උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

විපක්ෂ නායකවරයා මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලයට යයි

මියන්මාර - තායිලන්ත ඛේදවාචක ගැන සොව පළ කරයි

මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපළ සහ ජීවිත හානි රැසක් සිදුවිය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලයට ගියේ ය.

එහි දී මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපති ප්‍රමුඛ දූත පිරිස හමුවී සිය ශෝකය පළ කළ අතර රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද පැවසීය

සැබෑ බෞද්ධයන් ලෙස මේ අවස්ථාවේ මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් අපේ යුතුකම අපි ඉටු කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මියන්මාර් රටේ සිදුවූ දැවැන්ත භූමි කම්පාව හරහා දහස් ගණනකගේ ජීවිත අහිමි වි ඇති බවත් ශ්‍රී ලංකාවත් අප රටේ ජනතාවත් මේ ඛේදවාචකය ගැන දැඩි ලෙස කම්පා වන බවට අද දින මියන්මාර තානාපතිනිය හමුවී තමා පැවසූ බවත් මෙම විපතට පත් ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් ඉහළින්ම කරන බවට පොරොන්දු වු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මියන්මාරයේ සහ තායිලන්තයේ සිදුවු ඛේදවාචකය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කිරීමට අද මෙරට තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණ තානාපතිනිය හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අප රටේ සම්බුද්ධ ශාසනය, බෞද්ධ ශිෂ්ඨාචාරය සමග සමීප සම්බන්ධතාවක් මියන්මාරයට ඇති නිසා  වගකිවයුතු බෞද්ධයන් ලෙස ආගමට දහමට අනුව විපතට පත් ජනතාවට යම් සහනයක් මෙන්ම ඒ අයට කළ හැකි උපරිම උදව් උපකාර ඉටු කරන බවත් ධනවත් රටවල් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද මේ මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි ඉහළම සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.