ඉතිහාසයඋණුසුම් පුවත්සංස්කෘතික

වප් පුන් පෝ දා අද යි

හෙළ බොදු සසුන ස්ථාපිත වූයේ අදවන් දවසක

වප් පුන් පොහෝ දිනය අදයි.
අද වන් දිනෙක බෞද්ධ වංශ කථාවේ සිදිවීම් රැසක් සිදුව ඇති බව සඳහන් කිරීම වටී.
හවුරුද්දක් ඍතු තුනකට පෙදේ. හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙනි ඒ්. වස්සාන ඍතුවේ දී සාර මසක් සාමාන්‍යයෙන් වැසි පවතී. මෙසමයෙහි භික්ෂූන් වහන්සේලා වස්වසාවැඩ සිටින කාලය යි. මෙසේ වස්වසා හුන් භික්ෂූන් වහන්සේලා වස් හමාර කරන්නේ නැත්නම් පවාරණය කරනුයේ වප් මස පුර පසළොස්වක පෝදා ය. මෙසේ වැඩ සිටින ගරුතර මහසඟ රුවනට එලඹෙන මාසයේ දී චීවර පූරාව පවත්වන්නට උවැසි උවසියෝ සැදී පැහැද සිටිති.
ඇසළ පුන් පෝදිනෙක තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේ වැඩ වෙසෙමින් තීර්ථකයයන්ගේදමනය කරනු වස් යමක මහා ප්‍රාතිහාර්යය පවත්වා සත්වෙනි වස ගත කරන්නට වැඩම කළේ තව්තිසා දෙව්ලොවට යි. බුදුරජාණන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍රයාණන් ගේ පාණ්ඩුකම්බල ශෛල්‍යාසනයේ වැඩ වෙසෙමින් මාතෘ දිව්‍යරාජයාණන් ප්‍රමුඛ කොට වූ දේව සමූහයාට අභිධර්මය දේශනා කොට වදාරා දෙවියනට නිවන් අවබෝධ කළ සේක.
තව්තිසා දෙව්ලොව පුරා තුන් මසක් වැඩ සිටි තථාගතයාණෝ වස් හමාර කොට දෙව්වරුන් ප්‍රහ්මයින් මහ පිරිවරකගේ ගෞරවාචාර මැද යළි දඹදිව් තලයේ සංකස්ස පුරවරයට වැඩ වදාළේ මහා පෙළහර පාමිනි. දෙව් බඹුන් පීරිවරා ගත් අප මහා බුදුපියාණෝ සවනක් ඝණ බුද්ධ රශ්මි මාලා විදාලමින් සංකස්ස පුරවරයට වැඩ වදාළේ අද වන් වප් පුන් පෝ දිනක ය. 
ඒ අසිරිමත් දර්ශනය දුටු සැරියුත් වහන්සේ බුදුන් ගේ ශ්‍රීපා වන්දනා කරමින් බුදුගුණ වර්ණනා කළේ බුද්ධාලම්බන ප්‍රීතියෙනි. උන්වහන්සේ ගේ බුදුගුණ වැනීම අසා පන්සියයක් පමන වූ අරහත් බවට පිළිපන්නාහ. ඒ අසිරිමත් වැනීමෙන් පසු  රැස්ව හුව් දෙව් මිනිස් මහා සමූහයා හමුවේ ස්වකීය ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රමණයාණෝ සාරිපුත්ත ස්ථවිරයාණන් බව තථාගතයාණන් වහන්සේ වදාළ සේක.
මේ දේවාරෝහණ මහා පෙළහර දුටු බොහෝ පිරිසක් ඒ මොහොතේ දී ම සම්බුද්ධ ශාසනයේ පැවිදි වූහ.
ශ්‍රී සම්බුද්ධ ශාසනයට, හෙළ දේශයට වැණිය නොහැකි සේවාවක් කළා වූ දේවානම්පිය තිස්ස මහ රාජණන්, අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ සමඟ සාකච්ඡා කොට ජයශ්‍රී මා බෝ රාජණන් වහන්සේ ගේ මෙසිරිලකට වැඩමවා ගෙන ඒමට අරිට්ඨ මහාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිසක් ධර්මාශෝක අධිරජාණන් වෙත පිටත් කළේ ය. එතුමෝ මහා මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කථිකා කොට ගෙන ජයසිරිමා බෝ සමිඳුනට පුදපූරා පවත්වා එහි ශාඛාවක් වෙන්කොට ගන්නට රජතුමන් විසින් දක්ෂිණ ශාඛාව වෙන් කර ගන්නට සලකුණු කරන ලදි.
සිදුවූයේ අසිරිමත් සිදුවීමකි. ඒ රේඛාව සටහන් කළ තැනින් වෙන්වූ විජයශ්‍රී මා බෝ සමිඳුන් ගේ දක්ෂිණ ශාඛාව දහස් ගණන් ජනයාගේ සාදුකාර මැද පිළියෙළ කොට තිබූ රන් පාත්‍රයෙහි පිහිටා අහසට නැඟී ප්‍රදක්ෂිණා වූයේ අද වන් වප් පුන් පෝ දිනක දී ය.
තව ද ශ්‍රි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හෙළදිව් හි එය ස්ථාපිත කරන්නට මිහිඳු මහ රහතන් වහන්සේ ගේ අවවාද අනුශාසනා උපදෙස් මත මහා අරිට්ඨ මා හිමිපාණන් ප්‍රමුඛ හෙළ දනන් පිරිසක් පැවිදි ව ථුපාරාම මහා විහාරයේ  දී විනය පිටකය සංඝායනා කොට ලක්දිව් හි බොදු සසුන ස්ථාපිත කෙරුණේ ද අද වන් වප් පුන් පසළොස්වක් පෝ දිනක දී ය.
 - සුගතපාල මැන්දිස් -