උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ලාල්කාන්තගේ වත්කම් බැරකම් ආණ්ඩුවට තවත් බෝම්බයක්!!

ජගත් ගේ සතියේ සටහන - 112

 

මාස ගණනාවක් තිස්සේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබූ බාල ගල් අඟුරු ගෙන්වීමේ චෝදනාවට මුහුණ පා සිටි බලශක්ති ඇමති කුමාර ජයකොඩි හා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිකුරාදා (17) එම තනතුරුවලින් ඉල්ලා අස්වීමත් සමඟ එම ප්‍රශ්නය අලුත් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමදේශපාලන අංශ හඳුන්වන්නේ අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවක් ලෙස යි.
නොරොක්චේලේ ලක් විජය බලාගාරයට ගල් අඟුරු ගෙන්වීමේ දී දූෂණයක් සිදුවී ඇති බවටත් එහි ටෙන්ඩරය ලබාගත් සමාගම ගෙන්වා තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු බවටත්, මුලින් ම චෝදනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජාගොඩ යි.
ඉන්පසු සමගි ජන බලවේගයේ අජිත් පී. පෙරේරා මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර් සහ පොදුජන පෙරමුණේ ඩී. වී. චානක යන මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂය මාධ්‍ය සාකච්ඡාවල දීත්, පාර්ලිමේන්තුවේදීත්, ජනහමු වලදීත් ගල් අඟුරු ගෙන්වීමේ දී මහා වංචාවක් සිදුවී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බිල ඉහළ දැමීමට යන බවත් පවසමින් ආණ්ඩුවට විරුද්ධව විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

මේ අතර කුමාර ජයකොඩි මහතා පො‌ොහාර සංස්ථාවේ කළමනාකරුවකු ලෙස සේවය කළ කාලයේ සිදුකළ ටෙන්ඩර් වංචාවක් හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 88 ක පාඩුවක් සිදුකොට ඇති බවට ද ඔහුට චෝදනා එල්ල වුණා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම පසුගිය 27 වැනිදා එම චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ දී ජයකොඩි මහතාට අධිචෝදනා භාර දුන්නා.

මේ සිද්ධියෙන් පසු කුමාර ජයකොඩි ඇමතිවරයා, ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැ යි විපක්ෂය තදින් ම හඬ නඟන්නට වුණා.

කුමාර ජයකොඩි ඇමතිවරයා ආරක්ෂා කරන ස්ථාවරයක සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඔහු ඇමති ධූරයේ සිටිමින් යම් වරදක් කළොත් වහාම ඉවත් කරන බවත්, එහෙත් දැන් අධිකරණය හමුවේ චෝදනා ගොනුකොට ඇත්තේ 2014 වසරේ ඔහු පොහොර සංස්ථාවේ සේවය කරද්දී සිදුකළැ යි කියන චෝදනාවකට බැවින් එම නඩුවෙන් ජයකොඩි මහතා, වරදකරු වුණොත් ඇමති ධූරයෙන් ඉවත් කරන බව ද, කියා සිටියා.

කුමාර ජයකොඩි මහතා පොහොර සංස්ථාවේ කළමනාකරුවකු ලෙස පත් කොට ඇත්තේ එවකට පැවති ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිව සිටි අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් සේවකයින් පවසනවා.

මේ අතර ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනාගේ මතය වී තිබුණේ බාල ගල් අගුරු සිද්ධිය ගැන කුමාර ජයකොඩි මහතා එක්කෝ ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. නැතිනම් ජනාධිපතිවරයා විසින් ඉවත් කළ යුතු බව ද ඔවුන් පෙන්වා දුන්නා.

කුමාර ජයකොඩි ඇමතිවරයාට එරෙහිව, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටිමින්, ජනහමු හා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට වුණා.

මේ අතර සමගි ජන බලවේගය, බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කොට තිබුණේ මන්ත්‍රීවරුන් 36 දෙනකුගේ අත්සන්වලින් යුක්තව යි.

දැන ගන්නට තිබෙන පරිදි ආණ්ඩුවේ ම සමහර ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්, ජනාධිපතිවරයාට පවසා ඇත්තේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර ජයකොඩි මහතා ඇමති ධුරයෙන් ඉවත් කරනා ලෙස යි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අතර මත ගැටුමක් තිබු බව ද වාර්තා වෙනවා. එහෙත් කුමාර ජයකොඩි මහතා ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටීම පක්ෂයේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ද අනුමත කොට නොමැති බව යි වාර්තා වෙන්නේ.

මල්වතු අස්ගිරි හා රමඤ්ඤ මහ නිකායේ මාහිමිවරුන් ජයකොඩි ඇමතිට ඉල්ලා අස්වන සේ දැනුම් දෙන්නැ යි ජනපති අනුරට අනුශාසනා කරලා ලු

මේ අතර තවත් ආරංචි මාර්ගයක් පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුද්දට හිස තෙල්ගෑමේ උත්සවයට  සහභාගි වීම සඳහා පසුගිය 15 වැනිදා මහනුවරට පැමිණි අවස්ථාවේ මල්වතු අස්ගිරි මා හිමිවරුන් හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් ද බැහැ දැක තිබෙන බවයි. එහිදී ආණ්ඩුව අර්බුදයකට හෙළා ඇති බලශක්ති ඇමතිවරයාට ඉල්ලා අස්වන සේ දැනුම් දෙන්නැ යි උන්වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද එම ආරංචි මාර්ග පවසනවා.   

කුමාර ජයකොඩි ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාද කෙරුණු අතර අවසානයේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 104 කින් පරාජය වුණා.

මේ අතර කුමාර ජයකොඩි ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (17) ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා.

ඒ 2009 සිට මේ දක්වා කාලය තුළ ගල් අඟුරු ගෙන්වීමේ දී සිදුවී ඇතැ යි කියන දූෂණ, වංචා ගැන පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත් කිරීමෙන් පසුව යි.

සිදුකෙරන පරීක්ෂණවලට සහාය දීම සඳහා තමන් ඉල්ලා අස්වන බවයි ඔවුන් පවසා තිබුණේ.

ඇමතිවරයා හා ලේකම්වරයා  ඉල්ලා අස්වීමත් සමඟ විපක්ෂය යළිත් මාධ්‍ය අමතමින්  තමන් කළ චෝදනාවල නිවැරදි බව මෙයින් ඔප්පු වන බව ප්‍රකාශ කරන්නට පටන් ගත්තා.

සිකුරාදා (ඊයේ) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී විදේශ කටයුතු ඇමති විජිත හේරත්, ප්‍රවාහන ඇමති බිමල් රත්නායක හා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් ප්‍රකාශ කළේ ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයේ කිසිදු වරදක් නැති බවයි. එය නියම ප්‍රමිතින්ට අනුව සිදුවී ඇති බවත්, ප්‍රශ්නය තිබෙන්නේ ගෙන්වන ලද ගල් අඟුරු බාල තත්වයේ පැවතීම බවත් ඔවුන් ප්‍රකාශ කළා. මෙම ගල් අඟුරු ටෙන්ඩරයේ දී ඇමති ජයකොඩි මහතා එයට කිසිසේත්ම මැදිහත් වී නැති බවත් ඒ‍ම ටෙන්ඩර් මණ්ඩලයේ සිටියේ රජයේ නිලධාරීන් බවත් බිමල් රත්නායක මහතා කියා සිටියා.

දැනට සේවයේ යෙදී සිටින විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් කොමිෂන් සභාවක් පත්කොට ඇති බැවින් ගල් අඟුරු සිද්ධිය ගැන චෝදනා නඟන නෑම කෙනකුට එම කොමිසම හමුවට ගොස් කරුණු දැක්විය හැකි බව නලින්ද ජයතිස්ස ඇමතිවරයා කියා සිටියා.

දැනට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ඒ එම්. ආර්. ඩී. අපොන්සු මහතා ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති අතර බලශක්ති ඇමති ධූරය ලබන සතියේ කෙනකු පත්කරන බවද ඔහු සඳහන් කළා.

⋆⋆⋆⋆⋆     ⋆⋆⋆⋆⋆     ⋆⋆⋆⋆⋆

ගල් අඟුරු ප්‍රශ්නය යටපත් වෙන විට ආණ්ඩුවට තවත් බෝම්බයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ කෘෂිකර්ම ඇමති කේ. ඩී.ලාල් කාන්ත මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කරැති ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය යි.

පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති ලාල් කාන්ත මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඔහුගේ වත්කම රුපියල් කෝටි 6. 7 ක් බව සඳහන් වෙනවා.

ලාල් කාන්ත මහතා ගේ වත්කම් බැරකම් ප්‍රකාශට අනුව නිශ්චල දේපොළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියන 6 ක වටිනාකමින් යුත් වර්ග අඩි 2500 ක නේවාසික ගොඩනැගිල්‍ලක් සහ පර්චස් 10 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25 ක වටිනාකමින් යුත්, ස්ථිර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20 ක ඉඩමක්, රුපියල් මිලියන 56 කින් යුත් වර්ග අඩි 4500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14 ක ඉඩමක් ද ඔහු සතුව තිබෙනවා.

තවද උරුමයෙන් හිමි වූ රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 1500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වානිජ ගොඩනැගිල්ලක්  ද නිශ්චල දේපොළ ලෙස තවදුරටත් දක්වා තිබෙනවා.

එමෙන් ම රුපියල් ලක්ෂ 6 ක් වටිනා පවුම් 8 ක ස්වර්ණාභරණ සහ රුපියල් මිලියන 3 ක් වටිනා රන්පවුමක් හා රුපියල් ලක්ෂ 45 ක් වටිනා මෝටර් රථයක් ද ලාල්කාන්ත මහතා ගේ වත්කම් බැකම් ප්‍රකාශයේ දක්වා තිබෙනවා.

එයට අමතරව පෞද්ගලික ආයතන 10 ක රුපියල් තිස් අට කෝටි තිස් නම ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතළිහක සුරැකුම් පත්  ද ඔහු මිලදී ගෙන තිබනවා.

අමාත්‍යවරයා වැටුප් මඟින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් 73918 . 16 ක් සහ දේපොළ බදු දීමෙන් ලක්ෂ 4 ක් සහ විශ්‍රාම වැටුප ලෙස රුපියල් 771400 ක මුදලක් සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ දක්වා තිබෙනවා.

ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂිකව උපයන ලද පොලී ආදායම ලෙස රුපියල් 275585. 97 ක් හා වත්මන් රැකියාවෙන් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් 18, 00000. 00 ක් ලෙස එහි දක්වා තියෙනවා.

ලාල්කාන්ත මහතා මෑතන දී කඩුවෙල, වැලිවිට ඉදිකළ තෙමහල් නිවසේ වටිනාකම මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුළත් කොට නැහැ.

පාක්ෂිකයින්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන ආධාරවලින් ජීවත්වූ බව කියන ලාල්කාන්ත මහතා රුපියල් කෝටි 46 කට අධික වත්කම් හිමිකර ගෙන ඇත්තේ කෙසේදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

ලාල්කාන්ත මහතා මෙම වත්කම් උපයාගත් ආකාරය ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (17) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට තිබෙනවා.

තමාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවෙන ප්‍රකාශ ගැන ඇමති ලාල්කාන්ත මහතා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නැහැ.

ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ ලාල්කාන්ත මහතා ගේ වත්කම් බැරකම් ගැන කුමන අදහසක් ප්‍රකාශ කරාවිදැ යි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.

  - ජගත් -