ජගත් ගේ සටහන - 100

කොළඹ අයවැය යළි 31 වැනිදා ඉදිරිපත් කෙරේ
පසුගිය සතියේ වැඩි ඡන්ද 3 කින් පරාජය වූ ජාතික ජන බලවේගය යටතේ පවතින කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ලබන බදාදා (31) යළිත් ඉදිරිපත් කිරීමට නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය විසින් කටයුතු යොදා තිබෙනවා.
කලින් පැවති පළාත් පාලන (සංශෝධන) පනතට අනුව පළාත් පාලන ආයතනයක අයවැය පරාජය වුවහොත් එහි සභාපති හෝ නගරාධිපති හෝ ධූරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණා. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා ගේ මෙහෙයවීම අනුව 2012 දී පළාත් පාලන (සංශෝධන) පනතට ගෙන එනු ලැබු සංශෝධනයක් මගින් පළාත් පාලන ආයතනයක සභාපති හෝ නගරාධිපති හෝ අස්විය යුත්තේ එම පළාත් පාලන ආයතනයේ අයවැය වසර 2 ක් පිට පිටම පරාජය වුවහොත් පමණයි.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනියට 2028 දක්වා එම තනතුරේ රැඳී සිටීමට ඉඩකඩ ලැබී තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාවේ වැඩිම මන්ත්‍රී කොට්ඨාස ජය ගත්තේ ජාතික ජන බලවේගය යි. එම පක්ෂයට මන්ත්‍රී ධූර 48 ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 29 ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 13 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 5 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර 4 ක්, අංක 3 දරණ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධූර 3 ක්, එක්සත් සාම සන්ධානයට මන්ත්‍රී ධූර 2 ක්, සර්වජන බලයට මන්ත්‍රී ධූර 2 ක්, අංක 4 ස්වාධීන කණ්ායමට මන්ත්‍රී ධූර 2 ක්, අංක 5 ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධූර 2 ක් ද එක්සත් ජනතා පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී සන්ධානය, අංක 1 දරණ ස්වාධීන කණ්ඩායම හා අංක 2 දරණ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධූර 1 බැගින් ද හිමිවී තිබුණා.
එසේ වුව ද නගරාධිපති තෝරා ගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේ දී නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයෙන් තරග කළ ව්‍රායි කැලි බර්තසාර මහත්මිය ඡන්ද 61 ක් ලබා ගනිමින් එම ධූරයට පත් වුණා. ඇය හා විපක්ෂයෙන් තරග කළ සමගි ජන බලවේගයේ රිසා සරුක් මහතාට ලැබී තිබුණේ ඡන්ද 54 ක් පමණයි.
දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය රැකගෙන සිටි එක්සත් ජාතික පක්ෂයට මීට එහි බලය ගිලිහී ගියේ 1954 දී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නගරාධිපති වූ හා 2006 දී ඇස් කණ්ණාඩිය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමේ මොහොමඩ් ඉම්ටියාස් නම් ත්‍රී රෝද රථ රියැදුරා නගරාධිපති වූ දෙවතාවේ දී පමණයි. මෙවර ජාතික ජන බලවේගයට එහි බලය හිමිවීම, සමගි ජන බලවේගයට මෙන් ම එක්සත් ජාතික පක්ෂයට ද දරාගත නොහැකි පරාජයක් වුණා.
ජාතික ජන බලවේගය නගරාධිපති ධූරය ලබා ගත්තේ කොළඹ මහ නගර සභාවට තේරී පත්වී සිටි ස්වාධීන මන්ත්‍රීන් පිරිසකට නොයෙකුත් පොරොන්දු දී ඔවුන්ගේ සහාය ලබා ගැනීමෙන්. 
මේ අතර නගර සභාවේ අයවැය පරාජය කිරීම සඳහා විපක්ෂය එක්සත් වුණා. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ මෙහෙයුම්කරු වුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ය. එක්සත් ජාතික පක්ෂයෙන් සාගල රත්නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබුණා. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහත්වරුන් හා ස්වාධීන කණ්ඩායම් සමඟ ද සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ බව වාර්තා වෙනවා.
තත්වය අවදානම් බව සැළවීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයට, අයවැය දිනට පෙරදින රාත්‍රියේ කැඳවා සාකච්ඡා පවත්වා තිබුණ ද ඒ උත්සාහය අසාර්ථක වුණා.
නගරාධිපතිනිය විසින් ඉදිරිපත් කළ අයවැය මඟින් නගර සංවර්ධනයට හා ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සාර්ථක වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඒ සඳහා මුදල් ද වෙන්කොට තිබු බවත්, එම අයවැය සැකසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ද අදහස් ලබාගත් බවත්, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයකු අප හා ප්‍රකාශ කළා.
එහෙත් පක්ෂ නායකත්වයෙන් එල්ල වූ බලපෑම් නිසා බොහෝ මන්ත්‍රීවරුන්ට හිතට විරුද්ධව ඡන්දය දීමට සිදුවීමෙන් අයවැය පරාජය වූ බව ඔහු කියා සිටියා.
මෙයට පෙර කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ පාලන යුග වලදී නාගරික මන්ත්‍රීවරුන්ට විවිධ ව්‍යාපෘතිවලින් විශාල ලෙස මුදල් උපයාගත හැකිව තිබුණා. නගරයේ වාහන නැවතුම් පොළවල් බදුදීම, වෙළඳ සල් හා නගර සභාවට අයත් විවිධ ගොඩනැගිලි බදුදීම ආදියෙන් නාගරික මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව අයථා ලෙස මුදල් උපයා ගැනීමට අවස්ථා සැලසී තිබු නමුත් ජාතික ජන බලවේගයට එහි පාලනය ලැබීමත් සමඟ එම ආදායම් මාර්ග ඔවුන්ට නොලැබීම ගියා.
එමෙන් ම එම යුගවල දී කලින් හිටි පාලකයින් සිය පාක්ෂිකයින් හා හිතවතුන් නගර සභාවේ විවිධ අංශවලට සේවකයින් වශයෙන් බඳවා ගෙන තිබු අතර එම සේවකයින් සේවා ස්ථානවලට උදේට පැමිණ පොත (පැමිණීමේ ලේඛනය) අත්සන් කොට පිටවී යන බවත්, යළි හැන්දෑවට පැමිණ පොත අත්සන් කොට යන බවත්, ප්‍රසිද්ධ කරුණක්. ඔවුන් නගර සභාවේ පැමිණීම අත්සන් කොට පදික වේදිකාවේ වෙළාම හා ත්‍රී රෝද රථ ධාවනය ආදි විවිධ රැකියාවල යෙදී තිබුණා. මාසය අන්තිමට ඔවුන් පැමිණ වැටුප් ගබාගෙන තමන් භාරව සිටින වැඩ පරීක්ෂකවරුන්ට ද මුදලක් දීම හේතුවෙන් මෙම පිරිස හඳුන්වනු ලැබුවේ 'ආමි' නේවි' යන නම්වලින්. මැතිවරණ කාල වලදී මෙම පිරිස් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ගේ ඡන්ද ව්‍යාපාරවල ද යෙදුණ බව ප්‍රසිද්ධ කාරණාවක්.
මේ තත්වය යටතේ කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජය වීම පුදුමයක් නොවන බව යි දේශපාලන විචාරකයින් පවසන්නේ.
ලබන බදාදා දෙවැනි වරට ඉදිරිපත් කිරීමට යන අයවැය ද පරාජය වුවත්, නගර සභාවේ පාලනය පවත්වා ගෙන යෑමට 2028 දක්වා නගරාධිපති බල්තසාර් මහත්මියට හැකියාව තිබෙනවා.
එහෙත් දැනගන්නට තිබෙන අන්දමටනගර සභාවේ කාරක සභාවල වැඩි බලය ලබාගෙන නගර සභාවේ පාලනය අකර්මණ්‍ය කිරීමට ඇති හැකියාව ගැන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙරේදා තවත් නාගරික මන්ත්‍රීන් පිරිසක් සමඟ සාකච්ඡා කොට තිබෙනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
විගණකාධිපති අවුල
රජයේ විගණකාධිපති ධූරය මාස 8 ක කාලයක සිට හිස්ව පැවතීම මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල යන මහත්වරුන් හා විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ද නීතිඥ සංගමය ඇතුළු සංවිධාන රැසක් විගණකාධිපති ධූරයට සුදුස්සෙකු වහාම පත්කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා.
ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයකු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිට පත්කළ හැකි බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ දැක්වෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු එම ධූරය සඳහා වරින් වර පුද්ගලයින් 4 කුගේ නම් ඉදිරිපත් කළ නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ඒ නම් ප්‍රතික්ෂේප කරතිබෙනවා.
ඒ අතර වැඩ බලව විගණකාධිපති වශයෙන් නියෝජ්‍ය විගණකාධිපති ඩී. ගම්මන්පිල මහතා මාස තුනෙන් තුනට පත් කළා. එහෙත් පසුගිය වතාවේ ඔහුගේ වැඩ බලන තනතුර තවත් මාස තුනකට දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
විපක්ෂය ඇතුළු සංවිධාන පවසන්නේ විගණකාධිපති ධූරයට පිටින් කෙනකු පත් නොකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඒ සඳහා පත්කළ යුතු බව යි. දිගට ම වැඩ බලන විගණකාධිපතිවරයකු පත් කිරීම නුසුදුසු බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.
එහෙත් මීට කලින් සිටි සරත් මායාදුන්නේ මහතා විගණකාධිපති ධූරයට පත්වීමට පෙර අවුරුදු එක හමාරක් ද පසුගිය දා විශ්‍රාම ගිය චූලන්ත වික්‍රමරත්න මහතා එම ධූරයේ අවුරුද්දයි මාස තුනක කාලයක් ද, වැඩ බලන පදනමෙන් රාජකාරි කොට ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසන්නේ දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විගණකාධිපති ධූරයට පත් කළ යුතු බවත්, පිටතින් ඒ සඳහා කෙනෙකු පත් නොකළ යුතු බවත් ය.
එසේ වුව ද විගණකාධිපති ධූරයට වරලත් ගණකාධිකාරිවරයකු වශයෙන්, වෘත්තීය සුදුසුකම් තිබෙන අයකු පත්කළ යුතු බව යි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ.
මීට පෙර විගණකාධිපතිවරුන් සේ සිටි ගාමිණි විජේසිංහ සහ පී. ප්‍රේමතිලක යන මහත්වරු එම ධූරයට පැමිණ ඇත්තේ රාජ්‍ය සේවයෙන් බවත්, ඒ නිසා විගණන දෙපාර්තාමේන්තුවේ ම කෙනකු එම ධූරයට පත්විය යුතු යැයි නියමයක් නැති බවත් මේ ගැන අප කළ විමසුමක දී හිටපු විගණකාධිපතිවරයකු කියා සිටියා.
විගණකාධිපති ධූරය හිස්ව තිබීමෙන් අවසන් විගණන වාර්තාවලට විගණකාධිපති වරයාගේ අත්සන යෙදීම නීත්‍යානුකූල නැතැ යි සමහරුන් පවසන නමුත් දැන් සිටින විගණකාධිපතිවරයා පසුගිය මාස අටක් තිස්සේ විගණන වාර්තාවලට අත්සන් කොට ඇති බැවින් විගණන වාර්තාවේ බලයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර හිටපු විගණකාධිපතිවරයකු වන ගාමිණි විජේසිංහ මහතා ඊයේ පුවත්පතක් කළ විමසුමක දී ''විගණකාධිපති කියන්නේ විගණන සේවයේ තනතුරක් නෙවෙයි කියන එක මම දිගින් දිගට ම කිව්වා. මොකද විගණන සේවය අතිරේක විගණකාධිපතිගෙන් අවසන් වෙනවා. පිට කෙනෙක් මේ තනතුරට පත්කිරීමට කිසිම නීතිමය බාධාවක් නැහැ. නමුත් විගණන සේවය ඇතුළෙ දක්ෂ නිලාධාරියෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇය හෝ විගණකාධිපති වශයෙන් පත් කිරීමේ ගැටලුවක් නැහැත නමුත් ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි. විගණකාධිපති වශයෙන් පිටින් පත්වූ අය විශාල වැඩ කොටසක් කරලා තියෙනවා" යැ යි ප්‍රකාශ කොට තිබුණා.
