උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

විජිත ඇමරිකාවට බෑ කියයි

ජගත් ‌ගේ  සතියේ සටහන - 89

විමල් කොටු කරන්න සූදානමක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද හෙට ම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට තියෙනවා.

ඒ ඔහු විසින් බෙලිඅත්තේ සනා  නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ කරන ලදැ යි කියන ප්‍රකාශයක් පිළිබඳව තව තොරතුරු දැනගැනීම සඳහා බවයි දැනගන්නට තිබෙන්නේ.

බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පොලිසියට කළ ප්‍රකාශය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කොට තිබුණා.

බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනෙක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමු‌ණේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත් විමල් වීරවංශ මහතා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වන බවක් නිවේදනයේ දැක්වෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයා එම ප්‍රදේශයට ගිය අවස්ථාවක දී සනා යන අයගේ නිවසට ගොස් ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකින් ආහාරගත් බව  තමා දැනගත් බව ද විමල් වීරවංශ මහතා පැවසූ බවයි පොලිස් නිවේදනයේ සඳහන් වෙන්නේ.

දැන දැන ම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ  දැක්වෙනවා.

මේ අතර ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ පොලිසියට තමන් ලබා දුන් කටඋත්තර (සාක්කි) ප්‍රසිද්ධියට පත් කිරීම ගැන ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බව යි.

ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමට සිය නීතිඥයින් සමඟ සාකච්ඡා කරන බව ද ඔශු ප්‍රකාශ කළා.

මේ අතර තව දුරටත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට අද (12) යළිත් තංගල්ල පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව ද, දැනගන්නට තිබෙනවා.

හම්බන්තොට වරාය ආසන්නයේ ඇමරිකානු ඩොලර් කෝටි 370 ක වටිනාකමකින් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකොට පවත්වා ගෙන යාම සදහා ශ්‍රී ලංකා රරජය සහ චීනයේ සයිනොපෙක් ඛනිජ තෙල් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට මාස 9 කට අධික කාලයක් ගතවී ඇතත්, මෙතෙක් එහි කටයුතු ඇරඹීමට නොහැකි වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම නිසා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මෙම තෙල් පිරිපහදුව ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම විදේශ ආයෝජනය ලෙසයි සැළකෙන්නේ.

හම්බන්තොට තෙල් පිරිපහදුවට ඇමරිකාවෙන් උදැල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වසර මුලදී චීනයේ සංචාරය කළ අවස්ථාවේ සයිනොපෙක් තෙල් පිරිපහදුව සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කොට තිබුණා.

මෙම ගිවිසුම අනුව තෙල් පිරිපහදුවේ නිපදවන ඉන්ධන වලින් සියයට විස්සක් දේශීය වෙළඳපොළේ අලෙවි කිරීමටත් ඉතිරිය අපනයනය කිරීමට අවසර දීමටත් රජය එකඟවී තිබුණා.

එහෙත් සයිනොපෙක් සමාගම දේශීය වෙළඳපොළෙ ඉන්ධන සියයට 40 ක් අලෙවි කිරීමටඅවසර දෙන්නැයි රජයට යෝජනා කොට තිබුණු බව දැනගන්නට තිබෙනවා.

එමෙන් ම බදු නිදහස් කිරීමේ කාලය දීර්ඝ කරන ලෙස ද එම සමාගම ඉල්ලා ඇති නමුත් ආණ්ඩුව ඊට එකඟ නොවීම නිසා තෙල් පිරිපහදුව ඉදිකිරීමේ කටයුතු ඇණහිටි බව ද වාර්තා වෙනවා.

පසුව ආණ්ඩුව එහි නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවලින් 40% ක් දේශීය වෙළඳපොළට නිකුත් කිරීමට අවසර දී තිබෙනවා.

එසේ වුවද මෙම තෙල් පිරිපහදුව ඉදිකිරීම ප්‍රමාද වීමට හේතුව ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම බවයි දැනගන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චං මහත්මිය මෙම ගිවිසුම අත්හිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කරමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු දැනට කරන්නේ ද චීන සමාගමක් විසින්. ඒ තත්වය යටතේ චීනය හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකොට තෙල් බෙදා හැරීමේ කටයුතුවලට එක්වීමඇමරිකාවට බලවත් ප්‍රශ්නයක් වනු ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින වෙළඳ ශේෂය සමතුලිත කර ගැනීම සඳහා ආණ්ඩුව ඇමරිකාවෙන් තෙල් ගෙන්වීම ගැන පසුගිය දිනවල සාකච්ඡා කොට තිබුණා.

  විජිත  ඇමරිකාවට බෑ කියයි

චීනයේ තෙල් මෙරට වෙළඳපොළට පැමිණීම ඇමරිකාවට තදින් ම බලපානා හෙයින් ජුලි චං මහත්මිය සයිනොපෙක් තෙල් ගිවිසුම අත්හිටුවීමට මූලික වී සිටින බවයි තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම සඳහා පසුගිය දා ඇමරිකාවට ගිය අවස්ථාවේ ඇමරිකානු රජයේ ප්‍රථම ලේකම්වරයා විදේශ ඇමති විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා කොට තිබෙනවා. හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීම නතර කරන්නැ යි ඔහු විජිත හේරත් මහතාගෙන් ඉල්ලා ඇති නමුත් හේරත් මහතා එය ප්‍රතික්ෂේප කළ බව ද වාර්තා වෙනවා.

මේ වන විට ජුලි චං මහත්මිය ද ඇමරිකාවට ගොස් සිටි බවත්, ඇමරිකානු රජයේ පළමු ලේකම්වරයා විජිත හේරත් මහතා හමුවී ඇත්තේ චං මහත්මියගේ මැදිහත්වීමෙන් බවත්, තානාපති ආරංචි මාර්ග පවනවා.

දිනකට තෙල් බැරල් ලක්ෂ දෙකක් නිපදවීමට හැකි ධාරිතාවකින් යුත් හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැවති 2023 වසරේ දි බවයි දැනගන්නට තිබෙන්නේ.

xxx    xxx    xxx

බිමල් ගෙන්  දෙකක් ගලවා,  දෙක ම අනුරට දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වී මාස කිහිපයකට පසු ප්‍රකාශ කළේ ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වන තෙක් ඇමති මණ්ඩලයේ සංශෝධනයක් සිදු නොකරන බවයි.

ඒ අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනය පසුගිය 10 වනදා සිදු කෙරුණේ අලුත් ඇමති තනතුරක් ද, එක් කරමින්.

මෙම කැබිනට් සංශෝධනයේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා විෂය ඉවත් කොට එය අනුර කරුණාතිලක මහතාට ලබාදී තිබෙනවා. අනුර කරුණාතිලක මහතා කලින් ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධූරයේ කටයුතු කළා. බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්වීමෙන් පසු 2024 නොවැම්බර් 18 වැනිදා පත්කරනු ලැබූකැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 22 කින් සමන්විත වුණා. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය අලුතින් ඇති කිරීමෙන් පසු දැන් කැබිනට් ඇමති ධුර ගණන 23 දක්වා වැඩි වී තිබෙනවා.

ඉකුත් වසරේ නොවැම්බර් 21 වැනිදා පත්කළ නියෝජ්‍ය ඇමතින් සංඛ්‍යාව 29 ක් වූ අතර අලුතින් නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනකු පත් කිරීමත් සමඟ එම සංඛ්‍යාව 34 දක්වා වැඩිවී තිබෙනවා.

2026 අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම උදෙසා මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළ බවයි ආණ්ඩුව සඳහන් කරන්නේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇතැ යි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා කර ඇතැ යි කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මන්ත්‍රීවරයාට විරුද්ධව විනය පියවර ගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කර ගෙනයන බව වාර්තා වෙනවා.

පසුගිය 8 වැනිදා රවි සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණේ ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට යි. 

මෙහිදී එම කාරක සභාවේ සාමාජිකයකු වූ නිෂාම් කාරියප්පර් මන්ත්‍රීවරයා, පාස්කු ඉරිදා ප්‍රහාරයේ රහස් පොලිස් පරීක්ෂණ ගැන රවි සෙනෙවිරත්න මහතාගෙන් විමසා තිබෙනවා. එයට පිළිතරු දෙමින් සෙනෙව්රත්න මහතා පවසා ඇත්තේ මේ වනවිට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනා ගෙන ඇති බවයි.

මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙස් මාලාවක්

මෙම ප්‍රකාශය කාරිප්පර මහතා ට්විටර් (X) පණිවුඩයක් මුදා හැරීමත් සමඟ දේශපාලන අංශ අතර උණුසුම් කතාබහක් ඇති වුණා.

පාර්ලිමේන්තු කාරක සභාවක දී හෙළිවන කරුණක් එම කාරක සභාවේ අනුදැනුමකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීමබරපතල වරදක් බව පාර්ලිමේන්තු ප්‍රධානීන් පවසනවා.

ආණ්ඩුවේ ඇමතිවරුන් ගණනාවක් ම පවසන්නේ මේ ප්‍රකාශය පිළිබඳව කාරියප්පර් මන්ත්‍රීවරයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව යි.

මේ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කතානායක ජගත් වික්‍රමරත්න මහතා තීරණය කොට ඇතැ යි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

   - ජගත් -