මේ නඩුව ප්‍රකාශයට පත්වුණාට පස්සේ ජනාධිපතිවරු හතර දෙනෙක් සිටියා
දිලිත්ගෙ සර්ව ජන බලයට ජැක් ගැහුවෙ හරි හමන් සන්ධානයක් හදාගන්න කට්ටිය නැති හින්දනෙ?
අපි අවස්ථානුකූලව මැතිවරණවලදී සන්ධානගත වෙනවා. ඒ අනුව පහුගිය මැයි මාසයේ සර්ව ජන බලය කියන නැවුම් සන්ධානයේ නැවුම් ජාතිකවාදී සන්ධානයේ ආරම්භක සාමාජිකයෙක් බවට පිවිතුරු හෙළ උරුමය පත් වුණා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වගේම පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙත් ඒ සන්ධානයෙන්. ඒ කියන්නෙ දිලිත් එක්කන් එනවා කියලා නෙමෙයි. දිලිත් කියන්නේ මේකේ ඉන්න එක පක්ෂෙක නායකයෙක් විතරයි.
ඇත්ත ගත්තොත් ඔබ දැන් දේශපාලනයේ අනාථයෙක් බවට පත්වෙලා. මොකක් හරි අලුත් සන්ධානයකට හේත්තු වෙනවා ඇරෙන්න ගම්මන්පිලට විකල්පයක් නැති හින්දනෙ?
එහෙම කියන්නේ දේශපාලනේ නොතේරෙන අය
හරි. දේශපාලනය තේරෙන ඔබම කියන්න එහෙනම් ඇත්ත තත්ත්වය?
ඔබ ඔය චෝදනාව මීට අවුරුදු පහකට කලින්ම සීයට තුනක් අරන් පරාජිතව හිටිය අනුර දිසානායක මැතිතුමාට කියලා නෑ හොඳ වෙලාවට. එතුමාගෙන් ඔය ප්රශ්නය ඇහුවා නම් දුර්මුඛ වෙයි එදා. ජයග්‍රහණයක් ගැන හිතපු නැති හින්දා තමයි 3%ක් ගත්ත අනුර දිසානායක මැතිතිතුමා ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කළේ. එතකොට දේශපාලනය සහ ජීවිතයේ ස්වභාවය එහෙමයි. බෞද්ධයෙක් විදිහට අපි කවුරුත් ඉගෙන ගන්නවා අටලෝදහම කැරකෙනවා. ජනාධිපති මැති ඇමැතිවරු වෙලා ඉන්න අය තනතුරු නැතුව පරාජයට පත්වෙනවා. තනතුරු නැතුව හිටිය අය රටේ බලය ලබා ගන්නවා. මීට අවුරුදු දහයකට කලින් හරිනි අමරසූරිය ඊළඟ අගමැතිතුමී කියලා කවුරුහරි හිතුවද. හරිනිත් හිනා වෙනවා අහන් ඉන්න හැමෝම හිනා වෙනවා. මේ අමුතු දෙයක් නෙමෙයි.
දැන් ඔබ කිව්වනේ අනුර කුමාර හමුවෙලා ඔය ප්රශ්නය ඇහුවෙ නෑ. එහෙනම් දුර්මුඛ වෙයි කියලා. අනුර කුමාරගෙන් මම ඔය ප්රශ්නය අනන්තවත් අහලා තියෙනවා. පත්තර බලන්න නැතුව ඇති ඔබ?
හොඳ වෙලාවට එහෙනම් ඔබතුමීගෙ ප්‍රශ්නෙන් එතුමා දුර්මුඛ වෙලා නෑ. ඔබතුමිය ප්‍රකාශ කළේ දැන් දේශපාලන අනාථ වෙලා වැඩක් නෑ අතෑරලා දාපන් වගේ අදහසක්නෙ.
ඔව් මං අහලා තියෙනවා 3% ඉඳන් කොහොමද එකපාරම 50% පනින්නෙ කියලා ?
එතුමා දේශපාලනය දන්නවා. ලෝක දේශපාලනය ගැන අවබෝධයක් තියෙනවා.
මට හිතෙන්නෙ ඔබ දුර්මුඛ වුණා කියලා මේ ප්‍රශ්නෙදී?
අනේ නෑ. ඔබේ ප්‍රශ්නෙ තිබ්බ වැරැද්ද මං පෙන්නලා දුන්නා විතරයි. දේශපාලන අවබෝධයක් තියෙන කෙනෙක් ඒ ප්රශ්නය අහන්නේ නෑ.
පළාත් පාලන මැතිවරණයට කොහොමද සූදානම. අපි දකින්නේ මාධ්‍ය හමු තියනවා විතරයි. මිනිස්සු අතරට යන්න ඕනෑ ඒගොල්ලන්ට කතා කරන්න ඕනෑ. ඒ කාරණා ටික හරියට වෙනවද?
මම ඒ කාරණා ටික හරියට කළේ නැත්නම් අපි මැතිවරණය පරාද වෙනවා. අපේ පක්ෂ හදපු දවසෙන් දැන් සෑම පළාත් පාලන මැතිවරණය වගේ ජයග්‍රහණය කරලා තියෙනවා ගම් මට්ටමේ පදනමක් එක්ක. උදාහරණයක් විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ මාධ්‍යවලින් කතා කරනකොට මුළු දිස්ත්‍රික්කයටම එක වගේ ඇහෙන්නෙ. හැබැයි කඩුවෙල, මහරගම, හෝමාගම, කැස්බෑව කියන ආසන හතරේ මම ලබා ගන්න ඡන්ද ප්‍රමාණය අනිත් ආසන එකොළහේ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියි. ඒකට හේතුව තමයි ඒ ආසන හතරේ අපේ ජාලය ශක්තිමත්. ඒ නිසා මේ පක්ෂය යම් කෙනෙක් දේශපාලනයේ රැල්ලට ඇවිල්ලා රැල්ලට නැතිවෙන එකක් නෙවෙයි. දීර්ඝකාලීනව දේශපාලනයේ පවතිනවා කියන්නෙ මහපොළොවේ පදනමක් තියෙනවා. හැබැයි ඉතින් මාධ්‍ය සාකච්ඡා පෙන්නනවා මිසක් අපි ගෙවල්වලට ගිහිල්ලා කතා කරනවා රූපවාහිනිවල පෙන්නන්නේ නෑනේ.
ඔබ කියන්නේ මුල ඉඳන් පටන් ගන්න වෙනවා කියලනේ?
නෑ. ඒක නෙමෙයි කියන්නේ 2020 සැප්තැම්බර් 14 හිටිය තැන නෙමෙයි 2024 නොවැම්බර් 14 වන විට අපේ රටේ ඡන්දදායකයෝ හිටියේ. 45% ක් ගත්ත පක්ෂය 52% දක්වා ඡන්ද වර්ධනය වුණා මාස එකහමාරක් ඇතුළත. උඩ යන හැමදේම පහළට එනවනේ. කල්ගත වුණේ නෑනෙ උඩ යන්න. ඔබයි මායි දැන් ගණන් හදලා බැලුවා අවුරුදු පහක් තුළ 3% සිට 45% ට ගියා.මාස එකහමාරක් ඇතුළත 45% 52% දක්වා ගියා. මේ ආණ්ඩුව තරම් වේගයෙන් පිරිහෙන ආණ්ඩුවක් ලංකා ඉතිහාසෙම තිබිලා නෑ.
කොහොමද දැන්ම පේන කියන්නෙ?
පසුගිය 19 දිනට මේ ආණ්ඩුව තමන්ගේ මාස 6 සම්පූර්ණ කරනවා. මාස 6 කියන්නේ ආණ්ඩුවක ධුර කාලයෙන් 10% ක්. 10% ගත වෙනකොට ප්‍රතිපත්ති ප්රකාශනය , මැතිවරණ ප්‍රකාශයේ 10% කෙසේ වෙතත් අඩු ගානේ 5% ඉටුකර තිබිය යුතුයි. අවාසනාවට 1% ක් වත් ඉටු කරලා නෑ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වී මාස 6 දැනෙන සුළු වෙනසක් තිබුණා. ආණ්ඩුව ගැන ඒ බලාපොරොත්තු ඇති මිනිස්සුන්ට; ඇතිවී තිබුණා. ඒ දැනෙන සුළු වෙනස කරන්න වර්තමාන ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ අසමත්කම ජනතාවට දැනෙන ආකාරය පුංචි ඡන්දයේදී අපිට දැක ගන්න පුළුවන්.
මේගොල්ලෝ කරපු හොඳ ටික ඇයි විපක්ෂයට පේන්නෙ නැත්තේ. වැටුප් එහෙම වැඩි කරලා තියෙන්නෙ?
ආණ්ඩුවක් මනින්නේ ඔවුන් ලබා දුන්න පොරොන්දු මත. ඒ නිසා ජනතාව ආණ්ඩුවක් ලබාදෙන්නේ ඒ පොරොන්දු මත. ඉතිං ඒ පොරොන්දු සාර්ථකද අසාර්ථකද කියලා බලන්න ඕනේ. මොනවා හරි දෙයක් කරලා වැඩක් නෑ. කියපු දේ කරන්න ඕන. ඒවා විශ්වාස කරලා තමා ජනතාව ඡන්දෙ දුන්නෙ. මැතිවරණ ප්‍රකාශය කියන්නේ ජනතාව සහ ආණ්ඩුව අතර ගිවිසුම.
ඕගොල්ලොත් ආණ්ඩු කළානේ. එදත් මාස 6 න් වික්‍රම පෑවෙ නෑනෙ. නන්නත්තාර වෙලා තිබ්බ රටක්නේ අනුර මේ භාරගත්තේ?
දැන් අපි මේ ආණ්ඩු ඉන්නේ අපගේ ඉලක්කවලට නෙමෙයි. ආණ්ඩුව දීපු ඉලක්කවලට. මේ ආණ්ඩුව රට බංකලොත් කියලා දැනගෙන හිටියෙ. මම සිහිපත් කරන්නම් මේ වන විට පළමුවැනි මාස හය තුළ ඉටුකරනවා කියපු පොරොන්දු. මේගොල්ලෝ ඉටු කරලා නෑ. අපි කරන්නේ වෙන චෝදනා නෙමෙයි. මේ පළමුවැනි මාස හයේ පොරොන්දු ටික තාම ඉටු කරලා නෑ. එක ප්රශ්නයකටවත් සාධාරණ උත්තර නෑ.
මොනවද ඒ?
ජනාධිපතිතුමා 2022 ජූනි 22 කියනවා අපිට අගමැති තනතුරත් කැබිනට් එකත් දුන්නොත් මාස හයෙන් රට ගොඩ දානවා කියලා. ඊට අමතරව ජනාධිපතිකමයි අගමැතිකමයි කැබිනට්ටුවයි ඊටත් අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් ලබාදීලා තියෙනවා. රට එහෙනම් ගොඩ ගිහිල්ල තියෙන්න එපැයි. ඒ අයම කියනවා රට තවම බංකලොත් රටක් ඒ කියන්නේ රට තාම ගොඩට ගිහිල්ලා නෑ කියන එකනෙ කියන්නේ. ඊළඟට ඉතා කෙටි කාලයකින් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කියලා කිව්වා. ඒක කළේ නැහැ.
ඇයි 20% ක් විදුලි බිල අඩු කළේ?
20% යි තුනෙන් දෙක කියන්නේ දෙකක්. ඒගොල්ලො කිව්වේ තුනෙන් දෙකක් අඩු කරනවා කියලා.
ආණ්ඩුව කිව්වෙ 30% කින් අඩු කරන කතාවක්?
මගේ යූටියුබ් එකේ වීඩියෝවලත් තියෙනවා ඒ ගැන. මං වැරැදි නම් ඒගොල්ලෝ නිවැරැදි කරයි. ඒගොල්ලො කිව්වේ එහෙම අඩු කරනවා කියලා. නමුත් අඩු කළේ නැහැ . ඊළඟ එක පළමුවැනි අය-වැයෙන්ම ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය මත තියෙන සියලුම බදු ඉවත් කරනවා කියලා. ඒක කළෙත් නෑ. ඔබ කිව්වා වගේ වැටුප් වැඩි කරන එක මේගොල්ලෝ කිව්වා මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කියලා. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා. හැබැයි මෙවර ඉදිරිපත් කළේ අවුරුද්දෙන් අවුරුද්දට වැටුප් කරේ. ඊළඟ අවුරුදු තුනේම
වැටුප් වැඩි කිරීමේ දර්ශකය දැන් ඉදිරිපත් කරලා ඉවරයි. දැන් ඒ පොරොන්දුවත් කඩ වෙලා.
එක පෑන් පහරින් සහල් මාෆියාව ඉවත් කරනවා කිව්වා. ඒගොල්ලො බලයට එද්දි සහල් කිලෝ එක 180 යි. 230 වැඩි කරනකොට ඒගොල්ලෝ මේසට ගහලා ඒක වැඩි කළා මිසක් ඒක අඩු කරේ නැහැ. ඊළඟට බලයට පැමිණි වහාම පෙට්‍රල් සහ ඩීසල් මිල 150 ක් කරනවා කියලා. එතකොට කිව්වා අධික බදු නිසාත් ඇමැතිවරු කොමිස් ගහන නිසාත් තමයි මේ මිලට යන්නේ ආපහු 150 දෙනවා කියලා කිව්වා. සුනිල් හඳුන්නෙත්ති මහත්තයා කීවා. ඊළඟට වසන්ත සමරසිංහ මහත්තයා නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් කිව්වා අපි ගාව සියලු ෆයිල් සූදානම්. ෆයිල් 422 හදලා තියෙනවා.
පළමුවැනි මාසය ඇතුළත පමණක් 60 ක් 65 ක් ඇතුළට දානවා කියලා. දැන් මාස හයක් ගිහිල්ලා හයක් හතක් වත් ඇතුළට දාලා නැහැ. පළමු ඇමැතිවරුන්ගේ රැස්වීමේදීම හිටපු ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ විශ්‍රාමයට පහසු කරනවා කිව්වා. අද වන තුරු කරල නැහැ. පළමුවැනි ඇමැති මණ්ඩලය තුළ හිටපු ජනාධිපතිවරු ජනාධිපති නිල නිවාසවලින් එළියට දාලා දරුවන්ට එයාලා භාර දෙනවා කිව්වා. නමුත් කළේ නැහැ. රජයේ රැකියා විරහිත උපාධිධාරීන් 35,000 කට කඩිනමින් රැකියා ලබාදෙනවා කිව්වා. එතකොට මේ ඉලක්ක කාගේද? මගේ නෙමෙයි.
දැන් ඔබ කිව්වා කොටසක් හිරේ දානවා කිව්වා දැම්මෙ නෑ කියලා. ඔබ නීතිඥවරයෙක්නෙ. ඔබත් දන්නවා මේ පටන් ගත්තෙ යටපත් වෙලා තිබුණු නඩු නැවත විභාගයට ගන්නෙ කියලා. අත්අඩංගුවට ගන්න හෝ රිමාන්ඩ් කිරීමක් නොවෙයිද මේ වෙන්නෙ එතකොට ?
මම නෙවෙයි වසන්ත සමරසිංහ ඇමැතිවරයා තමයි පළමු මාසය තුළ පමණක් 60ක් 65ක් විතර අත්අඩංගුවට අරන් ඇතුළට දානවා කියලා කිව්වෙ. එතකොට මම අපි මේ ආණ්ඩුවක ප්‍රගතිය මත බලය ලබා ගැනීම සඳහා ජනතාවට දීපු පොරොන්දු සහ ඒ පොරොන්දුවලට ඒ ඒ අය දාපු ඉලක්කම, මාසය මාස 6 මේ මගේ වචන නෙමෙයි එයාලම දාගත්ත වචන.
IMF එකෙන් විදුලිබිල 20% අඩු කළා කියලා පොඩි අප්‍රසාදයක් පළ කරලා තියෙනවා. IMF එකත් එක්ක ගනුදෙනු කරමින් මේ වැඩ ටික කරගෙන යද්දී අර්බුදයක් තිබෙනවා. ඒවා නොදන්න ගානට ද්වේෂයෙන් කතා කරන එක හරි නෑ නේද?
කිසිසේත්ම නෑ. ඒ ප්‍රකාශය වැරැදියි. 2023 මාර්තු මාසේ තමයි අපි IMF ගිවිසුම අස්සන් කළේ. IMF ගිවිසුම නිසා විදුලි බිල අඩු කරන්න බෑ. වැටුප් වැඩි කිරීම ඉල්ලන ප්‍රමාණය දෙන්න බෑ. ඒ වගේම බදු සහනය ලබා දෙන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියද්දි නෑ දෙන්න පුළුවන් කියලා ජනතාවට බොරු කිව්වේ අනුර කුමාර දිසානායක. IMF ගිවිසුම තිබෙන බවත් ඒකේ සීමා ගැනත් හොඳටම දනිමින් ඡන්දෙ ලබා ගැනීමේ අරමුණෙන් ජනතාව බොරු කියලා රවට්ටලා තියෙනවා. අන්න ඒකයි අපි පෙන්නන්නෙ IMF ගිවිසුම කියන එක මේ අය බලයට ආවම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලාච්චුවේ තියලා හම්බ වෙච්චි රහස් ලේඛනයක් නෙමෙයි. ඒ ගිවිසුමේ කොන්දේසි මොනවාද කියලා හොඳටම දන්නවා. පාර්ලිමේන්තුවේ ගිවිසුම විවාද කළා. අපිට මේ පිටපත් ආණ්ඩුවෙන් ලබා දුන්නා සහ දැන දැනම ජනතාව රවට්ටලා තියෙනවා ඡන්දය ලබා ගැනීමට. ජනාධිපතිවරයා විසින් බොරු කරලා තියෙනවා.
60 ක් 65 විතර ඇතුළට දානවා කිව්වට ගම්මන්පිල නිදොස් කොට නිදහස් වුණා. සතුටුද දැන්?
ඔව් මම සතුටු වෙනවා. මට මන්ත්‍රි ධුරයක්වත් නොමැති මොහොතක අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ සිටින මොහොතක අධිකරණය මාව නිදොස් කට නිදහස් කිරීම් සම්බන්ධව. නැති නම් ඒකත් ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. දැන් එතුමා ජනාධිපති ධුරයේ. මට විපක්ෂයේ කිසිම මන්ත්‍රි ධුරයක්වත් නැහැ ඒ නිසා.
ඉතින් ඔබටම තේරෙනවනෙ දැන් නීතිය සාධාරණව ඉටු වෙනවා කියලා?
නෑ. ඇත්තෙන්ම ඒ නඩුවේ මං හිතනවා අනුර කුමාර මැතිතුමාලා කිසිම සම්බන්ධයක් නෑ මේ නඩුව දාන්න. ඒ යහපාලන ආණ්ඩුවේ එක්තරා ඇමැතිවරයෙක් මාත් එක්ක ඇති පෞද්ගලික තරහක් නිසා දාපු බොරු නඩුවක්.
කවදද ඒ නඩුව දැම්මේ?
1997 මම කූටලේඛනයක් හැදුවා කියලා නඩුව දාන්නේ 2016. අවුරුදු 19කට පස්සේ තමා ඒ චෝදනාව මට එල්ල කරන්නේ. අවුරුදු විස්ස සම්පූර්ණ වුණා නම් නීතියට අනුව නඩුවක් එහෙම දාන්නත් බෑ. එතකොට මට එහෙ හොයා කූට ලේඛනයක් හැදුවා හදපු කූටලේඛනය අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. අත්අකුරු විශේෂඥයාගේ වාර්තාවකුත් නෑ. ඊළඟට කූට ලේඛනය කියන ලේඛනය සාක්ෂියට අස්සන් කරපු අයගෙන් අඩුම තරමේ පොලිස් ප්‍රකාශයක්වත් අරන් නැහැ. එවැනි නඩුවක් සතුරෙක්ගේ අතට පත්වුණත් ආත්මගරුත්වයක් තියාගෙන නඩු තීන්දුවක් මට එරෙහිව ලියන්න බැහැ. මොකද මහාධිකරණයෙන් එවැනි තීන්දුවක් දුන්නොත් අපි අනිවාර්යයෙන්ම අභියාචනාධිකරණයට යනවා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. මෙවැනි පසුබිමක් තුළින් පරම සතුරෙක් විනිසුරු පුටුවේ හිටියත් එවන් නඩු තීන්දුවක් දීමේ හැකියාවක් නැහැ.
ඕකට සම්බන්ධ විදේශිකයා දැන් වයසයි. ඔහුට සිහියත් අඩුයි කියලා කියනවා. දැන් එහෙම කෙනෙක්ගෙන් කොහොම සාක්ෂි ගන්නද නේද?
නඩුව බලන්න. ඔහු ඇවිල්ලා පුරුද්දක් විදිහට බොරු කියන ඕස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියලා වැරදිකරු වුණ පුද්ගලයෙක්. ඕස්ට්‍රේලියාවේදී බංකොලොත් පුද්ගලයෙක්. ඒ කියන්නේ කිසිම ආදායමක් නොමැතිව සිටි අයෙක්. එවැනි පුද්ගලයෙක් මුදල් ගෙවාගෙන ඇවිත් නාටකයක් රඟපාන්න. නමුත් අධිකරණය එය නාටකයක් බව තහවුරු කළා.
ඔබලා දිගටම චෝදනා කළා ජේවීපී. එකේ ඉන්නෙ කුහකයෝ පළිගන්නවා. ද්වේෂ සහගතයි කියලා. ඕනෙ නම් ඉතින් මේක මොකක් හරි කරලා ඔබ හිරගත කරලා දාන්න තිබුණනේ නේද එහෙම හැසිරුණා නම්?
ඇත්තෙන්ම මාව හිර කරන්න උත්සාහ කරා මේ නඩුවෙදි.
කවුද?
ජනාධිපතිවරයා. ඇත්තටම ලැජ්ජාසහගත විදිහට මගේ නඩුවට බලපෑම් කළා.
වගකීමෙන් කියන දෙයක්ද මේ?
ඔව්. වගකීමෙන් කියන්නෙ. ඒකනෙ පත්තරේ දාන්නෙ. මං මේක බොරු කියලා කියනවා නම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්නේ. මේ නඩුව කල්දීමෙන් පසු ජනාධිපතිවරු හතර දෙනෙක් සිටියා. මේ නඩුව ගැන ඒ උගත් මහත්තුරු වචනයක් කතා කළේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ ජාතිකයකුට කූට ලේඛන හදලා වංචා කළා කියලා අවස්ථා තුනකදී මාව ගැන ප්‍රකාශ කිරීම හරහා අධිකරණයට අනිසි බලපෑමක් කළා.
කොයි කාලයේද ඒ අවස්ථා තුන සිදුවුණේ?
අවස්ථා තුන තමා ජනාධිපතිතුමා කුරුණෑගලදී කරපු කතාවක්. ඒ වගේම යාපනය සුහද හමුව. තුන්වැනි එක පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාව ජනාධිපති වුණාට පස්සේ.
මොකක්ද කරපු චෝදනාව?
මේ නඩුව ගොනු කිරීමෙන් පසු රටේ ජනාධිපතිවරු හතරදෙනකු හිටියා. වෙනත් කිසිම ජනාධිපතිවරයකු නොකළ අයුරින් වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා නඩුව ගැන ප්‍රසිද්ධියේ කතා කළා. නඩුවක් විනිශ්චයට භාජනය වී තිබෙන අවස්ථාවේ එම නඩුව පිළිබඳව කිසිම කෙනකු ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල තියෙන කාරණයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තියෙනවා විනිශ්චයට භාජනය වූ කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරන්නට බැහැ.
ඔබ ඉතාමත් බරපතළ ප්‍රකාශයක් සිදුකරන්නේ?
එවැනි තත්ත්වයක් ඇති කරලා කළේ දෑස් බැඳ සිටින යුක්තියේ දෙවඟනට අනිසි බලපෑමක් එල්ල කිරීමයි. ඒ කියන්නෙ හිඟන්නකුටවත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බැහැ විනිශ්චයට භාජනය වූ කරුණක් පිළිබඳව. එවැනි කරුණක් පසුපසින්ම විනිසුරුවරුන්ගේ උසස්වීම් ඉහළට නිර්දේශ කරන තැනැත්තා ඒ විතරක් නෙමෙයි මහාධිකරණ විනිසුරුවරුන්ගේ විනය බලධරයා බවටත් පත්වෙන ජනාධිපතිවරයා නඩුවක් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම විනිශ්චකාරවරුන්ට කරන අනිසි බලපෑමක්. මේ රටේ තවමත් ස්වාධීන නීතිගරුක විනිසුරුතුමන්ලා සිටින නිසා ඒ බලපෑම් කිරීමේ උත්සාහයෙන් ප්‍රයෝජනයක් ගන්න ජනාධිපතිවරයාට නොහැකි වුණා.
ඔබ ඒක පොයින්ට් එකක් කිව්වා කිසිම ජනාධිපතිවරයකු මේ වගේ මැදිහත් වෙලා නෑ කියලා?
නැහැ. මම නැවත කියන්නම්. මේ නඩුව ප්‍රකාශයට පත්වුණාට පස්සේ ජනාධිපතිවරු හතර දෙනෙක් සිටියා. මෙම ජනාධිපතිවරයා හැර අනෙක් සියලුම අය මහත්වරුන් ලෙස හැසිරුණා. මේ නඩුව ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැතුව.
දැන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය ජනාධිපතිවරුන්ගේ කාලයේ අර ෆයිල් අස්ථානගත වුණා නේද. එතකොට ඒවා මතක් වෙන්නේ නැද්ද?
මා දන්නා තරමින් පියන් තනතුරයි ක්ලාක් තනතුරයි ජනාධිපති තනතුරයි වෙනස්. ජනාධිපති තනතුරේ ඉන්න අතරේ මේ බොහෝ දේවල් ජනාධිපතිතුමා යටතේ ලක්ෂ පහළොවක රජයෙන් නිලධාරීන් සිටිනවා. ඔවුන් සතුව කෝටි ගණනාවක ලිපිගොනු තියෙනවා. කොහේ හරි ලිපි ගොනුවක් අස්ථානගත වුණොත් ඒ පමණින් ජනාධිපතිවරයාට ඇඟිල්ල දික් කිරීම හරි යන්නෙ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයකුගේ බලපෑම නිශ්චිතවම ලිපිගොනුවක් අස්ථානගත වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ජනාධිපතිවරයාට එරෙහිව අදටත් කටයුතු කරන්න පුළුවන්. ඔබ දන්නවා ජනාධිපතිවරයාගේ මුක්තිය. ඒත් ඔහු ජනාධිපති ධුරයෙන් සමුගත්තාට පස්සේ ඒක අහිමි වෙනවා. මම මේ චෝදනාව නඟන්නේ මගේ නඩුව සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිතුමාට මිසක් අනෙක් ජනාධිපතිවරුන් ගැන නෙවෙයි. මගේ වාසියට කතා කරලා අධිකරණයට බලපෑම් කරන්න පුළුවන්. මගේ අවාසියට කතා කරලා අධිකරණයට බලපෑම් කරන්නත් පුළුවන්. කිසිම ජනාධිපතිවරයෙක් එවැනි පහත් මට්ටමකට වැටුණේ නෑ.
ඔබ රටේ විධායක ජනාධිපතිවරයාට බරපතළ චෝදනාවක් එල්ල කළානෙ. ඉතින් නීතිය හමුවට යන්න පුළුවන්නෙ?
ජනාධිපති තනතුරේ සිටිද්දි ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ.
ඔව්. නමුත් ඔබට සාධාරණයක් වෙන්න අවශ්‍ය නම් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බැරිවෙන එක වෙනම දෙයක්. ඒත් ඔබට අධිකරණයට ගිහින් පෙන්වා දෙන්න පුළුවන් නේද මට මෙහෙම වෙලා තියෙනවා කියන එක?
ජනාධිපතිවරයාට මූලික අයිතිවාසිකම් නඩුවක් පමණක් ගොනු කරන්න පුළුවන්. හැබැයි වන්දි ඉල්ලන්න බෑ. නමුත් එක දෙයක් තියෙනවා ජනාධිපතිවරයාත් තනතුරෙන් සමුගත්තට පස්සේ එතුමා තනතුරේ සිටිය කාලේ කරපු දේවල්වලට නඩු දාන්න පුළුවන්. අපි දන්නවා යම් වරදක් කරලා නිශ්චිත කාලයක් තියෙනවා අධිකරණයේ නඩු පවරන්න. නමුත් ජනාධිපතිවරයාගේ සම්බන්ධව කාලය ආරම්භ වෙන්නේ ප්‍රකාශ කරපු මොහොතේ සිට නෙමෙයි තනතුරු අහිමි වූ මොහොතේ සිට. ඒ නිසා අපිට ඒ අවස්ථාව තව තියෙනවා.
ඒ කියන්නෙ අපි බලයට ආපු දවසක වැඩේ දෙන්නම් කියලා හිතාගෙනද ඉන්නේ?
ඔබ වැරැදියි. බලයට පැමිණෙන්නම අවශ්‍ය නැහැ. මම කියන්නේ පුරවැසි අයිතියක්. මට නෙමෙයි වනේ වන සතුරකුටවත් ජනාධිපතිවරයා විසින් බලය අනිසි ලෙස පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා ජනාධිපතිතුමා පුරවැසියෙක් විදිහට මට කරලා තියෙන අසාධාරණයට එරෙහිව කතා කරන්න මට බලයක් ලැබී තියෙනවා. බලයක් ලැබුණට පස්සේ කරනවා කියන එක මමත් බලය අයුතු ලෙස පාවිච්චි කරනවා කියන එකයි. එතකොට මාත් අනුර දිසානායක ජනාධිපතිවරයාගේ තත්ත්වයට වැටෙනවා. මම අවුරුදු 25 දේශපාලනේ හිටියේ. මම පරම හතුරකුටවත් බලය අයුතු ලෙස පාවිච්චි කරා කියලා චෝදනාවක් නඟලා නැහැ.
රටේ ජාතිවාදය වපුරපු අයගෙන් එක්කෙනෙක් තමයි ගම්මන්පිල කියලා කියනවා. එක පැත්තකින් බනිනවා ජවිපෙ නිරාගාමිකයෝ උන්ට ආගමක් දහමක් නෑ කියලා. දැන් ඔය හොඳට වෙසක් උත්සව, පොසොන් උත්සව, එතකොට දන්ත ධාතූන් ප්‍රදර්ශන වගේ බෞද්ධාගමික වැඩ ටිකක් ප්ලෑන් කළා ඒ නිරාගාමිකයොම. දැන් කට උත්තර නෑ නේද?
ඔබ මට චෝදනා කළා ජාතිවාදියෙක් කියලා.
මම නෙවේ. රට්ටු කියන කතාවක් ඔය? ප්‍රසිද්ධයි ඒ චෝදනාවත්?
මගේ දේශපාලන ජීවිතය තුළ මා කර ඇති එක ජාතිවාදී ප්‍රකාශයක්. ආගම්වාදී ප්‍රකාශයක් පුළුවන් නම් පෙන්නන්න. මම රටේ බෙදුම්වාදීන්ට විරුද්ධව වැඩ කළා මිසක් දෙමළ ජනතාවට විරුද්ධව කිසිම දෙයක් කරලා නැහැ. ඒ වගේම මම මුස්ලිම් අන්තවාදයට එරෙහිව වැඩ කළා මිස මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරලා නැහැ. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන ගත්තේ කෙනෙක් විදිහට මගේ යාළුවන් අතර විශාල පිරිසක් ඉන්නෙ දෙමළ, මුස්ලිම් අය. මැතිවරණවලදී පවා ඔවුන් උදවු කරනවා.
එක වාක්‍යයකින් කියන්න ඔබට අනුව මේ ආණ්ඩුවේ ආයු කාලය කොච්චරද?
වසර පහයි. ඕනැ නම් ඊට කලින් යයි. ගෝඨාභය මහත්තයා වගේ මේ ආණ්ඩුවට යන්න බැහැ. වසර 60 ක් දුක් විඳලා ජීවිත අසූ දාහක් පූජා කරලා ලබාගත්ත බලය අනුර කුමාර මැතිතුමාට ඕනෑ වුණත් අත්හරින්න පක්ෂය ඊට ඉඩ දෙන්නේ නැහැ.