'සාදුකින් පෙළෙන වුන් - දැන් ඉතින් නැගිටියව්'



හවුරුදු අනූවකට පෙර ලාකේය වාම ව්‍යාපාරයේ මුල් පැළය හටගත්තේ සූරිය මලකිනි. ඒ 1935 උඳුවප් මහේ අද වන් දොහක ය.


මේ සූරිය මල අතදරා හුන්නේ අධිනීතිඥ වරයෙකි. නමින් හේ ඊලියන් පෙරේයිරා යි. මේ ඊලියන් පෙරෙයිරා අධිනීතිඥවරයෙකි. ඔහු හිරු නොබසින අධිරාජයා ගේ හමුදාවේ සේවය කර ඇත. පළවැනි ලෝක යුද්ධයේ දී හිරු නොබසින අධිරාජ්‍යය වෙනුවෙන් කැප වූවෙකි. මේ වන විට සේවා මුක්තව සිටි නිලධාරියෙකි. මේ බිමේ සිටින තමා ද ප්රමුඛ සේවා මුක්ත නිලධාරීන්ට, රට කරවන සුද්දන් ගේ විසින් කළ, කරන ලද, අකටයුත්තක් හේතුවෙන් උන්ට අභියෝග කරන්නට පෙරෙයිරා සූරියමල අතට ගත්තේ ය. ඒ පළමු ලෝක යුද්ධයේ දී පෙරමුණට ගිය, ගොස් සේවා මූක්තව සිටින අයට ගෞරවාන්විත ප්‍රදානයන් දක්වන්නට, ඔවුන් විසින් ඇරඹූ පොපිමල් එකතු පහදු කරගත්තු මුදලින්, ඒරොප්පේ සේවා මුක්තයනට හා, යුද්දෙන් මියැදුණු ඔවුන්ගේ ඇත්තන්ගේ, අඹු දරුවනට සලකමින්, අපේ ඇත්තන් නොසලකා හැරීම හේතුවෙන් හෙළදෙස් හි එවන් උදවියට පිරිනමන්නට හේ 'සූරියමල්' විකිණීම ඇරඹුවේ අභීත පුද්ගලයකු හැටියට යි. ඊලියන් පෙරෙයිරා නම්, මේ ලංසි හෙවත් බර්ගර් ජාතික අධිනීතිඥවරයා 1931 දී 'සූරියමල්' ව්‍යාපාරය ඇරඹුව ද එය ක්‍රියාත්මකව පැවතියේ හවුරුද්දක් පමණි.
ඊලියන් මේ සද්ක්‍රියාව කරනා සමය වන විට ගෙන්දගම් පොළොවේ මෙන් ම, අවශේෂ ප්‍රධාන නගර ගණනාවක ම තරුණයින් හෙවත් නාම්බන්, සුද්දාගේ පාලනයේ තුච්ච කම නිසා ම උනට එරෙහිව පෙළ ගැහෙමින් සිටිය කාලවකවානුවයි. මොවුන්ගෙන් බහුතරයක් ඉංගිරිසි අධ්‍යාපනය හදාරන ලද්දන් ය. ඊලියන් පෙරෙයිරාගේ බිඳවැටී තිබුණු 'සූරියමල්' ව්‍යාපාරයට යළි ජීවය පිඹින්නට රට පුරා විසිර සිටින මේ තරුණයින් පියවර ගත්තේ ඒ හරහා හෙළයේ සාරය උරා බොමින් මෙහි සම්පත් කොල්ලකන අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජනතාව අතරට යෙමින් ඔවුන් පෙළ ගැස්සීමට ඇති හැකියාව අවබෝධ කර ගනිමිනි.
ඔවුහු ඊලියන් අධිනීතිඥවරයා හා එකඟතාවයකට පැමිණ, කොළඹ ලෝරිස් පාරේ පිහිටි දොස්තර මේරි රත්නම් නමැති, සමාජ ක්‍රියාකාරිනියගේ (ලංකා මහිලා සමිතියේ නිර්මාතෘවරිය) මන්දිරයට රොක්වී ආරම්භක රැස්වීම පැවැත්වූහ.
වෛද්‍ය මේරි රත්නම් මහත්මියගේ පුත්‍රයා, රොබින් රත්නම් ය. ඔහු අම්මා මෙන් ම බොහොම දක්ෂ සමාජශීලී පුද්ගයකු බව සටහන් කළ යුත්තක් ම ය..
'සූරියමල්' ව්‍යාපාරය යළි පණ පොවන්නට ඇරඹි මේ රැස්වීමට සහභාගි වූ එක් ප්‍රධාන චරිතයක් නම්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අකුරැස්ස මහජන නියෝජිත දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ය. නැතිනම් සුගීශ්වර අබේවර්ධන වික්‍රමසිංහයන් ය. ඔහුගේ බිරිය ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ විදුහල්පතිනිය වූ, බ්‍රිතාන්‍ය ජාතික ඩොරින් වික්‍රමසිංහ ද එක්වීම තවත් සුවිශේෂිත, ෙඑතිහාසික කාරණයක් සේ, මෙරටේ වාම ව්‍යාපාර ඉතිහාස පොතේ ලියැවී ඇත්තකි.
වෛද්‍ය ඇස්. ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, අධිනීතිඥ කොල්වින් ආර් ද සිල්වා, ඇම්. ජී. මැන්ඩිස්, ලෙස්ලි ගුණවර්ධන, නීතිඥ වර්නන් ගුණසේකර, විල්මට් ඒ. පෙරේරා, ජේ. සී. ටී. කොතලාවල, රොයිස් ද මැල්, ටෙරෙන්ස් ද සිල්වා, හෙන්රි පෙරිප්පනායගම්, නීතිඥ ඩී. වේලාරත්න, නීතිඥ බී. ජේ. ෆ්‍රනාන්දු, රොබට් ගුණවර්ධන, අයිලින් වීරසේකර, සෙලිනා පෙරේරා (එකල ඇන්. ඇම්. ගේ පෙම්වතිය - පසුව බිරිය) ද මේ ආරම්භක රැස්වීමට එක්ව හුන්හ. මේ අලුත් ව්‍යාපාරයේ සභාපතිනිය සේ පත්කර ගන්නා ලද්දේ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ, එවකට ප්‍රධානාචාර්ය ධූරය දරන ලද ඩොරින් වික්‍රමසිංහ යි.
නව සූරියමල් ව්‍යාපාරය පොදු මහජනයා අතර හඳුන්වා දෙන ලද්දේ, සුද්දන්ගේ පාලනය විසින් පළමුවැනි යුද ජයග්‍රහණය හා සමාදානය කෙරුණු දිනය, වාර්ෂිකව සිහිපත් කරනා දවසේ ය. එනම් 1933 ඉල්මහේ 11 වැනි දිනයේ ය.
හරියට ම එකොළොස් වැනි මහේ, එකොළොස් වැනිදා, පෙරවරු එකොළහයි, එකොළහට සියලු දෙනා නිහැඩියාවෙන්, නිශ්ශබ්දනාතයෙන් සිටිය යුතු බව, සුද්දන් ගේ නියමය විය. සුද්දන්ගේ ඒ නියෝගය පයිසෙකට ගණන් නොගනිමින්, කොළඹ රටේ හෙවත් ගෙන්දගම් පොළොවේ, පැවතියේ බොහොම සද්ද බද්ද සහිත පරිසරයකි. කොළඹින් පැතිරුණේ දැවැන්ත ඝෝෂාවෙකි. මං මාවත් හි ධාවනය කෙරෙන, රථ වාහන නතර කොට සිහිපත් කළ යුතු විනාඩිය, තුට්ටුවකට වත් නොතැකූ වාහන ධාවකයින්, ඔවුන්ගේ වාහන නලා, නාද කරමින් කළේ සුද්දන්ට මායිම් නොකරන බවට සිය විරෝධය දැක්වීම ය. ඒ මෝටරි රිය, බස්රිය, ලොරි රියවල පිරුණු තරුණයෝ, අධිරාජ්‍යවාදීන්ට අභියෝග කරනා බව, කෑ ගාමින් නගරය දෙවනත් කළ හ. ඔවුන්ට, මොවුන් විරුද්ධ බව කියා පෑහ. මේ බව මැනවින් වටහා ගන්නට පාලකයින්ට තවත් අමුතුවෙන් අටුවා, ටිකා, ටිප්පනිවලින් කීමට අවශ්‍ය නැත.


තරුණයින් ගේ මේ අලුත් ඇරඹුම කෙරෙහි, රටේ ජනතාව වෙතින් ද, දිස්වුණේ පියජනක ස්වභාවයකි.ඔවුන්, ඔවුන් දිරිමත් කරන අයුරු කදිමට පෙනුණි. මෙයින් සූරියමල් ව්‍යාපාරිකයෝ මහත් සේ තුටුවූහ. උද්දාමයට පත් වූහ.ඒදා එකතු කරගත හැකි වූ මුදල්වලින්, කොටහක් ලාංකේය යුද මුක්ත භටයින්ට පමණක් නොව, සෙසු දිළිඳු දනන් හටත් පිරිනමන ලද මෙපිරිස, ඉතිරි මුදල්වලින් හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව, දැන්වීම හා අත්පත්‍රිකා මුද්‍රණය කොට බෙදා හැරියහ.
1933 වසර නිමා වී අලුත් හවුරුද්ද එළැඹියේ මුළු රට ම මහා මිනී කනත්තක් කරනා තරම් වූ වසංගතයක් කරපින්නා ගෙන යි. හිටිවනම ඇති වූ 'මැලේරියා' රෝගය, මහා වසංගතයක් වී, ඉතා ටික දිනකින් මුළු රට ම වෙළා ගත්තේ ය.
සුදු පාලකයෝ සෞඛ්‍ය හා සුභ සාධන වියදම් කපාහැර දමා ඇත. බේත් හේත් හිඟය මෙන් ම, ඊට අත්වැල් අල්ලා ගත්තු ආහාර අහේනිය ද එකට එතී ඇත. රටේ හැම තැනකින් ම ඇසුණේ, මරණයේ වේදනාවලින් නැඟෙන සෝකී රාවය යි.
දිනපතා ම මැලේරියා මදුරුවා, මිනිස් ජීවිත දහස් ගණනක් උදුරා ගනිද්දී, යටත්විජිත පාලන, බ්‍රිතාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය හැසිරුණේ ඇස්, කන්, නාස් නැත්තවුන් ලෙසට යි. පාලකයින් ගේ දුබලතම නිසා ම උනට මැලේරියා වසංගතය, පාලනය කර ගන්නට හැකි නොවිණි. මේ බියකරු වසංගතයේ බලපෑම් තදින් දැනුණේ, කෑගල්ල හා කුරුණෑගල දෙදිසාවට යි. ඒ දෙදිසාවේ මරණ වාර්තා වීම වැඩිවීමත් එක්ක, 'සූරියමල්' ව්‍යාපාරයේ ක්‍රියාශීලී තරුණ පිරිස්, තම දිවි ගැන අබමල් රොණක තරම්වත් තැකීමක් නොකර, අසරණ වී සිටින මේ මිනිසුන් ගේ පිහිටට ගොස්, දිවා රෑ නොතකා කැපවීම් කළේ, ආණ්ඩුව නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී ය.
මැලේරියා රෝගය වැලඳී එක් ලක්ෂ අසූ දාහක් ජීවිත, රටට අහිමි වූ බව රෝගී වූවන්ගේ, දිවි ගලවා ගන්නට බේත් හේත් රැගෙන ගොස්, ඒ ගම්දනව්වල කඳවුරු බැඳගත්, දොස්තර වික්‍රමසිංහයන් සුද්දා රටකරවන තැන දී හඩ නඟන ලදි. ඒත්... සුද්දන්ට වගේ වගක් නැත. කසාය බී ගොළුවන් බඳු ය.
ලංකාවේ හෙවත් 'සිලෝන්' හි එවක වාම ව්‍යාපාරයේ එකම මහජන නියෝජිතයා වූ, දොස්තර ඇස්. ඒ. විකුමසිංහයෝ රටට සිදුව ඇති විපතක මහත, රාජ්‍ය මන්ත්‍රණ සභාව හමුවේ පෙන්වා දුන්නෝ ය. මේ වසංගතය මැඬීම උදෙසා, පාලක සුදු ආණ්ඩුව ගත් දුර්වල පිළිවෙත හේ පැහැදිලි කළේ ය.
දොස්තර වික්‍රමසිංහ මෙන් ම සූරියමල් ව්‍යාපාරයේ චරිත ගණනාවක්, එංගලන්තයේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලද්දන් වේ. මොවුන් විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි සමයේදී මාක්ස්වාදී ව්‍යාපාරය කෙරෙහි ඇදී ගිය පිරිසකි. මොවුහු ලංකාවට පැමිණි පසු සුද්දන්ගේ වියගසින්, මිදීමට තත්පර වීමේ අවශ්‍යතාවය මැනවින් දුටහ.
වෛද්‍ය උපාධිය හැදෑරීමට ලන්ඩන් ගිය වික්‍රමසිංහ ට, මෙන් ම අවශේෂ ලාංකේය සිසුහු, 1917 දී සෝවියට් දේශයේ දක්නට ඇති දැවැන්ත වෙනස දැන කියා ගත්තෝ ය. එමෙන් ම ඉන්දීය නිදහස් සටන් ව්‍යාපාරය ගැන ද දත්තේ එහිදී ඇසුරට පත් ඉන්දීය තරුණයින්ගෙනි. මොවුනතරින් දැනහඳුනාගත් සුප්‍රසිද්ධ චරිතයක් බවට පසු කලෙක පත්වූ එක් තරුණ ඉන්දීය සිසුවකු වූ, ජවහර්ලාල් නේරු හා ඔහුගේ පියා මොතිලාල් නේරු ගෙන් ඉන්දීය නිදහස් සටනේ තොරතුරු මොවුන් අසාකියා ගත්තෝහ .
එරටෙහි දී ලාංකේය ශිෂ්‍ය සංගමයේ සම ලේකම් ධූරයක් දැරූ එක් අයකු වික්‍රමසිංහයන් ය. අනෙක් සම ලේකම්වරයා වූයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ය. ලෙස්ලි ගුණවර්ධන, බර්නාඩ් අලුවිහාරේ, මෙන් ම ඇන්. ඇම්. පෙරේරා ද මේ සිසු ගොනුවේ කීප දෙනෙකි. පිලිප් ගුණවර්ධනයෝ ද ඇමරිකාවේ අධ්‍යාපනය හදාරා නිමවා එංගලන්ත.යට පැමිණ ලංකා ශිෂ්‍ය සංගමයේ කටයුතුවලට හවුල් වූහ. මෙසමය සුද්දන් විසින් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය දැඩි සේ මර්දනය කරමින් හුන් කාලය යි. ඉන්දීය නිදහස් අරගලයේ ආරම්භකයින්, එරට කොමියුනිස්ට් පක්ෂය යි. මොවුහු සියලු දෙනා මාක්ස්වාදී දැක්මෙහි, පිහිටා කටයුතු කළ තරුණ පිරිසක් වූහ.
සුද්දාගේ පාලනයෙන් තැලී, පොඩි වී, මිරිකී සිටින, ලාංකේය ජනතාවට ඒ මර්දනයෙන් පීඩනයෙන්, මිදෙන්නට ඇති එක ම මඟ මාක්ස්වාදී දැක්මකින් යුක්තව, ජන සමාජය පෝෂණය කරමින්, පාලකයින්ට එරෙහිව සටන් කොට පාලනයේ වෙනසක් කිරීම යැ යි වටහා ගත් මේ යොවුන් පිරිස, ඊළඟ වසරේ සූරියමල් ව්‍යාපාරය දියත් කරද්දී ජන සමාජයෙන් ඔවුනට්, පෙරට වඩා වැඩි සහයෝගයක් ලැබිණි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන්, බටපොළ අනෝමදස්සි හිමිපාණන්, වැනි පැවිදි උත්තමයෝ ද මොවුනට සිය අවවාද අනුශාසනා උපදෙස් දෙන්නට තරම් සැදී පැහැදී වැඩ වාසය කළහ.උන් වහන්සේලා බෝ ක්‍රියාශීලී අයුරින්, මේ තරුණයින් ගේ කටයුතුවලට දායකත්වය දුන්හ. ඔවුන් තුළ පවත්නා දේශප්‍රේමීත්වය හා අත්වැල් බැඳගත්, සමාජවාදී අදහස් රටට ලෝකයට, ගෙනයෑමේ වගකීම හෙළයේ යතිවරුන් සෑහෙන පිරිසක්, අවබෝධ කොට ගෙන ඊට සම්මාදම් වූහ.
ඉතා සාර්ථක අයුරින් 1935 නොවැම්බර් 11 වැනිදා පැවති සූරියමල් විකිණීමේ ව්‍යාපාරය, රටේ ප්රතිගාමීත්වය හැර රටට හිතැති, දේශප්‍රේමී දනන්ට ගෙන දුන්නේ මහත් ආශ්වාදයකි. කොළඹ මෙන් ම ඈත එපිට අති දුස්කරතා මැද දිවි ගෙවන, සෙසු ගම් පළාත්වල ද තරුණ පිරිස් පෙරටවිත්, සූරියමල් විකිණීමට හවුල් වූහ. පාසල් හි ගුරුවර ගුරුවරියෝ ද සිසු සිසුවියෝ ද, මීට වඩාත් නැඹුරුවක් දක්වන ලද්දේ, මෙය සමාජසේවාවක් මෙන් ම සමස්ත දේශයට ම විණ කටින, සුදු පාලකයින් රටෙන් පන්නා දැමීමට, ඉස්මතු ව ඇති දැවැන්ත ව්‍යාපාරයක් හැටියට යි.
මෙහි ප්‍රතිඵලය නම් මේ උගත් බුද්ධිමත් තරුණ කැල, රට නිවැරදි දිශානතියකට යොමු කිරීම උදෙසා, තමන් ගේ හිත් හතන් හි පවතින, දේශපාලන මාර්ගය වන මාක්ස්වාදය පදනම් කර ගනිමින්, පක්ෂයක් ඇරඹීමට යොමුවීමයි. මෙය මොවුන්ගේ හිත් තුළ පැවති, මූලික ම අපේක්ෂාව ඉටුවීමක් සේ සලකා, තවත් මසකුත් දවස් හතකින්, හෙවත් සති පහකට අනතුරුව, ඒ අරමුණ සක්ෂාත් කරගන්නට මොවුන් ක්‍රියාශීලී වුහ..
ඒ 1935 උඳුවප් මහේ 18 වැනිදා ය. අද වන් දොහකි එදා. අධිරාජ්‍ය විරෝධී විප්ලවවාදී දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මොවුහු එක්රැස් වූහ. ඒ ලංකාවේ හෙවත් සිලෝන් හි සමසමාජයක් නිර්මාණය කිරීම උදෙසා යි. 'සමසමාජ පක්ෂය' මේ සූරියමලින් උපන් දරුවන්ගේ ආරම්භක දේශපාලන ක්‍රියාවලියේ අග්‍රඵලය යි.
සමසමාජ පක්ෂයේ වයසින් ජ්‍යෙෂ්ඨයා පිලිප් ගුණවර්ධන යි. ඔහුට වඩා තෙමසකින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අකුරැස්ස ආසනයේ මහජන මන්ත්‍රී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ බාල ය. ඊළඟට රොබට් ය. රොබට් ළඟට ඇන්. ඇම් . ය. ඔහුට වඩා හවුරුදු දෙකකින් කොල්වින් බාල ය.
මේ පොළොවේ සමසමාජයක් ස්ථාපිත කිරීම උදෙසා පිහිටුවා ගත්, සමසමාජ පක්ෂයේ ආරම්භක සභාපති තනතුරට, පත්කර ගන්නා ලද්දේ අධිනීතිඥ කොල්වින් ආර්. ද. සිල්වා යි. සම ලේකම්වරුන් දෙදෙනෙකි. ඒ නීතිඥ බී. ජේ. ෆ්‍රනාන්දු හා නීතිඥ වර්නන් එච්. ගුණසේකර ය. සූරියමල් ව්‍යාපාරයේ ආරම්භකයින් බොහෝ දෙනෙක් අභිනව පක්ෂයේද ප්‍රධානීන් වූහ. ලංකා සමසමාජ පක්ෂය බිහි කෙරුණේ කොළඹ 10, මරදානේ, පංචිකාවත්ත පාරේ අංක 38 දරණ නිවහනේ දී ය.

නමෝ විත්තියෙන් බිහි කෙරුණු ලාංකේය වාම ව්‍යාපාරයේ පහන් ටැඹ සේ සමසමාජ පක්ෂය ප්‍රධාන කරුණු තුනක් සිය අරමුණු අතරේ තැබී ය.
⋆ ජාතික ස්වාධීනත්වය දිනා ගැනීම,
⋆ නිශ්පාදන මාර්ග හා ඒවා බෙදා හැරීම හා හුවමාරුව සමාජවාදී මඟ ඔස්සේ පවත්වා ගෙන යෑම
⋆ ආර්ථික හා දේශපාලන අසමානතා හා ජාතිය, ආගම, පන්තිය, කුලය මෙන් ම ලිංග භේද හේතුවෙන් පවත්නා පීඩනය දූරු කිරීම.
ජයන්ත වීරසේකර මාවතේ තිඹිරිගෙයි දී ජන්මලාභය ලද සමසමාජ පක්ෂය නම් වාම ව්‍යාපාරයේ කළුඳුල් දරු පැටියා ඔසවා ගත්තු තරණ කැල ඒ කිරි සප්පයා උපන් තැන් පටන් ම හුරු පුරුදු කළේ 'අධිරාජ්‍ය විරෝධී ගමනක නියැළීමට යි. මොවුන් ගේ මේ අපේෂාව යහපත් නිසා ම සමාජයේ විවිධ තරා තිරමේ දේශප්‍රේමීන් මොවුන් හා අත්වැල් බැඳ ගන්නට දෙපාරක් සිතුවේ නැත.
සුදු රාජ්‍ය පාලකයින්ගෙන් හා ඔවුන්ගේ නිලධාරීන් හා පොලිසියේ උදවියගෙන් පොදු මහජනයාට සිදු වෙනු නේකාකාර හිංසා පීඩා කෙරෙහි විරෝධය දක්වන්නට, මොවුන් අතර කෙරුණු කතාවන්හි ප්‍රධාන මාතෘකාවක් විය. සමසමාජ නියමුවන් මෙහිලා පෙරමුණ ගන්නා විට, ජනතාව මෙතෙක් වන්දනාමාක කරමින් හුන් 'ව්‍යාජ දේශප්‍රේමීහු' සුද්දන්ට, ගැති පිළිවෙතක් අනුගමනය කරන්නට වූහ. මොවුනතර ප්‍රධාන තැනක් ගන්නා ලද්දේ ලාංකේය කම්කරු පන්තියේ මහා ගැලවුම්කාරයා සේ, පෙනී සිටි ඒ. ඊ. ගුණසිංහ නම් වෘත්තීය සමිති නායකයා ය. හේ ලංකා කම්කරු පක්ෂයේ නායකයා ද විය. සමසමාජ කාරයින් නිසා ඔහු වටා භ්‍රමණය වූ දැවැන්ත රැස්වළල්ල ඉතා වේගයෙන් බොඳවී දියවීමට පටන් ගත්තේ ය.
සමසමාජ පක්ෂය ජනතාව අතර ශක්තිමත් පවුරක් ඉදිකර ගනිමින් 1935 වසර උදාවේදී ම දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේ ය. ඉතා සුළු වැරැද්දකට පවා රියැදුරු බලපත්‍රය අහෝසි කරන්නට සුද්දා පණවා තිබුණු නීතිය අහෝසි කරන්නැයි ඉල්ලමින් මොවුන් බලපෑම් කිරීමට තීන්දු කරන ලදි. එකී ඉල්ලීම සුදු පාලනය වෙත නිවේදනය කරමින් සමසමාජ පක්ෂය විසින්, ලියන ලද ලියවිල්ලට අත්සන් කරන ලද්දේ, අධිනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා, ඇන්. ඇම්. පෙරේරා, ජේ. සී.ටී. කොතලාවල හා ඇම්. ජී. මැන්ඩිස් ය.
දීප ව්‍යාප්තව ඇරඹි මේ වර්ජනයේ හේතුවෙන්, සුදු පාලකයින් ගේ උසාවිවල නඩුකාරයින්ට පවා නිවසේ හිඳ උසාවියට යන්නට බැරි තරමේ, සාර්ථකත්වයක් ඇති වි,. විනිසුරුන්ගේ රියැදුරන් ද මේ විරෝධයට එක්ව සිටීම නිසා සුද්දන්ට සිද්ධ වුණේ ඒ නීතිය අහෝසි කරන්නට යි.
ඒ. ඊ. ගුණසිංහ සමඟ එක්ව කම්කරු සටන්වලට අත්පොත් තබන ලද, ඇම්. ජී. මැන්ඩිස්ට මෙය සිය වෘත්තීය සටන් ව්‍යාපාරයේ යෝධ පිම්මක් පනින්නට තරම්, අති ප්‍රබල පන්නරයක් වූවාට කිසිදු සැකයක් නැත.
1936 හවුරුද්ද මේ අලුත් දේශපාලන පක්ෂයට එහි නායකයින් සැමට මෙන් ම ඔවුන් හා එක්ව සිටින පොදු ජනයාටත්, එළඹෙන මහ මැතිවරණයට සූදානම් වීමට සිද්ධ විය. මේ උදෙසා පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ලටත්, ලෙස්ලි ගුණවර්ධන පානදුරයටත්, රුවන්වැල්ලට ඇන්. ඇම්. පෙරේරාත්, මොරවකට ඇස්. ඒ. වික්‍රමසිංහ ත් පිටියට බස්සන්නට පක්ෂයෙන් තීරණය කෙරුණි.
සිය පක්ෂයේ අපේක්ෂකයින් හතර දෙනාගේ, ජයග්‍රහණය උදෙසා සෙස්සන් එකා මෙන් පිටියට පිවිසියේ, සමසමාජ මතය රට පුරා පැතිරවීමට, මෙය කදිම අවස්ථාවක් හෙයිනි. එහෙත් මැතිවරණයේ ඡන්ද ප්රතිඵලින් ආසන හතරකින්, සමසමාජ පක්ෂයට දිනාගත හැකි වූයේ මන්ත්‍රී ධූර දෙකකි. ඒ රුවන්වැල්ලට තරග කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අවිස්සාවේල්ලට ඉදිරිපත් වූ පිලිප් ගුණවර්ධනත් පමණි. වික්‍රමසිංහට හා ලෙස්ලිට උරුම වූයේ පරාජයේ වේදනාවයි. මොවුන් පරාජයට පත් කරන්නට ඩී. එස්. සේනානායලා ඇතුළු ප්රතිගාමීත්වය කඳවුරු බැඳීමේ ප්‍රතිඵලය එය වූවත්, මැලේරියා වංගතයෙන් බැට කෑ, ඡන්දදායකයින් කිස් කන අතුල් පහරක් දෙමින් පාලක පක්ෂය ප්‍රතික්ෂේප කරන ලදි.
ඒ වන විට ගුරුවෘත්තියේ නියැළී හුන් ඇම්. ජී. මැන්ඩිස් ට, තව දුරටත් රැකියාවේ නිරත වීමට අවකාශ නොමැති විය. හේ පූර්ණකාලීනයකු සේ වැඩට බැස්සේ, ඔහු තුළ පැවති අති දක්ෂ සංවිධායකු ය යන පක්ෂයේ පොදු මතයත් එක්ක ය.
සමසමාජ පක්ෂයේ වැඩ කටයුතුවලින් ඇම්.ජි.ට ලොකු වැඩ කොටසක් පැවරිණි. පක්ෂයේ පුවත්පතක අවශ්‍යතාවය ඔවුන් වටහා ගෙන ඒ උදෙසා පක්ෂයේ ලේකම් බී. ජේ. ෆ්රනාන්දටත්, ඇන්. ඇම්. විසින් යොමුව හුන් මහජන පැමිණිලි එකතු කර ගැනීමේ කාර්යයත් ඇම්. ජී. ට පැවරණි. ලෝකය පුරා පැතිර යමින් පැවති කොමියුනිස්ට් ව්‍යාපාරයේ තොරතුරු පතුරුවාලීම ද සමසමාජ පුවත්පතින් කෙරුණි.
පොදු මහත් ප්රගතිශීලී දනන් අතර ස්ථාපිත වෙමින් ලංකා සමසමාජ පක්ෂය, ඉදිරියට ගියේ රටේ දැවෙන ප්‍රශ්න කෙරෙහි ඔවුන් දක්වන පැහැදිලි ක්‍රියා පිළිවෙත් නිසාවෙනි.
ඒත් ඔය අස්සේ ඔවුන් අතර අභ්‍යන්තර ප්‍රශ්න ද ලියලා වැඩුණේ සමසමාජ පක්ෂය හෙවත් ලංකාවේ බිහිවූ පළමුවැනි, වාමාංශික පක්ෂයට කණකොකා හඩවමිනි. ඒ හැඩීම අද දක්වා ජන හදවත් තුළ, දැඩි කම්පන සහගත බවකින් රැඳී ඇත්තේ ය.
මාක්ස්වාදයේ දෘෂ්ටියෙන් සන්නද්ධ සම සමාජ පක්ෂය තුළ, මූලික ප්‍රතිපත්තියේ වෙනසක් හට ගත්තේ ය. ඒ සෝවියට් දේශය බිහිකරන්නට, පුරෝගිමී මෙහෙවරක යෙදුණු, ස්ටාලින් හා ට්‍රොස්කි යන ප්‍රබලයින් දෙදෙනා අතර හටගත්තු, මත ගැටුම, ක්‍රියාකලාපය, ලංකාවේ දේශපාලන පක්ෂයට ද කාන්දුවීම නිසාවෙනි.
තුන්වැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය, ස්ටාලින්ගේ සැලසුම් පරිදි, ලෝක විප්ලවය නොතකා හැර ඇති බැවින් ඒ කෙරෙහි විශ්වාසයක් නොතැබිය හැකි බව, ට්‍රොස්කි ජාත්‍යන්තරයට නව නායකත්වයක් ඇවැසි බව දක්වමින් සිව්වැනි ජාත්‍යන්තර සභාවක් පිහිටුවීමත් සමඟ, මේ ගැටුම අවශේෂ ලෝකයා වෙත ද ගලා ගියේ ය. මේ බෙදීම ලෝකය පුරා දැඩිව බලපෑවේ ය.
මේ පිළිබඳව සමසමාජ පක්ෂයේ ඉදිරි පෙළ නායකත්වය ද දෙකඩ බෙදුණි. දොස්තර වික්‍රමසිංහ, ඇම්. ජී.මැන්ඩිස්, කේ. රාමනාදන්, ඒ. ගුණසේකර ආදි විධායක සභිකයින් කොල්වින්ලා, ඇන්. ඇම්. ලා පිලිප් ලා ලෙස්ලි ලා, දැරූ මතය හා ඍජුව ම ගැටුණි. 1939 අවසන් වකවානුවේ දී මේ බෙදීමේ පළමුවැන්න සිදු විය. දෙවැන්න උච්චතම අවස්ථාවට එළැඹියේ 1940 බක් මහේ 18 වැනිදා යි. දොස්තර වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස් ප්රමුඛ පිරිස විධායක සභාවේ බහුතරයේ මතයට අනුව, ගත් තීරණයෙන් ඔවුන් පිරිස ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපා හැරුණි.
මේ අනුවේදනීය සිද්ධිය ලාංකේය කම්කරු පන්තියට හා, වමේ ව්‍යාපාරයට ඉතා අහිතරක අවුල් සහගත සිදුවීම් රැසක් අනාගයේ නිර්මාණය වන්නක් බව, මොවුන් වටහා නොගත්තත්, අද වන විට එහි කටුක වේදනා, සමස්ත රට වැසියා ම එක සේ, බුක්ති විඳිමින් සිටින බව නම්, ලංකා සමසමාජ පක්යේ 90 වැනි සංවත්සරය සමරණ, අද දවසේ අප සටහන් කරන්නේ මහත් වූ වේදනාවකිනි. දුකකිනි. කලකිරීමකිනි.
අධිරාජ්‍යවාදීන් මේ බිමෙන් අතුගා දැමීමේ, ඒකායන පරමාර්ථයෙන් 1935 අද වන් දොහක, නිර්මාණය වූ පක්ෂය සිය මූලික වගකීම් අමතක කර දමා, දෙකඩවීම හවුරුදු පහක් සම්පූර්ණ වීමටත් පෙර, ඉරිතැලී දෙකඩ වම මොන තරම් නම් අනුවේදනීය ද? ඛේදනීය ද??. ජනතා පැතුම් සියල්ල එයින් බොඳ වී දියවී ගියා නොව, කිසිදිනෙක යළි හිස එසවීමට නොහැකි තරමේ, අති දැවැන්ත අගාධයකට එහි නිමැවුම්කරුවෝ ම තල්ලු කර දැමූහ.
මොවුන් ලාංකේය කම්කරු පන්ති ව්‍යාපාරය, ප්රගතිශීලි ගමනක් උදෙසා වූ ව්‍යාපාරය, සමාජවාදී සමාජයක ජනතා සිහින පොදිය, වැල්ලවත්ත රෙදි කර්මන්තශාලාවෙන් අරඹන ලද, සටන්කාමී කම්කරු පන්ති ව්‍යාපාරය, කීතු කීතු කොට සිඳලන ලද්දේ, සමසමාජ පක්ෂය නිර්මාණය කරන්නට, දහසක් දුෂ්කරතා මැද කැපවී ක්‍රියාකළ, උගත් බුද්ධිමත් තරුණ පිරිස ම වීම කෙතරම් ඛේදජනක සිද්ධියක් ද?
මහා බ්‍රිතාන්‍යයේ වැඩ වාසය කරන්නා වූ මහාරාජෝත්තමයාණන් වහන්සේ ගේ පාලනයට ද්‍රෝහී වීම නිසා මොවුන්ගෙන් පිරිසක් හිරගෙවල්වලට ගාල් කෙරුණි. ඒ යුද නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ය.
මේබිමේ පහළවූ එකම, පක්ෂය නිර්මාණය කරන්නට දරදිය ඇද්ද, තම සහෝදර පිරිසක් ස්වකීය බහුතර බලය, යොදා ගෙන සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, විසඳා ගන්නවා වෙනුවට, ඔවුන් හා ඔවුන් ගේ මතය, පරම හතුරන් සේ සලකා, පරම හතුරු මතයක් සේ සලකා, පලවා හැරීම යුක්ති යුක්ත ද යන්න, අද ද අප කම්පනයට පත් කරන්නකි. අද ද ජන සමාජය ප්‍රශ්න කරන්නකි.
මේ අවුල ලිහා ගෙන ඉදිරිය බලා, එකාවන් ව එකට ගමන් කිරීමේ උවමනාව දුටු, පිරිසක් මෙය විශේෂ මහා සම්මේලනයක් කැඳවා තීන්දු කළ යුතු යැ යි, හඩ නඟන්නට වූහ. සාමාජිකයින් හැත්තෑ දෙනකුගේ අත්සනින් යුත් ලියවිල්ලක් ඔවුන් පක්ෂ නායකත්වය වෙත ඉදිරිපත් කරන ලදි.
සමසමාජ පක්ෂය, කම්කරු පන්තිය අතර වැඩ කිරීමේ දී, ලොකු ශක්තියක් ඊට එන්නත් කෙරුණේ, ඇම්. ජී. මැන්ඩිස් නිසාවෙනි. බලවන්ත බන්ධූ සමූහයක සාමාජිකයකු වූ, ඇම්. ජී. කුල පීඩනයෙන් බැට කෑ, මෙන් ම අන්ත අසරණ දිළිඳු ගම්වැසියන් කෙරෙහි, දැක්වූ දයාර්ද බව නිසා ම, ඒ බලවත් නෑදෑයින් කිහිප දෙනකු, ඔහු ගේ ක්‍රියා පිළිවෙත නොරිස්සීමෙන් හටගත්, ආරවුලක් නිසා පාසල් ගමන හමාර වීමෙන් පසු, වැඩිමල් සහෝදරයා විසින් ඔහු කොළඹට කැටිව ආවේ ය. ගාල්ලේ, රජ්ගම, බූස්ස, වැල්ලබඩ සිය ජන්ම භුමියට සමුදී ගෙන්දගම් පොළොවේ පස්පෑගූ ඔහුට කම්කරු පන්තියේ, ගැලවුම්කාර නායකයා සේ චිරප්රසිද්ධිව හුන් ඒ. ඊ. ගුණසිංහගේ ඇසුර ලබන්නට හැකි වූයේ ය. ගුණසිංහ සමඟ කම්කරුවන් අතර, වැඩ කිරීමේ දී අනාවරණය වූ කරුණු කාරණා නිසා, ඔහු ලංකාවේ මහා දැවැන්ත කම්කරු නියමුවා සේ වෙස් බැඳ හුන් ඔහුගෙන් සමුගත්තේ ය. ඔහුත් එක්ක කළ වැඩ කිරීම නිසා ඇම්. ජී.ට වැඩ කරන ජනතාව අතර, ශක්තිමත් පදනමක් දමා ගැනීමට හැකි විය.
ඒනිසා ම කොළඹ වරායේ ද, වැල්ලවත්ත රෙදි කම්හලේ ද, බීසීසී ආයතනයේ ද, අවශේෂ කම්හල්වල ද කම්කරු පිරිස්, සමසමාජ පක්ෂ වටා ඒකරාශී කරගන්නට, හේ සමත්කම් පෑවේ ය. මේ සඳහා කේ. රාමනාදන්, ඒ. ගුණසේකර, ලයනල් කුලතුංග, ඩී. හෙට්ටිආරච්චි වැනි සගයන්, මහත් පිටුබලයක් දුන්හ. මොවුන් ගිනි ගහන කට්ට අව්වේ, පිච්චි පිච්චි, කොළඹ නගරයේ වැඩබිම් කරා පාගමනින් ගියහ. ආහාරයට ගත්තේ වඩේ එකකි. කහට කෝප්පයකි.
රටේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථාවල, ඇම්. ජී. ඇතුළු සහෝදරයෝ කරක් ගැසූහ. ඒ ඒ ආයතනය් හි කම්කරුවන් සංවිධානය කළහ. වෘත්තීය සමිති ඇරඹූහ. ඔවුහු රා මදින්නන් සංවිධානය කළහ. ප්‍රවාහනයට සම්බන්ධ රියැදුරුන් එක්රැස් කළහ. කඳුරට වතු කම්කරු පිරිස් අතර සැරිසැරූහ. රජයේ කාර්යාලවල පිරිස් ගොනු කරන්නට පියවර ගත්හ. මේ ඈ ලංකාවේ හෑම ක්ෂේත්රයක් ම, සමසමාජ දේශපාලනයත්, කම්කරු පන්තියේ එකමුතුවත් උදෙසා, කළ කැපවීම් කෙසේ නම් බැහැර කරන්න ද?
කඩියන්, කුහුඹුවන් සේ තමන් සතු වගකීම් හා යුතුකම්, ඉටු කරන්නට එක ඇබින්දකුදු, කාලය පැහැර නොහැරිය මේ යොවුන් පිරිසකින් සමන්විත වූ සමසමාජ පක්ෂය නිසා රටේ ජනතාව අතර ඇති වුණේ මහත් පිබිදීමකි.
ඒත්... ඉතින්...
මොවුන් පක්ෂයෙන් නෙරපා හැරීමෙන් පසු ''ලෝක විප්ලවයේ අසහාය නායකයාණෝ' හිසින් සමසමාජ නිල පුවත්පතෙහි 1940 මැයි 31 වැනිදා ලිපියක් පළ කෙරුණි. එහි ට්‍රොස්කි ගේ ඡායාරූපයක් සහිතව පළ විය.
''විප්ලවයේ පෙර නිමිති''
''ලෝකයේ සිද්ධීන් ඉතාමත් වේගයෙන් ගමන් කරන බැවින් අපි සිතනවාටත් වඩා ප්‍රථමයෙන් අධිරාජ්‍ය විරෝධී විප්ලවය ආරම්භ විය හැක. එම සටනේ නායකත්වය ලංකා සමසමාජ පක්ෂයට හිමිවී තිබේ. එම සටන උග්රවූ විට ලංකාවේ වත්තක් වැඩ පොළක්පතලයක්,පාසා කම්කරු සෝවියට් සභා පහළ වෙන බව ද එම සටන නවතින්නේ සමසමාජ විප්ලවයක් ද ඇති වී සතුරන් නිරායුධ කොට ආණ්ඩු බලය එම සෝවියට් සභාවලට තහවුරු වී භාණ්ඩ නිශ්පාදනය කරන මාර්ග සමාජ සන්තක කළ විට පමණක් බවද පසුගිය සතියේ දී පහළ වූ පෙරනිමිතිවලින් දැන් පැහැදිලි වී තිබේ"
එය අවුරුදු අනූවක් සපිරෙන අද දවසේ හෝ ලාංකේය සංවිධානාත්මක වැඩ කරන පන්තිය ප්රමුඛ සෙසු ජන සමාජය බලා හිඳියි. ඒත් එය කෙතරම් අපට දුරස් වෙමින් දවසක් පාසා ම ඈතින් ඈතට දිවයන්නේ මිරිඟුවක් සේ නොවන්නේ ද?
ඒ වන විටත් දැවැන්ත චරිත සේ සිටින්නා වූ රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයින් දෙදෙනකු වන පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, අධිනීතිඥ කොල්වින් ආර්. ද . සිල්වා, අධිනීතිඥ විලියම් සිල්වා, නීතිඥ එඩ්මන්ඩ් සමරක්කොඩි, නීතිඥ වර්නන් ගුණසේකර, නීතිඥ ලෙස්ලි ගුණවර්ධන, අධිනීතිඥ ජේ. සී. ටි. කොතලාවල, නීතිඥ බී. ජේ. ෆ්‍රනාන්දු ලියෝන් ට්‍රොස්කි කර උඩ තබා ගෙන ඒ් පැත්තේ ය.
ජෝෂප් ස්ටලින් හිසමත රඳවා ගත් දොස්තර ඇ. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස් කේ. රාමනාදන්, අයි. එම්. ඉබ්රාහිම් ප්රමුඛ පිරිස මේ පැත්තේ ය. කේ. රාමනාදන් (සමධර්මම් පත්‍රයේ කතුවරයා යි, සමසමාජ පක්ෂයේ සම ලේකම්වරයෙකි) අයි. ඇම්. ඉබ්රාහිමි (කාරක සභික) උඩකැන්දවල සරණංකර හිමි, එස්. පී. අමරසිංහම් (ට්‍රිබියුන් කතුවර) ඊ. එස්. රත්නවීර, ආනන්ද කුමාර", ලයනල් කුලතුංග, ඩේවිඩ් හෙට්ටිආරච්චි, කීර්ති පියසේකර, එස්. පියසේන, ඩී. පී. යසෝදිස්, කේ. ජී. අමරසිංහ, ඕ. සී. රිචඩ් සිල්වා, කේ. ඒ. පියසේන ද විශේෂ සමුළුවේ දී නෙරපන්නට කට්ටිවාදයට මුල් තැන දෙමින් කොල්වින්ලා සැහැසි වූහ.
ඒ පුවත සැලවීමත් සමඟ මධ්‍යම කාරක සභිකයකු වූ හැරල්ඩ් පීරිස් හා මාතර දිස්ත්‍රික්කය මෙහෙය වූබෙනට් සිල්වා ද ඉල්ලා අස්වූහ.
ඒ පැත්තේ හැමදෙනා ම පාහේ අති දක්ෂ කථිකත්වයකින් හෙබි සහෝදරයෝ ය.
මේ පැත්තේ දොස්තර වික්‍රමසිංහ ප්රමුඛ ඉතා දක්ෂ වැඩකාරයින් ගෙන් සමන්විත සහෝදරයෝ ය.
මොවුන් සියලු දෙනා කලින් සිට ම, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හි නියැළුණු කොළඹ, අලුත්කඩේ උසාවිය පාරේ අංක 61 බලා පැමිණියහ. ඒ ඔවුන්ගේ ලැගුම්හල යි. ඇම්. ජී. පක්ෂ කාර්යාලය පක්ෂයේ නායකයින්ට රැස්වී දේශපාලන තීන්දු තීරණ ගැනීමට ඉඩ හසර පාදා දෙමින්, රටේ වැඩ කරන ජනතාව ප්රමුඛ, කම්කරු පන්තියේ සංවිධාන කටයුතු උදෙසා 'කලම්බු වර්කර්ස් ක්ලබ්' නමින් සංවිධානයක් ඇරඹී ය. මෙහි මංගල රැස්වීමට කොල්වින් අර්. ද. සිල්වා හා ලෙස්ලි ගුණවර්ධන සහභාගි වූහ. ඒ සංවිධනය හෙවත් කොළම්ඹු වර්කර්ස් ක්ලබ් මංගල උත්සවය පැවැත්වූයේ 1939 දෙසැම්බර් මහේ 17 වැනි දා යි.
මෙය පසුකාලීනව ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇරඹීමට මුල් වූ ස්ථානය යි. මාක්ස් ලෙනින්වාදී දැක්මක් සහිතව ජාත්‍යන්තර කොමියුනිස්ට් සම්මේලනය හා අත්වැල් අල්ලා ගෙන රට ඉදිරියට මෙහෙයවීමේ සූතිකාගාරය සේ ඔවුන් මෙය දක්නා ලදි.
එදා ලංකා සමසමාජ පක්ෂයෙන් පලවා හරින ලද, පන්නා දමන ලද, පහ කරන ලද, තරුණ පිරිස යුනයිටඩ් ශෝෂලිස්ට් පක්ෂය නමින් අලුත් දේශපාලන සංවිධානයකට ද, අත්තිවාරම් දමනා විට, ලාංකේය වැඩ කරන ජනතාව තුළ හටගත්තේ එක් අතකින් සතුටකි. ඒත් එක්කම ඉමහත් දුකකි. දුකට මුල පිරුවෝ මොවුන් පිරිස පන්නා දමා පක්ෂය දෙකඩ කිරීමට නායකත්වය ගත් තීන්දුව නිසාවෙනි.
කොහොම වුණත් ගෙවී ගිය අනූ වසරක කාල පරාසය තුළ, සමසමාජ පක්ෂය ද යළි අවස්ථා කිහිපයක දී ම, දෙදරා කොටස්වලට කැඩිණී. එහි දෙවනු බිඳීම හෙවත්, කඩා වැටීම පිලිප් ගුණවර්ධන පක්ෂයෙන් ඉවත් වීමයි. හේ විප්ලවකාරී සමසමාජ පක්ෂය නිර්මාණ කළේ ය. එඩ්මන් සමරක්කොඩි ඇතුළු නායකයින් පිරිසක් ඉවත්වීමෙනි. ඊට පසු ද යළිත් තවත් අවස්ථා කිහිපයක දී සමසමාජය බෙදී වෙන්විය.
ලංකා කොමියුනිස්ට් පක්ෂයට ද ඒ ආනිසංසය ම ඒ ආකාරයෙන් ම සිදු විය. ඒ ශන්මුගදාසන් ප්රමුඛ දේශපාලන මාණ්ඩලිකයින් හා මධ්‍යම කාරක සභිකයින්, ලංකා කොමියුනිස්ට් චීන පිළ යනුවෙන් බෙදී වෙන්වීමෙනි.
යළි චීන පිළ ද, ජනතා විමුක්ති පෙරමුණ, පෙරදිග සුළඟ, මිටි පහර, ගිනි පුපුර මේ ආදි වශයෙන් කෑලි කෑලිවලට කැඩී ගියේ ය.
සමසමාජය ද යළි බෙදුණි. විප්ලවවාදී සමසමාජ පක්ෂය, වික්‍රමබාහු හා වාසුදේව වෙනම පක්ෂයක් සේ අරඹන ලද්දේ බැරැක්ක පටුමඟෙ හි ය. අද දක්වා ක්‍රියාත්මක ය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නමින් තවත් බිඳීමක් සිදුවූ බව මතක ය.
මේ සියලු බිඳ වැටීම් වලින් ඔවුන් හැමගේ, පරම හතුරා වන අධිරාජ්‍යවාදීන් හා, ඔවුනට ගොම්පස් අල්ලන දේශයේ ප්රතිගාමීත්වය, සුවසේ යෙහෙන් වැඩඹෙමින්, උන්ගේ අරමුණු ඒ ආකාරයෙන් ම ඉෂ්ට සිද්ධ කර ගනිද්දී, පොදු මහත් ජනතාවට 1947 පැවති මහා වැඩවර්ජනයේ දී හෝ 1953 අගෝස්තු 12 වැනිදා, දීපව්‍යාප්තව ඇරඹුණු මහා හර්තාලයේ දී හෝ ධනේෂ්වරයේ වියගහෙන් අත්මිදී, සමසමාජ නායකයින් විසින් අපේක්ෂා කළ නිර්ධන පන්ති ආඥාදායකත්වය ස්ථාපිත කරලීමට බෝ ඉඩකඩ තිබුණි.
රටක් හැටියට 53 හර්තාලයට මුහුණ දිය නොහැකි වූ පාලකයින්, ඔවුන් ගේ ඇමති මණ්ඩල රැස්වීම පවත්වන ලද්දේ, කොළඹ වරායේ නැවකට නැඟ බව, නොදන්නෝ කවුරුන් ද? ඒත් ඉතින් බෙදී බෙදී වෙන්වීම හැර, මොවුන් රටේ රාජ්‍ය තන්ත්රය මෙහෙයවීමට, අවස්ථා දෙක තුනක දී ම ලද මාහැඟි ඉඩ හසර, උපයෝගි කර ගත්තේ නම්...
76 වසරක කාලය පුරා කළේ මොනවාදැයි අසන්නට වත්මන් පාලන තන්ත්රයට හැකි නොවනවා නොවේද???
එසේ නම්,,, කුප්‍රසිද්ධ ධාර්මිෂ්ඨර් සමාජයක් නිර්මාණය කරන්නට ප්රතිගාමී පාලකයින්ට අවස්ථාවක් උදා වේ ද?
සිංහල, දෙමළ ඊනියා ජාතිවාදී යුද්ධයක්, තිස් හවුරුද්දක් පුරා මේ පින්බිමේ ඇදි ඇදී යෙමින් මිනිස් ජීවිත දස දහස් ගණනින් අහිමි වෙන්නේ ද?
සමසමාජ පක්ෂයෙන් ම කැඩි බිඳී කැඩී බිඳී ගොස් නිර්මාණය කෙරුණු කණ්ඩායමක් අද රටේ රාජ්‍ය භාරකාරත්වයට පත් වී ඇතත්, අධිරාජ්‍යවාදීන් එදා මෙන් අද ද, මේ හැම දෙනා අන්දව අන්දවා, උනට රිසි දේ ම කර ගනිද්දී, රට දැය සමය වෙනුවෙන්, දහදිය මුගුරු හෙළමින් වෙහෙසෙන, ලක් දනන් සුසුම් හෙළමින්, බඩවියත රැක ගන්නට වෙහෙසෙන්නේ, ප්රතිගාමීත්වයේ හස්ථයට සමාජ පෙරළියට ප්‍රතිඥා දෙමින්, බලය ලද වහා ඒ සියල්ල අමතක කරන්නට හේතු කාරණා, නිමහම් කරන බටහිර බහිරවයන්ගේ, ඕනෑකම මත බව සක්සුදක් සේ පැහැදිලි ය.
ඒ බව 90 වැනි සංවත්සරය සමරණ සමසමාජයක් මේ පොළොවේ යථාර්ථයක් කරන්නට එදා සිට අද දක්වා සිහින දකින හැම හිත් හතන් හි ම පහළ වෙන දවසක් උදාවේ ද?? නැතිනම් මේ බිම සුද්දන්ගේ පාරාදීසයක් කර ගෙන උනට රිසි සේ පිනුම් ගසමින් ලෝකයක් කෙළෙසන්නට තව තවත් සැලසුම් සකසමින් කුමන්ත්රණයේ යෙදෙන්නට ඉඩ දී බලා සිටිනවා හැර ඉදින්.......
'සාදුකින් පෙළෙන වුන් - දැන් ඉතින් නැගිටියව්' යන හඩ දසතින් අද දවසේ වඩාත් උස්ව ඇසෙනා බව මේ මොහොතේ නොකියා ම බැරි වග අකමැත්තෙන් වුව කියන්නට සිදුවී ඇත.
