උණුසුම් පුවත්කාලීනතාක්ෂණයදේශපාලන

විශ්වාසභංගය පැරදුණාට ගල් අඟුරු වංචාව ඇත්ත දැන් හෙළිවෙමින් පවතිනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමයේ දී ජනතාව දැනුවත් කරමින් කියයි

ගල් අඟුරු වංචාවට විරුද්ධව බාල ගල් අඟුරු ගෙන්වූ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුවත් මේ මොහොත වන විට දවසින් දවන ගල් අඟුරු වංචාව ගැන සත්‍ය තොරතුරු යථාර්ථය සැබෑ තත්ත්වයන් රටට හෙළිදරව් වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

ගල් අඟුරු කෙතරම් බාල වූවාද කියනවා නම් අප රටට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුව ඇති බවත් ගල් අඟුරු ටෙන්ඩරය ලබා දුන් බාල සමාගමට අදාළ නැව් ප්‍රමාණය ද ලබා දීමට අපොහොසත් වීම නිසා හදිසි මිල දී ගැනීමට පවා යොමුවීමට සිදුවූ බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව හදිසි මිලදී ගැනීමට පවා තෝරාගත් පාර්ශ්වයට පවා නිසි ප්‍රමිතියට ගල් අඟුරු සැපයීමේ හැකියාව නොමැති බවට අනාවරණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාමය නැදිගම්විල විල්පිට රජ මහා විහාරය, යටාලතිස්ස රජ  මහා විහාරය සහ ආසනගල ශ්‍රී අභිනවාරාමය රන්මිනිතැන්න රජමහා විහාරයේ වැඩවසන ස්වාමින් වහන්සේලා මුණ ගැසී ආශිර්වාද ලබා ගෙන පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මේ හදිසි මිලදී ගැනීමට සම්බන්ධ කරුණු රැසක් හෙළිදරව් වන බවත් මේ තත්ත්වය ඇති වූයේ රජය ගල් අඟුරු සැපයීමේ වගකීම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සපයන ආයතනයකට අදාළ ටෙන්ඩරය ලබා දීම බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සුදුසුකම් ලිහිල් කිරීම සිදු කර මේ ආයතනයට ටෙන්ඩරය ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

අපි සැබෑ යථාර්ථය රටට අනාවරණය කළා

ගල් අඟුරු සපයන කාටල් එකක් ඇති බවත් එය විනාශ කිරීමේ අරමුණින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කොන්දේසි ලිහිල් කර බවට ජනාධිපතිවරයා පැවසුවත් අවසානයේ ට්‍රයිඩන් චෙම්පා නම් ආයතනය සැපයූ ගල් අඟුරු බහුතරයක් ප්‍රමිතියෙන් තොර බවට බලාගාරයේ වාර්තාවලින් පවා ඔප්පු වී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්වය මේ ගල් අඟුරු හොඳ බවට පැවසුවත් සමගි ජන බලවේගය සැබැ යථාර්ථය පෙන්වා දීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගල් අඟුරු වංචාව ගැන විනිවිදභාවයෙන් හා අපක්ෂපාතීත්වයෙන් යුත් පරීක්ෂණයක් අවශ්‍යයි

මෙහි දූෂණයක් වංචාවක් හොරකම් සිදුව ඇති බවත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ලබා දෙනවා සේම නියමිත කාලයට පෙර ගල් අඟුරු ලබා දීමට පවා නොහැකි වී ඇති බවත් හදිසි මිලදී ගැනීමේ පවා ගැටලු රැසක් ඇති බවත් මේ හදිසි මිලදී ගැනීම තුළත් බරපතල අඩුපාඩු රැසක් ඇති බවත් මෙයත් වංචනික දූෂිත ක්‍රියාවක් බැවින් පැහැදිලි පරික්ෂණයක් අවශ්‍ය බවත් විනිවිදභාවයෙන් යුක්ත පිරිසුදු පරික්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

ඉදිරි ප්‍රසම්පාදන ක්‍රියාවලි ජනතාවට විවෘත විය යුතුයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විශ්වාසභංග යෝජනාව පැරදුණත් මේ දූෂිත ගල් අඟුරු වංචාව ගැන දැන් තොරතුරු අනාවරණය වන බවත් ඉදිරි ප්‍රසම්පාදන පවා රහසිගත නොවී විවෘත විය යුතු බවත් ජනතාවට මේ ගැන අවබෝධයක් තිබිය යුතු බවත් ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති බවත් සෑම ක්ෂේත්‍රයකම ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිද විය යුතු නව යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.