උණුසුම් පුවත්කාලීනදේශපාලන

රුපියල් බිලියන 10 ක වන්දියක් මහින්ද පතිරණගෙන්, සුනිල් වටගල ඉල්ලනවා

කීර්ති නාමයට හානි කරලා ලු

මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන  ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ. ඒ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ඒ මහතාට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමිනි. කඩුවෙල දිසා අධිකරණයේ අංක 8892/එම් යටතේ පවරා ඇති මෙම නඩුව මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා මහින්ද පතිරණ මහතාගෙන් රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇති අතර මහින්ද පතිරණ මහතා තමාටත් තම දේශපාලන ව්‍යාපාරයටත් අපහාස කිරීමේ අරමුණින් සිතාමතාම අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් මෙම අපහාසය සිදුකර ඇති බවට සුනිල් වටගල මහතා අධිකරණයට කරුණු සැලකර තිබේ.

මහින්ද පතිරණ මහතා 2025 සැප්තැම්බර් මාසයේ දිනක ප්‍රසිද්ධ කරන ලද ෆේස්බුක් පළකිරීමක් මගින් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාට කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ කෝටි 45 ක් වටිනා සුඛෝපාභාගී නිවාසයක් ඇති බවට අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවත් එම නිවාසය මිලදී ගැනීම සදහා මුදල් සොයාගත් ආකාරය සැක සහිත බවත්, එය අල්ලසක් විය හැකි බවටත් ආදී වශයෙන් කරුණු දක්වා තිබූ බවත් ඒ සියල්ල මුළුමනින්ම අසත්‍ය හා සාවද්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් දක්වා තිබේ. තවද මහින්ද පතිරණ මහතා සචින් රත්වත්තේ නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිනුමක් උධෘත කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, එම ෆේස්බුක් ගිණුම සත්‍ය එකක් ද නැත්ද යන්න පවා සැක සහිත බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා තම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

තවද මහින්ද පතිරණ මහතාගේ එකී ප්‍රකාශය උපුටා දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද යම් අදහස් දැක්වීම සිදුකර ඇති බවත් මහින්ද පතිරණ මහතාගේ පළකිරීම බොහෝ සේ සමාජ ගතව ඇති බවත් එයින් තම කීර්ති නාමයට බලවත් අපහාසයක් සිදුව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා එම පැමිණිල්ලෙන් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස ඉල්ලා යවන ලද එන්තරවාසිය ප්‍රතික්ෂේප කිරීමක් මහින්ද පතිරණ මහතා විසින් සිදු කර නොමැති බවත් වටගල මහතාගේ පැමිණිල්ලේ සදහන් කර තිබේ.

වටගල මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් මහින්ද පතිරණ මහතාගේ පිළිතුර 2026 අප්‍රේල් මස 24 වන දින කඩුවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් දින නියම කර ඇත.