උණුසුම් පුවත්

විපක්ෂ නායක ගේ මැයි දින පණිවිඩය

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනතාවාදී රජයක් ගොඩ නැගීම වෙනුවෙන් පෙළ ගැසෙමු.

වසර කිහිපයක සිට අපේ රටේ සමස්ත ජනතාව මැයි දිනය සමරමින් සිටින්නේ අතිශය බරපතළ ඛේදවාචකයන් රැසකට මුහුණ දෙමිනි. මෙවර මැයි දිනය ද අපේ රටේ ප්‍රමුඛ සමස්ත ජනතාව සමරන්නේ ඒ බිහිසුණු ඛේදවාචකයේ ම වෙනසක් නැතිව ය. ඊනියා රැල්ලක් විසින් අපරිණත ජනාධිපතිවරයකු පත් කොට රට බංකොලොත් බව වෙත තල්ලු කර ගෙන යාමට සැලැස් වූ අතර එහි ඉතිරි කොටස ජනබලය අහිමි සෙවනැලි ආණ්ඩුවක් විසින් සිදුකරමින් සිටී. එවන් තත්ත්වයක් තුළ මෙවර මැයි දිනය පවත්වන මොහොතේ පවා අප රටේ වැඩ කරන ජනතාව දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් හමුවේ පවතින ජීවන වියදමට කිසිසේත්ම නොගැලපෙන, වැටුපකින් වැඩ කරන ජනතාවට අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුව තිබේ. එවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී සුපිරි ධනපතියන්, ගජමිතුරන් මඟහැර වැඩ කරන ජනතාවගේ අරමුදල්වලට සිදු කළ බලපෑම මෙතෙකැයි කියා නිමකළ නොහැක.
එසේ ම රටේ ආර්ථික එන්ජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනින් වැසී ගොස් ඇති අතර ඒ නිසා විරැකියාව ද දිනෙන් දින ඉහළ යමින් පවතියි. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන නායකයන් පවා නිහඬ මුනිවතක් රකින මේ මොහොතේ රටේ විකල්ප ආණ්ඩුව වන අප නිරන්තරයෙන් වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නඟමින් සිටියි.
මේ බිහිසුණු තත්ත්වයට ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන බව අප එදා සිට ම නිරන්තරයෙන් අනතුරු හැඟවූ අතර ඒ සියල්ල අද වන විට යථාර්ථයක් බවට පත්ව තිබේ.මේ වන විට අප මැතිවරණ වසරකට පැමිණ ඇත.මෙවරද ඊනියා රැලිවලට නොරැවටී මේ රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අප සතුය.
ඒ අනුව මේ වසරේ අප සියලු දෙනාම එකතු වී ජනතාව පීඩාවට පත් කරන මේ දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනහිතකාමී, ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් සහ නායකයෙක් පත් කර රටක් ලෙස නැවතත් නැගී සිටීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු දෙනාම රට වෙනුවෙන් එකට එක්වන ලෙස ඉල්ලා සිටිමු. වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරාම සුරැකීමට එක් වෙමු.
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක
අංක 30, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 7