ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

විදෙස් රැකියා සඳහා සල්ලි ලබාගත් බවට කෙරන චෝදනාවට විධිමත් පරීක්ෂණයක් කරන්න

මනූෂ විජිතට ලියයි

ඉතා අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව පැවති වකවානුවක ජනපතිවරයා සේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ඇපකැප වී කටයුතු කළ තමාට නඟනා චෝදනා ගැන හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති මනූෂ නානායක්කාර මහතා විදෙස් කටයුතු භාර ඇමති විජිත හේරත් මහතාට ලිපියක් ලියමින් තමා කෙරෙහි එල්ල කරන අභූත චෝදනා ගැන වහා පරීක්ෂණයක් කරන්නැ යි ඉල්ලා සිටියි. 

විදෙස් ගතව හුන් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා පහත වැටීමෙන් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වූ අවස්ථාවෙක අමාත්‍යාංශයේ වගකීම භාරගත් තමා එය ඇමරිකානු ඩොලර් මිලියන පන්සීය දක්වා ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් අයුරු විජිත හේරත් ඇමතීවරයාට යවන ලද ලිපියෙන් දක්වා ඇත. 
අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කැපකිරීම මත ඒ ඉලක්කය ඉක්මවා සපුරා ගන්නට හැකි වූ බව ද එම ලිපියෙන් විජිත හේරත් මහතාට පවසන මනූෂ නානායක්කාර මහතා ඒ වන විට මෙතෙක් රටට විවර නොවී පැවති ක්ෂේත්‍ර කෙරෙහි ද යොමු වී කොරියාවේ නැව් ඉදිකිරීමේ ව්‍යාපෘතියට ද කෘෂි ක්ෂේත්‍රයට ද අපේ ශ්‍රමිකයින් යවා ගන්නට ES කාණ්ඩයේ වීෂා සහිත රැකියා සඳහා විවර කරගන්නට ගත් උත්සාහය ද පෙන්වා දෙයි. 
පිටු දෙකකින් යුත් ලිපියක් ඇමති හේරත් මහතාට යොමු කරන නානායක්කාර හිටපු ඇමතිවරයා මෙහිලා කිසිවකුගෙන් කිසිදු මුදලක් ලබා නොගත්තත් උක්ත චෝදනාව තමන්ට දිගින් දිගට ම එල්ල කරනු ලබන හෙයින් එය ස්වකීය දේශපාලන ජීවිතයට මෙන් ම පෞද්ගලික ජීවිතයට ද කැලලක් බවත් කියයි. 
මේ සඳහා යම් යම් උදවිය මුදල් ලබාගෙන ඇත්නම් එය බරපතල වරදක් බව කියනා ඔහු එසේ මුදල් ලබාගත් පිරිස් ඇත්නම් ඔවුන්ට නිසි දඬුවම් දෙන්නට ඇවැසි නීතිමය පියවර ගන්නා සේ ද කියයි. 
මෙහි දැක්වෙන්නේ මනූෂ නානායක්කර මහතා විදෙස් කටයුතු ඇමති විජිත හේරත් මහතාට යවන ලද පිටු දෙකකින් යුත් ලිපියයි.