ජගත් ගේ සතියේ සටහන - 101

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැඟීම සඳහා සිදුකෙරන සාකච්ඡා සාර්ථක වෙමින් ඉදිරියට යන බවත්, සුදුසු වෙලාවේ දී පක්ෂ දෙක එකතුවීම සිදුවනු ඇති බවත්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සමඟ කරන සියලු සාකච්ඡාවල වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාරගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීම සඳහා එම පක්ෂ දෙකේ ම කෘත්‍යාධිකාරී මණ්ඩලවල හා කළමනාකරණ කමිටු විසින් පසුගිය දා අනුමැතිය දී තිබුණා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය මෙම සාකච්ඡා සඳහා එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් හා උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් පත් කළ අතර සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡාවලට සහභාගි වීම හා එහි වගකීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාරගෙන තිබෙනවා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස අතර එම සාකච්ඡා පසුගිය 30 වනදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ 'කළම්ඹු ක්ලබ්' හි දී පැවැත්වී තිබෙනවා.
මෙම සාකච්ඡා අතිශයින් ම සාර්ථක වූ බව නවීන් දිසානායක මහතා පවසා තිබුණා.
මේ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ තැබූ සටහනක දක්වා තිබුණේ ''අපේ මාතෘ භූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායි සහ කාර්යක්ෂම ලෙස සක්ෂාත් කරගත හැකි නව්‍ය ප්‍රතිපත්තිමය විධිවිධාන සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡා එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වන ලද බව යි.
සාකච්ඡා ඵලදායී බවත්, ඉදිරියේ දී තවත් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට තීරණය වූ බවත්, නවීන් දිසානායක මහතා, මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතා ගේ කාර්යාලයේ දී එහි සිටි පක්ෂ හිතවතුන්ට පවසා තිබෙනවා.
සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ''සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වී ඉදිරියේ දී සන්ධානයක් ලෙස කටයුතු කර ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී අනිවාර්යයෙන් ම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිම කැමැත්ත තිබෙන්නේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට බවත්, එමෙන් ම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිණත භාවය අනුව ඔහුට පක්ෂ දෙක එක්ව පිහිටුවන සන්ධානයේ අනුශාසක තනතුර දිය හැකි බවත්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා තව දුරටත් සඳහන් කළා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි 01 වනදා උදේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට, දුරකතන ඇමතුමක් දී, නව වසරට සුබ පැතූ බව ද වාර්තා වෙනවා.
සජිත්ට හොරුන් එක්ක ආණ්ඩු පිහිටුවන්න බැරි ලු!

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ද, උණුසුම් සුබ පැතුම් එක්කළ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ දෙක එකතුවීමේ ඉදිරි වැඩපිළිවෙල ගැන ද සාකච්ඡා කළ බව කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
පසුගිය දා කොළඹ තිඹිරිගස්යාය දේවස්ථානයක පැවති සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ගේ දියණියගේ විවාහ මංගලෝත්සවයට දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස අත්සන් කිරීමට පැමිණ සිටි රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකිනෙකාගේ මුහුණුවත් බලා නැති බවත්, ප්‍රේමදාස මහතා සාක්කියට අත්සන් කිරීමෙන් පසු කඩිනමින් පිටවී ගිය බවත්, එම අවස්ථාවට සහභාගි වූ සජිත් ගේ ප්‍රබලයෙක් කියා සිටියා.
එසේ තිබියදී සජිත් ප්‍රේමදාස මහතා ගේ දැන් හැසිරීම ප්‍රශ්න සහගත බව ද ඔහු පැවසුවා.
කාල බෝම්බයක් වූ සමලිංගික වෙබ්අඩවිය
මේ අතර සමගි ජන බලවේගයේ තවත් පිරිසක් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, පවතින නඩු හේතුවෙන්, ළඟදීම ඔහුට දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවන බව යි. මුලදී එජාප ය සමඟ එක්වීමට දැඩි ලෙස විරුද්ධ වී සිටි ප්‍රේමදාස මහතා දැන් එජාප ය හා එක්වීමට කැමැත්ත පළ කරන්නේ, තමන්‌ට තනිවම නායකත්වය ලැබෙන නිසා බව ද ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වුවද එජප නියෝජිත පිරිස සහ සජිත් ප්‍රේමදාස මහතා අතර තවත් සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට යන බව ද වාර්තා වෙනවා.
එසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසකගේ අපේක්ෂාව වී තිබෙන්නේ, ආණ්ඩුවට විරුද්ධ සියලු පක්ෂ එක්කොට ඒකාබද්ධ සන්ධානයක් පිහිටුවීමට යි. පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදි පක්ෂ එකතු කර ගැනීම මොවුන්ගේ අරමුණ වී තිබෙන අතර, රනිල් වික්‍රමසිංහ මහතා ද එයට එකඟත්වය පළ කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
ජනවාරි 1වනදා කොළඹ 7 මල්පාරේ පිහිටි එජප දේශපාලන කාර්යාලයේ පැවති අලුත් අවුරුද්දේ, වැඩ ඇරඹීමේ අවස්ථාවට පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් වන ජී, එල්. පීරිස් හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ද සහභාගි වී සිටි අතර ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවීම ගැන එහිදී සාකච්ඡා වී තිබෙනවා.
එහෙත් සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් පක්ෂ සමඟ සන්ධාන පිහිටුවීමට මුල සිට ම විරුද්ධ වූ අයෙක්.
පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බොහෝ දෙනකුට දූෂණ චෝදනා සහ නඩු පවතින බවත්, එවැනි හොරුන් සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් නැති බවත්, සජිත් ප්‍රේමදාස මහතා කිහිප අවස්ථාවක ම පවසා තිබුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සමඟ තම පක්ෂය එකතු වෙනවාට සමගි ජන බලවේගයේ ම පිරිසක් ද විරුද්ධ බවත් වාර්තා වෙනවා. පක්ෂ දෙක එක්වූ විට තමන් දරණ තනතුරු හා සංවිධායක ධූරවලට ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් මොවුන් මෙසේ විරුද්ධ වන බව ද දැනගන්නට තිබෙනවා.
කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා විස්තර ජනවාරි 7 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට වාර්තා කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට දැනුම් දුන් බව සිරිකොත එජප මූලස්ථානයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර මුද්‍රණය කෙරුණු හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ, සමලිංගිකත්වය ප්‍රවර්ධන කෙරෙන වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය මේ දිනවල ආණ්ඩුව තුළත්, දේශපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රවලත් දැඩි කතාබහට ලක්වී තිබෙනවා.
මෙම සිද්ධිය කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක් බව පවසමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කළුවැව මහතා, පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණා.
මෙම මොඩියුලය සහිත පොත මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 6 ක පමණ මුදලක් වැයවී ඇතැ යි පැවසෙනවා. අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ එම පොතේ වෙබ් අඩවිය ගැන සඳහන් වෙන පිටු ඉවත් කොට එය පාසල්වලට යනව බව යි.
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට, ගුරු සංගම්, විදුහල්පති සංගම්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව රැසකින් පසුගිය වසරේ සිට ම දැඩි විරෝධතා එල්ල වී තිබුණා.
ඔවුන්ගේ දැඩි විරෝධයට හේතුවුණේ ආණ්ඩුව මෙම අධාපන ප්‍රතිසංස්කරණ හෙළි නොකිරීම යි. අධ්‍යාපන ඇමතිනිය වන අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය මේ පිළිබඳව ගුරු සංගම් සමඟ සාකච්ඡා ගණනාවක් පවත්වා තිබු නමුත් ඔවුන් ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ යෝජනා ලබා දී තිබුණේ නැහැ.
ඒ අතර හය වසරේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක් ගැන සඳහන් වීමත් සමඟ විරෝධතා දැක්වූ ගුරු හා විදුහල්පති සංගම්වලට එය ප්‍රබල ආයුධයක් වී තිබෙනවා.
පැලවත්තෙත් පොලු උස්සන්!?
නව අධ්‍යාපන වාරය ආරම්භයේ සිට පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2 දක්වා පැය භාගයකින් වැඩි කිරීමේ තීරණයට ද ගුරු සංගම්, දැඩි විරෝධය දැක්වූ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ විරෝධතා ගණන් ගත්තේ නැහැ.
එහෙත් මේ හය වසරේ පොතේ සිද්ධිය එළියට පැමිණ විරෝධතා උග්‍රවීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය අත්හිටුවා තිබෙනවා.
එහෙත් විරෝධතාවල අඩුවක් නැහැ. දැන් එය දේශපාලන වේදිකාවේ ද මාතෘකාවක් වී ඇති අතර විපක්ෂය පවසන්නේ මේ සිද්ධියට අගමැති හා අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය මෙනෙවිය වගකිවයුතු බැවින් ඇය අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව යි.
ජාතික අධ්‍යාපන ආයතන ආරංචි මාර්ග පවසන අන්දමට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා එම ආයතනය සකස් කොට තිබෙන්නේ, යහපාලන ආණ්ඩුව කාලයේ අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමතිවරයා සේ සිටිය කාලයේ දී.
ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් එම යෝජනා අලුත් යෝජනා වශයෙන් වර්තමාන අධ්‍යාපන ඇමතිවරියට ඉදිරිපත් කොට ඇති බව ද ඔවුන් පවසනවා.
හය වසරේ ඉංග්‍රීසි විෂයට අත්පොත සංස්කරණය කළ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කොට ඇත්තේ පාසල් ගුරුවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක්.
එම සංස්කාරක මණ්ඩලයේ කිහිප දෙනකු දැනට ජීවතුන් අතර නොමැති බව ද දැනගන්නට තිබෙනවා.
අගමැති හරිනි තනතුරුවලින් දොට්ට?
විජිතට අගමැති කම!?
ගුරු සංගම් පවසන්නේ, මෙම ප්‍රතිසංස්කරණ යෝජනා මුලදී තමන්ට ලබා දුන්නේ නම් මෙම වැරදි මුද්‍රණයට පෙර සොයාගත හැකිව තිබු බව යි.
මෙම පොත මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් කෝටි 6 ක මුදලක් අහිමිවීම පිළිබඳව මේ සතියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට තම සංගමය තීරණය කොට ඇතැ යි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ෆ්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
