උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

විජායි ලක්ෂ්මි මොහොට්ටි ගේ කෘති 2 ක් හා නිමල් සේදර ගේ පොතක් 24 දා එළිදැක්වේ

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට පන්හිඳ හසුරුවමින් හෙළදිව වැසියන් ආදරයෙන් අමතන විජානි

බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ 'සැනෝරා' හෝටලයේ දීකතාබහ සැප්තැම්බර් 24 වනදා පෙරවරු 10. 00 සිට සවස 3. 00 දක්වා පැවැත් වේ.

ඉකුත් දා අපෙන් සදහට ම සමුගත් මහාචාර්ය විමල් දිසානායක සූරීන් විසින් විජායි හා ඇගේ කවීථ්වයත් කවියක තිබිය යුතු අංග ගැනත් අපට පෙන්වා දී තිබේ.

කවියක් අගය කිරීමේ දී මූලික අංග ලක්ෂණ සතරක් කෙරෙහි රසිකයාගේ අවධානය යොමු විය යුතු යයි සිතමි. ඉන් පළමුවැන්න කාව්‍යයක අන්තර්ගත අත්දැකීම යි. කවියෙකුගේ අරමුණ අපූර්වත්වයකින් හෙබි, චමත්කාරයක් දනවන අත්දැකීමක් පාඨකයා වෙතට පැමිණවීම යි. කවියක ඇතුළත් අත්දැකීම කතා පුවතක ස්වරූපයක් ගත හැකි ය. විචාර චින්තාවක් විය හැකි ය. ප්‍රබල මනෝ රූපයක් ලෙස මතුවිය හැකි ය. අත්දැකීමෙහි ස්වරූපය කෙබඳු එකක් වුව ද එහි අපූර්වත්වයකින් යුක්ත එකක් වීම ඉතා වැදගත් ය. කාව්‍ය නිර්මාණයක සාර්ථකත්වය කෙරෙහි මෙය දැඩි ලෙස බලපාන්නකි.

කවියක විශේෂත්වය විමසීමේ දී අපගේ සැලකිල්ලට ලක් විය යුතු දෙවැනි අංග ලක්ෂණය නම් කවියා හෝ කිවිඳිය විසින් උපයුක්ත  භාෂා මාධ්‍යය යි. කවියෙකුගේ අභිප්‍රාය විය යුත්තේ භාෂාවේ ව්‍යාංජනා ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි. භාෂාවේ ව්‍යාංගාර්ථ කෙරෙහි සිය අවධානය යොමු කරන කවියා අපූර්ව පද සංඝටනයකින් යුතු කාව්‍ය භාෂාවක් නිර්මාණය කිරීමට වෑයම් කරයි. භාමන පඩිතුමා  ප්‍රකාශ කල පරිදි 'ඉර බසියි සඳ නඟියි. කුරුල්ලෝ කැදලි කරා යති'යනුවෙන් කී පමණින් කාව්‍යයක් බිහි නොවේ. මෙය වාර්තාවකි. කාව්‍යයත් වාර්තාවත් අතර වෙනස බොහෝ දුරට රැඳී පවතින්නේ භාෂා මාධ්‍ය මතය.

කාව්‍යෝචිත භාෂා මාධ්‍ය ගැන සාකච්ඡා කිරීමේ දී කවියකු විසින් යොදා ගෙන ඇති සංකල්ප රූප කෙරෙහි අපගේ විමර්ශනාක්ෂිය යොමු විය යුතුය. රසිකයාගේ පසිඳුරන් ගේ මඟින් එය ඔහුගේ මනසට ප්‍රවිෂ්ට වී ඔහු තුළ භාවාලෝලනයක් ඇති කිරීමට සමත් වාක් චිත්‍රය සංකල්ප රූපය ලෙසින් දැක්විය හැකිය.කාව්‍යයක සාර්ථකත්වය කෙරෙහි සංකල්ප රූප බලපාන්නේ කෙසේ ද? කිසියම් මනෝභාවයක් හෝ විචාර චින්තාවක් හෝ සිද්ධියක් උත්කර්ෂවත් ලෙසත්, සංක්ෂිප්ත ලෙසත් චිත්‍රණය කිරීමෙනි. සංකල්ප රූප පරිහරණය හා කායෝචිත භාෂා මාධ්‍යයක් නිර්මාණය කිරීම අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.

කවියක සාර්ථක අසාර්ථකබාවය විනිශ්චය කිරීමේ දි අපගේ සැලකිල්ලට හසුවිය යුතු තෙවැනි මුඛ්‍යාංගය නම් කාව්‍යයේ ආකෘතිය යි. ආකෘතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ කවියේ හැඩය නොහොත් සුවරූපයයි. කවියක ආකෘතිය යනු බාහිර අංගයක් නොවේ. එය කවියෙහි අර්ථය සමඟ දැඩි ලෙස බැඳී පවතී. අර්ථ ජනනයට අත්‍යයන්තයෙන් උචිත වූ කාව්‍ය කෘතියක් නිර්මාණය කිරීම ශූර කවියකු සතු කාර්යභාරයකි.

කවියක් අගය කිරීමේ දී අපගේ සම්මර්ශනයට ලක්විය යුතු සතර වන අංග ලක්ෂණය නම් කවියාගේ ජීවන දෘෂ්ටියයි. සෑම කාව්‍ය රචනයකින් ම ගැඹුරු ජීවන දෘෂ්ටියක් ප්‍රකට වීම අවශ්‍ය නොවේ. එහෙත් කාව්‍ය නිර්මාණ වලින් මිනිසා හා සමාජය අරබයා කවියා හෙළන ආකල්පය ප්‍රතීයමාන වේ. මෙම ආකල්පයෙහි සාරවත්භාවය කෙරෙහි විචාරවත් පාඨකයන්ගේ සැලකිල්ල යොමුවිය යුතු ය.

විජායි ලක්ෂ්මි දම්මුල්ල (මොහොට්ටි) මහත්මියගේ ''හුදෙකලා සීපද'' නමැති මෙම කාව්‍ය සංග්‍රහය කියවන විට යට සඳහන් කරන ලද මුඛ්‍යාංගයන් හි වැදගත්කම රචකයා මැනවින් වටහා ගෙන ඇති බව පැහැදිලි වේ.  මෙම කෘතියෙහි කාව්‍ය රචනා හතළිස් තුනක් ඇතුළත් වේ. ඉන් බොහොමයක් ම දාරක ප්‍රේමය, මාතෘ ප්‍රේමය, ආගමික ශ්‍රද්ධාව, මානව දයාව බඳු සාර්වත්‍රික මනෝ භාවයන් මුල් කොටගෙන රචිතව ඇත. රචිකාවියගේ කවිත්වය බෞද්ධ සංස්කෘතිය විසින් පරිපෝෂිත වූවකි. බෞද්ධ සාහිත්‍යයෙහි ඇතුළත්චරිත හා සිදුවීම් ඇයගේ පරිකල්පන ශක්තිය කෙරෙහි බලපා ඇති අයුරු මැනවින් දැක්ක හැකි ය.

විජායි ලක්ෂ්මි දම්මුල්ල ගේ කවිත්වයෙහි විශේෂත්වය ''සුමිහිරි ගීය" වැනි පද්‍යයකින් ඉස්මතු වේ

බලාපොරොත්තුව තටු විහිදු කළ

බැඳීම හදවත වැළඳ ඇතේ

ඒ මුත් ඒ තටු ගිලිහී යන විට

ඉතින් හිතට සැනසුමක් නැතේ

මා ඔබ පිළිබඳ මතක ගීතයක්

ජීවිත පුස්තකයේ ලියනා සඳ

මා පිටුපස ඔබ නොදැනී අවුදින්

අදහස් පන්හිඳ කැබලි කළා

රූපකාර්ථවත් භාෂා මාධ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා ඈ දරන පරිශ්‍රමය මෙබඳු පද රචනවල සටහන් වී ඇත. ''පිළිගැනීම'' වැනි පද්‍යයක ද මෙම ලක්ෂණය පැහැදිලි ලෙස දක්නට ලැබේ.

''හුදෙකලා සීපද" කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් ඇතැම් නිර්මාණවලින් අනපේක්ෂිත ආවර්තන වලින් යුතු කාව්‍ය සංකල්පනා ධ්වනිත වේ. 'පබවත් පැතුම' එබඳු රචනයකි.

කප් සුවාසූ දහස් ගණනකට පසුව ලොව

''පබවතිය'' පතන්ති

කුසවත් පුරයෙහි - ඔකාවස් රජුගේ පුත්

කුස නොවේ.

විසුළු මුහුණකින් යුත්

හිමි ඔබයි.

අප සාහිත්‍යය යුගානුරූපව වර්ධනය වීමට නම් සාරවත් සාහිත්‍යික කෘතියක් බිහිවිය යුතු ය. එබඳු සාහිත්යික සංස්කෘතික විශේෂ ලක්ෂණයක් නම් අලුතින් නිර්මාණය වන ගද්‍ය පද්‍ය රචනා පිළිබඳව අවංක වූත් සාරගර්භ වූත් විවරණ හා විමර්ශන වඩ වඩා එළි දැකීමයි. හුදෙකලා සීපද කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් ''මගේ පැතුම", ''සුමිහිරි ගීය", ''පියසේනගේ පුංචි දෑස", ''ලැබීම", ''පිළිගැනීම", ''නොනිමෙන කඳුළ", ''උයනෙක අසිරිය", ''බව දුක් නිවහන", ''නොලියූ ඉතිහාසය" වැනි කාව්‍ය රචනා විද්වත් රසිකයන්ගේ තියුණු විශ්ලේෂණයට පාත්‍ර වේවා යි පතමි.

මහාචාර්ය විමල් දිසානායක

සංස්කෘතික අධ්‍යයන අංශය

1777 ඊස්ට් වෙස්ට් පාර

‌ෙහානලුලු

හවායි 96848