උණුසුම් පුවත්

විප්ලවවාදිනුත් ධීවර ඇමතිකම් කළත් මහමුහුදෙන් හරිහැටි ප්‍රයෝජන ගත්තෙ නෑ

අපි ලංකාවෙන් ම අංක 1 - සජිත්

මේ වන විට රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100 කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පළමුවත් මව් රට දෙවනුවත් මව් රට තුන්වනුවත් මව් රට කියනවා සේම මෙන්ම පළමුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් දෙවැනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ තුන්වැනුවත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් මේ ආකාරයෙන් උගත් බුද්ධිමත් ජන පරපුරක් බිහි වනවා යනු ජාතික ආරක්ෂාව පවා තහවුරු වීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 152 වැනි අදියර යටතේ අද පුත්තලම හලාවත සෙන් සෙබෙස්තියන් නවෝද්‍යා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේදී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

විප්ලවවාදීනුත් ධීවර ඇමතිකම් කළත් සාගරයෙන් හරිහැටි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ

මේ දිනවල කයිවාරු ගහන විප්ලවවාදින් පවා ධිවර ඇමතිකම් කළත් මේ අනන්‍ය මුහුදු සීමාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත් බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම සයුරු සම්පත ඒකාබද්ධ ව්‍යාපෘති හරහා අප රටේ අයිතියත් තියා ගෙන ලබා ගත හැකි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ලංකාවෙන්ම අංක 1

ලංකාවෙන්ම අංක 1 කියන්න වෙන කාටවත් බැරි වුණත් සමගි ජන බලවේගයට ලංකාවෙන්ම අංක 1 කියන්න හැකියාවක් පවතින බවත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂයක් මෙවැනි වැඩකොටසක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බවත් මේ සඳහා සහයෝගය ලබා දෙන විශාල පිරිසක් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 152 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1555 ක් වැය කර තිබේ.