උණුසුම් පුවත්දේශපාලන

විවිධ ප්‍රකාශ කර විපක්ෂය අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කරනවා ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

හිටපු ජනාධිපති - රනිල් වික්‍රමසිංහ මැතිතුමා ධුරය දැරූ කාලය තුළ විදේශ සංචාර 23 ක් කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ සංචාර අතරින් කියුබාවට සහ එක්සත් ජනපදයට ගොස් ආපසු එන අතර, එතුමාගේ භාර්යාවගේ උපාධි ප්‍රදානෝත්සවයකට රජයේ මුදල් වැයකර ලන්ඩනයට ගොස් නැවතී සිටීමක් සම්බන්ධයෙන් නඩු නිමිත්තක් තිබෙනවා. අධිකරණයට වාර්තා කර තිබෙන කරුණු අනුව ස්ටර්ලින් පවුම් 44,000 කට වැඩි මුදලක් එම ගමන වෙනුවෙන් වැය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබෙන්නේ දණ්ඩනීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේයි. මේ අධිකරණ ක්‍රියාදාමය ගැන අද (24 දා) උදේ මාධ්‍ය හමුවක් පැවැත්වූ විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට නොගත යුතුව තිබූ බවයි. එතුමා ඉදිරිපත් කරන්නේ නීතිමය තර්කයක්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ, රාජ්‍යය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකියි යන පදනමෙනුයි. ඒක රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බලපවත්වන නීතියක්. රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීමේ වගකීමක් රාජ්‍යයට තිබෙන නිසයි වාහන අනතුරකින් ලයිට් කණුවක් කඩාගෙන වැටුණත් තරාතිරම නොබලා වන්දි අය කරන්නේ.

නමුත් මෙතනදී විපක්ෂය දිගටම අධිකරණයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්කරන්නේ අධිකරණයට අපහාසයක් සිදුකරනා ආකාරයෙන්. පොදු දේපළ පනත යටතට ගැනෙන්නේ රුපියල් 25,000 ට වැඩි මූල්‍යමය අලාභයක් රජයට සිදුකිරීම සම්බන්ධ චෝදනා. මේ යටතේ අත්අඩංගුවට ගත් කෙනෙකු සුවිශේෂී කරුණු නැත්නම් ඇප ලබා නොදී, නඩු කටයුත්ත අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සිදු කළ හැකියි. මෙතැන නඩු නිමිත්ත වී තිබෙන්නේ පවුම් 44,000 කට වැඩි, ලංකාවේ රුපියල්වලින් එක්කෝටිහැටඅට ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන්. නමුත් විපක්ෂය ජනගත කරන්න උත්සාහ කරන්නේ අධිකරණය දේශපාලනීය කරණයට ලක්කර තිබෙන බව සහ මේ මූල්‍ය අපරාධය අපරාධයක් නොවේය කියන කාරණය. පසුගිය කාලයේ එක පිරිසකට නීතිය ක්‍රියාත්මක කර, තවත් ස්ථරයකට නීතිය ක්‍රියාත්මක කළේම නැහැ. පොදුවේ ප්‍රකාශ කෙරුණේ, නීතිය කියන මකුළු දැලේ පොඩි සත්තු පැටලුණත් ලොකු සත්තු ඒක කඩාගෙන යන බවයි. අද වෙනකොට ඒ තත්වය වෙනස් කර, සෑම කෙනෙකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරනවා. විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයෙකුට නිල හෝ පුද්ගලික බෙදීමක් ජීවිතයේ නැති බවයි. මේ ඉදිරිපත් කරන්නේ විත්තියේ තර්කයක් මිස, අධිකරණයේ තර්කයක් නොවෙයි. ජනාධිපතිවරයා මුදල් වියදම් කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන නීතියේ කිසිම සඳහනක් නැහැ. පොදු දේපළ පනතේ ජනාධිපතිවරයාට, ඇමතිවරුන්ට හෝ සිවිල් ජනතාවට ක්‍රියාත්මක කෙරෙන ආකාරය වෙන වෙනම දක්වා නැහැ.

විපක්ෂය කරන්නේ විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු තර්කයක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමයි. එය අධිකරණය හමුවේ කළ යුතු දෙයක්. ලංකාවේ පවතින නීතිය, විමර්ශන ක්‍රියාවලිය සහ නීතිය ක්‍රියාත්මක කිරීම යන කරුණුවලදී අත්අඩංගුවට ගැනීමට නිමිත්තක් තිබෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ ඇප මත නිදහස් කිරීමේ හැකියාව තිබෙනවා. මේ ක්‍රියාමාර්ග දියත් කර තිබෙන්නේ, මෙන්න මේ නීති රාමුව යටතේයි. අධිකරණයෙන් පිට විවිධ ප්‍රකාශ කරමින් විපක්ෂය සිදුකරන්නේ අධිකරණ ක්‍රියාවලියට විශාල බලපෑමක් සිදුකිරීමයි. ඒ බලපෑම රටේ සමාජ දේහයටම ඇතුල් වී අධිකරණය සම්බන්ධයෙන් පොදු ජනතාවට අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඔවුන් කරන ප්‍රකාශ තුළ අධිකරණයට අපහාස කිරීමේ ගුණාංග සියල්ලම තිබෙනවා. 2023 දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකරන්න වෙනම නීතියක් සම්මත කරගෙන තිබෙනවා. නිශ්චිත කාරණයට නිසි ආකාරයෙන් මුහුණ නොදී දේශපාලන අවශ්‍යතාවයක් මත විපක්ෂය ක්‍රියාකිරීම ඉතාම බරපතළයි. විපක්ෂය අද මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කළ තර්ක අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කර නැහැ. නමුත් එසේ නොකර, සමාජය ඉදිරියේ අධිකරණය හෑල්ලුවට ලක්කරන එක ඉතා බරපතළ තත්වයක්. මේ ආණ්ඩුව බලයට පත් වුණේ වංචා, දූෂණ සියල්ල නතර කර, එම වැරදි කළ අය අධිකරණය ඉදිරියට පමුණුවා යුක්තිය ඉෂ්ට කරනවා යන පොරොන්දුවට මහජන අනුමැතියක් ලබා ගැනීමෙනුයි. ඒ ගමන පටන් ගත් පසුව විපක්ෂය අධිකරණයට එරෙහි මතවාදයක් ගොඩනඟන්න උත්සාහ කරන්නේ ඊට බාධා කරන්නයි. ජනතාව සියලු දෙනාම මේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

කුමරප්පෙරුම මහතා මෙකී අදහස් පළ කළේ අද කො ළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය. ය එය ජාතික ජන බලවේගයේ නීතිඥයෝ  නම් සංවිධානය විසින් පවත්වනු ලැබිණි.  

මෙහිදී එම සංවිධානයට සම්බන්ධ

නීතිඥ අකලංක උක්වත්ත, නීතිඥ හේමක සේනානායක හා නීතිඥ ජයන්ත දෙහිඅංගගේ යන මහත්වරු ද කරුණු දැක්වූහ.