උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු

ජගත් ‌ගේ සතියේ  සටහන - 87

ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයෙන් රටපුරා රැස්වීම් 1000 ක්

පසුගිය 20 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උළෙලේ දී පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට විරුද්ධව රටපුරා රැස්වීම් දහසක් පැවැත්විය යුතු බවට කළ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

පසුගිය සතියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේ දී මෙම රැස්වීම් 1000 සංවිධානය කළ යුතු ආකාරය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ නොවැම්බර් මාසයේ සිට විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම් පැවැත්විය යුතු බවයි.

''ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු" යන තේමාව  යටතේ පැවැත්වීමට යන මෙම රැස්වීම් වලට විපක්ෂයේ සෑම පක්ෂයක් ම සම්බන්ධ කර ගැනීමට තීරණය වී ඇති අතර රැස්වීම් සංවිධානය කිරීම දයාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක හා හිටපු ඇමති හරින් ෆ්‍රනාන්දු යන මහත්වරුන්ට පැවරීමට මෙහිදී තීරණය වූ බවයි වාර්තා වෙන්නේ.

මෙම රැස්වීම් දහස සඳහා විපක්සයේ සෑම පක්ෂයක් ම සහභාගි කරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති නමුත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒවාට සහභාගි වේද යන්න බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී තිබෙනවා.

මේ දෙන්නගෙ එකතුවකට හරස් කරන්නෝ කවුරුන් ද?

පසුගිය 20 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙලට ද සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණේ නැහැ. එම උළෙලට සහභාගි වෙන්නැ යි දන්වා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ අත්සනින් යුතුව ආරාධනා පත්‍රයක් විපක්ෂ නායක කාර්යාලයට ගොස් භාරදී තිබුණේ වජිර අබේවර්ධන මහතා යි. එහෙත් විපක්ෂ නායක කාර්යාලය පවසා තිබුණේ එවැනි ආරාධනා පත්‍රයක් නොලැබුණු බව යි. සමගි ජන බලවේගය තුළ සිටින සජබ - එජාප එකතුවට විරුද්ධ පිරිසක් එය සජිත්ට ලැබා නොදී සැඟවූ බවට සමගි ජන බලවේගයේ ම, පක්ෂ දෙකේ එකමුතුවක් පතන පිරිස චෝදනා කරනවා.

අන්තිමේ දී සමගි ජන බලවේගය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගි වුණේ තිස්ස අත්තනායක, කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට යන රැස්වීම් දහසට කථිකයන් වශයෙන් මන්ත්‍රීවරුන් සහභාගි කරවා ගැනීම බලවත් ප්‍රශ්නයක් වී ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.

''අපට දැන් කථිකයින් හයර් කිරීමට යි සිදුවී තිබෙන්නේ" යනුවෙන් මේ ගැන අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයෙක් ප්‍රකාශ කළා.

මේ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කථිකයින් වී සිටින්නේ දයාසිරි ජයසේකර හා චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන්. මෙයින් චාමර සම්පත් දසනායක මහතා පොදුජන පෙරමුණේ සිට පසුගිය මැතිවරණයට 'සිලින්ඩරය' ලකුණින් තරග කොට ජයගත් අයෙක්. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා වන අතර පසුගිය මහ මැතිවරණයට තරග කොට ජයගත්තේ සමගි ජන බලවේගයෙන්. දැන් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කථිකයෙක් බවට පත්වී සිටිනවා.

මේ අතර පසුගිය සතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුමක් දී පසුගිය දිනවල අධිකරණයේ විනිසුරුවරුන් මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විනිසුරුවරුන් මාරු කිරීම ගැන කතා කරමින් මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ ඇමතිවරුන්ට සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතාට විරුද්ධව ගල්කිස්ස උසාවියේ පවතින නඩුවක් විභාග කොට ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් වරියක මාරු කර යවා ඇති බවට චෝදනා කළා.

වසන්ත, මහින්ද, රංජන් විත්තිකරුවන් නොවේ ලු

 එයට පිළිතුරු ලෙස ආණ්ඩුව ප්‍රකාශ කළේ විනිසුරුවරුන් මාරු කිරීම අධිකරණ සේවා කොමිසම විසින් සිදුකරන ලද අතර එයට ආන්ඩුවේ කිසිම මැදිහත්වීමක් සිදුවී නැති බවයි.

එමෙන්ම වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ හා රංජන් ජයලාල් යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා දී නැති බව ද ආණ්ඩුව ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් සතු දෙහිවල පිහිටි ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් සකස් කොට බදු දී ඇති බවට ඔවුන් තිදෙනාට විරුද්ධව සිදුකොට ඇති පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා ඇතත් ඔවුන් තිදෙනා එහි විත්තිකරුවන් ලෙස නම් කොට නැති බවයි ආණ්ඩුව පවසන්නේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධූරාපේක්ෂකයකු සේ තරග කළ එම පක්ෂයේ හිටපු නායකයකුව සිට පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වී සිටින නන්දන ගුණතිලක මහතා පසුගිය සතියේ මාධ්‍ය හමුවක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.

රංග දිසානායක, නන්දන ගුණතිලක උසාවියට කැන්දන ව ලු 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා තමා පක්ෂයේ සිටි අවදියේ ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කළ අයකු බවයි ඔහු පැවසුවේ. රංග දිසානායක මහතා නීති කමිටු රැස්වීම්වල පැමිණීමේ ලේඛනවල අත්සන් කළ ලේඛන ද තමා සතුව තිබෙන බව නන්දන ගුණතිලක මහතා කියා සිටියා.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන සමාජිකයකු වන මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔහු පවසන්නේ රංග දිසානායක මහතා කිසිම දාක ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවට සහභාගි වී නැති බව යි. එසේම නීති කමිටු රැස්වීම් වලට පැමිණි අයගේ අත්සන් ලබා ගන්නේ නැති බව ද වටගල මහතා පැවසුවා.

නන්දන ගුණතිලක මහතා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ ඊෂ්‍යාවෙන් බව යි ඔහු ප්‍රකාශ කරන්නේ. නන්දන ගුණතිලක මහතා සිටි කාලයට වඩා ජනතා විමුක්ති පෙරමුණ වර්ධනය වී ආණ්ඩු බලය ද ලබාගෙන තිබීම ඔහුගේ ඊෂ්‍යාවට හේතුව බව ද වටගල මහතා මාධ්‍ය හමුවක දී කියා සිටියා.

මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා නන්දන ගුණතිලක මහතා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කිරීමට තීරණය කොට ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

අනුර, ට්‍රම්ප් පින්තූරය ව්‍යාජ එකක් ද?

එක්සත් ජාතීන් ගේ 80 වැනි මහා සම්මේලනයට ගොස් සිටි ජනාධිපති අනුර කුමර දිසානායක මහතා පසුගිය 24 වැනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රාජ්‍ය නායකයින් උදෙසා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වී තිබෙනව.

එහිදී ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා මෙලනියා ට්‍රම්ප් ආර්යාව සමඟ පෙනී සිටි ඡායාරූපයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළා.

මෙම ඡායාරූපය මාධ්‍යවල පළවීමෙන් පසු ඇතැම් සමාජ මාධ්‍ය මෙය 'ෆොටෝ ෂොප්' මඟින් විර්මාණය කළ ඡායාරූපයක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇමරිකානු ජනාධිපති හමුවී නැති බවත්, දැක්වෙන ප්‍රකාශ පළ කොට තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සේ සිටිය දී එක්සත් ජාතීන් ගේ මහා සමුළුව ඇමතීමට ගිය අවස්ථාවේ එවකට ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හා එම ආර්යාව සමඟ පෙනී සිටි  ඡායාරූපයක් පළ වූ විට සමාජ මාධ්‍යකරුවන් පිරිසක් එය සකස් කළ එකක් බව පැවසුවා.

මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍ය බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් පරීක්ෂා කර ගත හැකිව තිබිය දී ඇතැමුන් දේශපාලන වාසි තකා මෙවැනි ව්‍යාජ පුවත් පළ කිරීමෙන් සිදුවන්නේ ජනාතව තුළ සමාජ මාධ්‍ය පිළිබඳව පවතින විශ්වාසය බිඳ වැටීම යි.

xxxx  xxx xxx

මුවගුලු දා ගත් විපක්ෂ මන්ත්‍රීන්!?

විවිධ නඩුවලට මුහුණ දී සිටින විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් 20 ක පමණ පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම විපක්ෂයට බලවත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.

මේ නිසා පාර්ලිමේන්තුවෙත්, ඉන් පිටතදිත් ආණ්ඩුවට එරෙහිව හඬ නැඟීමට ඇති අවස්ථාව මඟ හැරීම නිසා විපක්ෂයට රැස්වීම්වලට හා පාර්ලිමේන්තු විවාද වලට කථිකයින් සොයා ගැනීම අසීරු වී ඇතැ යි පසුගිය සතියේ පැවති සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡා වූ බව ද දැනගන්නට තිබෙනවා.

  - ජගත් -