අනුනායක ස්වාමීන්වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ලැබේවා!
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක ස්වාමීන්වහන්සේගේ අපවත් වීම වෙනුවෙන් ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් නිකුත් කරන ශෝක නිවේදනය.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල ධම්මදස්‍යාභිධාන නාහිමිපාණන්වහන්සේගේ අපවත්වීම අසා මා දැඩි සේ සංවේගයට පත්වූවෙමි.
තම දිවිගමනේ 18 වසර සම්පූර්ණ වීමට ආසන්න වීමත් සමඟම සම්බුදු සසුනේ පැවිදිව අරහත් ධජය දරමින් 39 වසරකට අධික කාලයක් මුළුල්ලේ තම පැවිදි ජීවිතය අර්ථසම්පන්නව කැපකළ අතර, කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක නායකත්වය උසුලමින් ද දහම් පාසල් අධ්‍යාපනය පෝෂණය කරමින් ද අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිචාර්ය ධූරය උසුලමින් ද සම්බුදු සසුනේ අභිවෘද්ධියට මෙන්ම සුවහසක් ගිහිපැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට කටයුතු කිරීම මේ මොහෝතේ ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි.
එමෙන්ම ශ්‍රී ලංකාදිපය පුරා පොදු ජනතාව සුමගට යොමු කරමින් ජාතික ආගමි සහ ශාසනික අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී නායකත්වයක් සලසන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරය දරමින් දශකයකට ආසන්න කාලයක් සිදුකරන්නට යෙදුනා වූ සේවාව අනභිබවනීයයි.
අනුබුදු මිහිදු මාහිමි ආගමනයෙන් බෞද්ධ රාජ්‍යයක් බවට පත් ලක් බුදු සසුනඹර යුග යුග එකළු කළ මහතෙර මිණිතරු පහන් වැටට එක්වූ නවමු තරු පහනක්ව දිදුලමින් සිය දැනුමෙන් සුවහසක් ගිහි පැවිදි නෙත් පහන් දැල්වූ අප අනුනායක ස්වාමීන්වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.