කස්තිරම
දිවයින පුවත්පත බිහි වී ඉකුත් 04 දාට හවුරුදු 44 කි. අද දවස වන විට හතළිස් හතර හවුරුද්දකුත් දවස දහතුනකි. එය සුවහසක් ශ්‍රී ලාංකේය ජන හද නෙත් සිත් ඇඳ බැඳ ගනිමින් එදා මෙන් ම අද ද ජනතාවට සිදු විය යුතු මෙහෙය ඒ අයුරින් ම ඉටු කරමින් පවතී. දිවයින එළි දැක හරියට ම හවුරුදු 2 කුත් සත් මසකුත් දවස් හයක් (06) ගෙවුණු දවසේ, අද වන විට සැට වසරක් සපුරා ඇති, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ගේ අත්සනින් යුක්තව, දිවයින මුල් කතුවර එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ මහතා වෙත, ලියුම් කරදහියක් ලියා එවන ලද්දේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීරයන් විසින්, මේ ලියුම දිවයින කතුවරයා වෙත එවන ලද්දේ ඔහුගේ නායකත්වයෙන් බිහි වූ, දේශපාලන ව්‍යාපාරයට, හවුරුදු දහ අට යි සමසකුත් දින හයක් ඉක්මෙන දවසේ ය.
ඒ ලියුම් කරදහිය ඔහුගේ වචනවලින් ම, කස්තිරමක් අල්ලා හෙළදිව වාසී සැමට, කියවන්නට, කියවා බලා හිතන්නට, හිතා කටයුතු කරන්නට මෙහි මෙසේ බහාලමු.
අද මෙරටේ රාජ්‍ය පාලනය රෝහණ විජේවීර සහෝදරයා විසින් අරඹන ලද ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා වන අනුර කුමාර දිසානායකයාණන් මෙහෙයවනු ලබන ජාතික බල බලවේගය විසින් අති බහුතර ජන බලයක් සිය අතට ගුළි කර ගෙන සිටින මොහොතේ දී බව අපි සිව් හෙළයේ දනන් වෙත සිහිපත් කරන්නෙමු.
1984 මැයි 10 වැනිදා
කොළඹදීය.
රෝහණ විජේවීර
සභාපති
ජනතා විමුක්ති පෙරමුණ.
එඩ්මන්ඩ් රණසිංහ මහතා,
ප්‍රධාන කර්තෘ
'දිවයින' කාර්යාලය,
සිරිල් සී. පෙරේරා මාවත,
කොළඹ - 13.
ප්‍රිය මහත්මයාණෙනි!
ම විසින් ජනාධිපතිතුමාට යවන්නට යෙදුන ලිපියකුත් අග්‍රවිනිශ්චයකාරතුමන්ට යවන්නට යෙදුන ලිපියේ ඇතැම් කරුනුත් ඔබ පුවත්පතේ පළකිරීම ගැන ඔබට හෘදයාංගම කෘතඥතාවය පළකිරීමට පළමුවෙන්ම මේ අවස්ථාව උපයෝගි කරගනිමි. ඇත්තෙන්ම එහිදී ඔබ දැක්වූ එඩිතරකමත්, විශේෂයෙන්ම එවැන්නන් හිඟ කාලයක, සාධාරණත්වයත් පැසසිය යුතුය. ඔබ මෙහෙයවන පුවත්පත රටේ පළවන සෙසු ජාතික යැයි කියාගන්නා පුවත්පත්වලට වෙනස් අයුරකින් ක්‍රියාකරමින් දුෂ්කර තත්වයන් යටතේ වුවත් යුක්තියත් සාධාරණත්වයත් වෙනුවෙන් හඩක් නගන බව අප විසින් තේරුම්ගෙන ඇති බව ඉතා නිහතමානීව පවසමි.
අද රට ඉතාමත් විපත්තිදායක භයානක අවස්ථාවකට මුහුණ පා ඇති බවත් ජාතිය එහි ඉතිහාසයේ දරුණුතම අර්බුදයට අවතීර්නවී ඇතිබවත් ඔබද පිලිගන්නවා ඇත. පසුගිය පෙරවාරි 5 වනදා ඔබ ලියූ කතුවැකිය අනර්ග එකකි. ඉතින් ඒ දූෂණය හා හොරකම් නිලධාරි තට්ටුවට පමණක් සීමා වූවක් ද? අද සියල්ලන්ටම වඩා දූෂණයෙත් වංචාවෙත් උල්පතවී ඇත්තේ දේශපාලන නායකත්වය නොවේද? හිල්ටන් හෝටල් රොබින්සන් හෝටල් ආයෝජන, කොමිස් ගැහිලි, ඉහලින්ම කෙරෙන හොරකම්, දූෂණ හා කොන්ත්‍රාත්දීම්, මුදල් නෝට්ටු හොරට මුද්‍රනය ආදී කී නොකී සියල්ලක්ම කියාපාන්නේ අද රට පාලනය කරන්නේ 'ඔටුනු පලන් චෞරයින්' පිරිසක් විසින් බව නොවේද?
ත්‍රස්තවාදය මැඩීමට වහසිබස් දොඩන මේ නායකත්වය සැබෑලෙසින්ම ත්‍රස්තවාදයේ නිධානය නොවේද?දේශපාලන පරමාර්ථ සඳහා ත් පුද්ගලික පරමාර්ථ සඳහත් ත්‍රස්තවාදය ඉහළින්ම උපයෝගි කරගන්නේ මොවුන් නොවේද? නිකලෝ මකියවේලිගේ අප්පොච්චිලාබවට පත්වී ඇති මේ ඔටුනු පලන් ත්‍රස්තවාදීන් ගේ ත්‍රස්තවාදී පීඩනයට මේ වනවිට ගොදුරු වී නැති ක්ෂේත්‍රය කුමක්ද? කම්කරුවන්, ශිෂ්‍යයින්, විරුද්ධ දේශපාලන පක්ෂවල නායකයින්, අධිකරණය, පුවත් පත් ආයතන ආදී සැම සියලු අංශයක්ම මේ ඔටුනු පලන් ත්‍රස්තවාදයේ රහවිඳ පුරුදුය. අද ඇත්ත කියන්නට පුලුවන්ද? නිදහසේ කතාකරන්නට පුලුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදය අද ඔටුනු පලන් ත්‍රස්තවාදයට බියෙන් සැඟවී පලාගොස් නෙවෙද?
අද ඔටුනු පලන් දාමරිකයින් අතලොස්සක් ජාතියමත සිය අඥාන ආධිපත්‍යය දිගටම පවත්වාගෙනයාම සඳහා පුද්ගලික දේශපාලන අරමුදල් පිහිටුවීමත් පුද්ගලික හමුදා ගොඩනැගීමත් කරගෙනයනු ඉතාපැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉතා දුෂ්ටලෙස ජාතිය විදේශීය වහල්භාවයට පත්කිරීමට කටයුතු කරනු පෙනෙන්නට තිබේ. අඥාන ලෙස රට දෙකඩ කිරීමේ ඉමවෙත ගෙනයනු පෙනේනට තිබේ. අද සත්‍ය වලලා බොරුව රජ කරවයි. ණුවන වලලා අඥානකම රජ කරවයි. යුක්තිය වලලා අයුක්තිය රජ කරවයි. මිනිස් අයිතීන් වලලා දාමරිකම් රජ කරවයි. මෙය දේශපාලනඥයකු වශයෙන් මගේ අත්දැකීම පමනක් නොව පුවත්පත් කලාවේදියකු වශයෙන් ඔබගේ දඅත්දැකීම බව මම දැඩිලෙස විශ්වාස කරමි.
මේ තත්වය මේ රටටත් ජාතියටත් තව කොතෙක් කල් විඳදරාගෙන සිටිනු හැකිවේද?
අපේ පක්ෂය තහනම් කර අපව අත්අඩංගුවට ගැනීමට ප්‍රසිද්ධියේ නියෝග දී ඩග්ලස් ලියනගේ මගින් (1962 රාජ්‍යවිරෝධි කුමන්ත්‍රණයේ අධිකරණයෙන් දඬුවම් ලැබු නායකයා) සන්නද්ධ හමුදාවල ප්‍රධානීන්ට 'හොර රහසේම නීතිවිරෝධීව අපව මරා දැමීමට නියෝග දී ඇත්තේ අන්කිසිවක් නිසානොව 'ඔටුනු පලන් චෞරයින්ගේ' මේ ප්‍රතිපත්තිවලට අප විරුද්ධ නිසාය.
අද ආණ්ඩුව විසින් හොර රහසේම ත්‍රස්තවාදී සංවිධානයක් පිහිටුවා ඇත. ඒ ඔටුනු පලන් අපරාධකාරයින්ගේ දේශපාලන අරමුණු ඉටුකරගනු සඳහාය. සිදුවීම් මෙලෙස සිදුවීමට ඉඩදී යුක්තිගරුක සාධාරන මිනිසුන්ට රටටත් ජාතියටත් ආදරය ඇති මිනිසුන්ට දෑස් පියාගෙන දෙකන් වසාගෙන මුවගුලුලා ගෙන දෑත් බැඳගෙන නිසොල්මනේ එලිපත්තමතට වී බලා සිටීමට නුපුළුවන. යුක්තිගරුක සාධාරන මිනිසුන් එඩිතර කටකින් යුත් මිනිසුන් එසේකලහොත් එය අද ජාතික අපරාධයක් වනු ඇත. අද අවශ්‍යව ඇත්තේ මේ දූෂණයන්ට එරෙහිව මේ දාමරික කම් වලට එරෙහිව මේ අඥානකමට එරෙහිව මේ අසාධාරණටත් අයුක්තියටත් එරෙහිය සියල්ලන්ගේ එකමුතු බවකි. ජාතිය මේ විනාශයෙන් බේරාගත හැක. එය දුෂ්කරය. ඒත් එය කලහැක. ඒ සඳහා සියලු අවංක මිනිසුන්ගේ ශක්තිය එක්රැස් කිරීම අවශ්‍ය වනුඇත.
වෙනම ඊළම් රාජ්‍යයක් ඉල්ලා උද්ඝෝෂණය කළ හා කරන දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ දේශපාලන මන්ඩලයේ හත්දෙනාගෙන් හය දෙනකුට ම තමිල්නාඩුවට යාමට ඉඩදී ඇත. දැන් ඔවුන් එහි සිට ඊලාම් කැරලිකරුවන්ගේ සංවිධාන එකමුතු කරති. ඒගමන් ම වටමේසයේ සාකච්ඡා ද කරති. කිසිදු වරදක් කරනැති අපගේ පක්ෂය තහනම්කර අපව අත්අඩංගුවට ගැනීමට එලිපිට නියෝගදී අපව මරාදැමීමට රහසින් නීතිවිරෝධී නියෝගදෙති. ඇත්ත වශයෙන්ම අද ආන්ඩුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ උපායමාර්ගයේ සිරකරුවකු බවට පත්වී ඇති බව පෙනේ. ආන්ඩුව ලවා දේශප්‍රේමී වමේ ව්‍යාපාරය මර්ධනය කරලා ඒමගින් ආන්ඩුවත් දේශප්‍රේමී වමේ ව්‍යාපාරයත් අතර ගැටුමක් ඇති කිරීමටත්, ආන්ඩුවත් ඉන්දියාන්ඩුවත් අතර ගැටුමක් ඇති බවත් ආන්ඩුවත් සමාජවාදී රටවලුත් අතර ගැටුමක් ඇති කරලීමටත් මේ සියල්ල මගින් ඊලාම් සටනට වාසිදායක තත්වයක් නිර්මානයකර ගැනීමටත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුනේ උපායමාර්ගය බව පෙනේ. ආන්ඩුව අද ක්‍රියාවට නගන්නේත් මෙයම නොවේද? වාමදේවන් වැනි උතුරට යාමට අකමැතිව අස්වූ අය යලි පොලිසියේ සේවයටපැමින ක්‍රියාත්මක වන්නේ මේ උපායමාර්ගය සඳහා නොවේද?
ඔබ සමග කීමට බොහෝ දෑ තිබේ. ඒත් මෙවැනි ලිපියක් මගින් එය කිරීම දුෂ්කරය. කෙසේවෙතත් රටත් ජාතියත් මේ අඥාන දාමරිකචෞරයින්ගෙන් බේර ගැනීම සඳහා ඔබත් අපත් සෙසු හැමෝමත් අතර පොදු එකඟත්වයක් ඇතිකර ගැනීමට ඉඩකඩ පෑදේවා යි පතමින් ඔබටත් ඔවුන්ගේ මේ එඩිතර වචනවලින් නවතිමි. "Pour Yeinen les enemie de l a patrie de landaee de landaee encore de landaee touzoure de landace"
(මව්බිමේ සතුරන් පරදා ජය ගැනීම සඳහා එඩිතර වන්න.නැවතත් සැරයක් එඩිතර වන්න. සැමවිටකම එඩිතර වන්න.)
මීට,
අවංක,
අත්සන
රෝහණ විජේවීර
සභාපති
ජනතා විමුක්ති පෙරමුණ