උණුසුම් පුවත්දේශපාලන

විදුලිය බලයේ වෘත්තීය සමිතිවලට ගැසට්ටුවකින් තහංචි පැනවේ

මෙම සේවාවන්ට බාධා කිරීම හෝ අඩාල කිරීම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් - ජනපති ගේ ගැසට් නිවේදනයෙහි දැක්වේ

විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එම වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටීම නිසා ජනපති දිසානායක මහතා උක්ත ගැසට් නියෝගය නිකුත් කර ඇත.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව දැඩි විරෝධයක් පළ කරමින් විදුලි වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටී.

 ස්වකීය සේවායතනය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය වීමට ඉඩ ඇති බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන්, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ නඩත්තුව ඇතුළු සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත්තේ ය.

ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම සේවාවන්ට බාධා කිරීම හෝ අඩාල කිරීම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවට සඳහන් ය.

 රටේ විදුලිබල සැපයුමේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ අරමුණින් උක්ත ක්‍රියාමාර්ගය ගෙන ඇත.