගුණවර්ධන, ආතාවුද සෙනෙවිරත්න, කේ. ප්‍රේමචන්ද්‍රන්, වාසුදේව නානායක්කාර, මාවෙයි සේනාධිරාජා, අනුර බණ්ඩාරනායක, රිචඩ් පතිරණ, ජෝෂප් පරරාජසිංගම්, මංගල මුණසිංහ, නන්දිමිත්‍ර ඒකනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රදීප් හපන්ගම, හේමකුමාර නානායක්කාර, සී. වී. ගුරණරත්න, ධර්මසිරි සේනානායක, ස්ටැන්ලි තිලකරත්න, කේ. බී. රත්නායක, එස්. එල්. ගුණසේකර, දොස්තර නෙවිල් ෆ්‍රනාන්දු හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් අත්සන් කර තිබුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුව ඉරිදා දිනයක රැස්වූයේ මෙම යෝජනාව විවාද කිරීම සඳහා ය. 1990 දෙසැම්බර් 09 වැනි දින පෙරවරු 10. 00 ට කතානායක එම්. එච්. මොහොමඩ් මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.
විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන්, රිචඩ් පතිරණ මහතා යෝජනාව ඉදිරිපත් කළේ ය. නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ස්ථිර කළේ ය.
ඒ සමඟ ම නැඟී සිටි කර්මාන්ත, විiා හා තාක්ෂණ ඇමති සහ සභානායක, රනිල් වික්‍රමසිංහ මහතා 84 (6) දරණ ස්ථාවර නියෝගය යටතේ, රීති ප්‍රශ්නයක් මතුකරමින් රොනී ගුණසිංහ හා එස්. ඩී. රංචාගොඩ යන පොලිස් නිලධාරීන් විසින්, මේ පිළිබඳව මනෝරාණි සරවනමුත්තු මහත්මියට විරුද්ධව, නඩු දෙකක් පවරා ඇති බැවින්, 13 (1) ස්ථාවර නියෝගය අනුව උසාවිය හමුවේ තියෙන නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකි බව පැවසී ය.

රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 115 ක පමණ කාලයක් ගෙන, යෝජනාව විවාදයට නොගත යුතු බවට කරුණු ඉදිරිපත් කළේ ය.

මෙනිසා රිචඩ් ද සොයිසා ඝාතනය ගැන කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාව වෙනුවට, එදින මුළු දවස ම පාර්ලිමේන්තුවේ විවාද කෙරුණේ, රනිල් වික්‍රමසිංහ මහතා මතුකළ රීති ප්‍රශ්නය පිළිබඳව ය.
කේ. එන්. චොක්ෂි, ඊ. පී. පෝල් පෙරේරා, චන්ද්‍රා රණතුංග යන ආණ්ඩුවේ මන්ත්‍රීවරු යෝජනාව විවාද නොකළ යුතු බවට කරුණු ඉදිරිපත් කළහ.
යෝජනාව විවාදයට ගතයුතු බවට නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල මුණසිංහ, අනිල් මුණසිංහ, ආතාවුද සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන, එස්. එල්. ගුණසේකර යන මහත්වරු කරුණු දැක්වූහ.
දීර්ඝ විවාදයකින් පසු කතානායකවරයා පාර්ලිමේන්තු රැස්වීම, 1990 දෙසැම්බර් 18 වැනිදා තෙක් කල් තැබී ය.
දෙසැම්බර් 18 වැනිදා යළි රැස්වූ විට සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ, කතානායක එම්. එච්. මොහොමඩ් මහතා රිචඩ් ද සොයිසා පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට අවසර දෙන බව පැවසී ය.
එහෙත් අධිකරණය හමුවේ ඇති කරුණු මෙම විවාදයේ දී, සාකච්ඡා නොකළ යුතු බව ද කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ ය.
ඒ අනුව 1991 පෙබරවාරි 07 වැනි දින විපක්ෂයේ යෝජනාව පිළිබඳ, විවාදය පාර්ලිමේන්තුවේ දී දවස පුරා පැවැත්විණි.
ආණ්ඩුව මෙම කොමිසම පත්කිරීමට විරුද්ධ වන බව, සභානායක රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කතාවක් කරමින් පැවසී ය.
අවසානයේ රිචඩ් ද සොයිසා ඝාතනය ගැන කොමිෂන් සභාවක්, පත්කිරීමේ යෝජනාව පිළිබඳ ඡන්දය විමසන ලදි.
යෝජනාවට පක්ෂව ඡන්ද 71 ක් ලැබුණි.
විපක්ෂව ඡන්ද 120 ක් ඒ ගිණුමට එක් විය.
යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කෙරුණි.
කොමිෂම පත්කිරීම ඇණ හිටියේ ය.
රිචඩ් ද සොයිසා ගේ මළසිරුරේ වෙඩි පහරවල් දෙකක් තිබීම හා එය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට මරණ පරීක්ෂය පැවැත්වූ, මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජී. එච්. ජිනප්‍රිය මහතා, මේ ගැන පරීක්ෂණ පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට තිබුණි.එයින් පසු එම ඝාතනය පිළිබඳ මහසේත්‍රාත් විභාගය, මොරටුව මහේස්ත්‍රාත් රෝහිණී වල්ගම මහත්මිය, රජයේ නීතිඥයා ඉදිරිපත් කළ කරුණු පමණක් පිළිගෙන, සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීමට, සාක්ෂි නොමැති බැවින් නඩුව අවසන් කරන බව ප්‍රකාශ කළා ය.

රිචඩ්ගේ මෑණියන් වන මනෝරාණී සරවනමුත්තු මහත්මිය, සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන තිබියදීත්, මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශයක්වත් ලබා නොගැනැමීමෙන්, පෙනීයන්නේ රිචඩ්ගේ ඝාතනය ගැන පොලිසියට, නීතිපති දෙපාර්තමේන්තුවට හා අධිකරණයට, ඉහළ දේශපාලන අංශවලින් එල්ල වූ බලපෑම කොතෙක් ද යන්න යි.

රිචඩ් ද සොයිසාගේ ඝාතනය ගැන යළි සාධාරණ පරීක්ෂණයක් පවත්වා, යුක්තිය ඉටු කිරීම වත්මන් රාජ්‍ය පාලකයින් ගේ වගකීමකි.

 

 - දයා ලංකාපුර -

⋆⋆⋆