උණුසුම් පුවත්

ලෙබනනයේ සාම හමුදා ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිසක් යති

මේ කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන්නේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ (ආර්එස්පී)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා  ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම  ඊයේ (බදාදා - අප්‍රේල්  මස 03) දින දිවයිනෙන් පිටත්ව යන ලදී

දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ  රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත විය. මෙම මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී කටයුතු කරනු ලබයි.

සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභපැතීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපළ වෙත යුද්ධ හමුදාව නියෝජනය කරමින් මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ, 14 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක සහ යුද්ධ හමුදා ගමන් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් අනිල් පෙරේරා ඇතුළු  යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පිටත්වගිය භට කණ්ඩායමේ නිලධාරි සහ සෙසුනිලයින්ගේ පවුල්වල සමාජිකයන්  සහභාගී විය.