උණුසුම් පුවත්කාලීනදේශපාලන

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අභියෝගයකට ලක්වෙලා – මෛත්‍රීපාල කියයි

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය පරදමු මැයෙන් පැවති මාධ්‍ය හමුවේ දී

''රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් සිර භාරයට ගත්තයි කියන එක, දේශපාලනඥයෙක් රිමාන්ඩ් එකේවත් හිටියෙ නැත්තං  ඒ දේශපාලන චරිතය, ප්‍රධාන වශයෙන් ම අංග සම්පූර්ණ වෙන්නෙ නෑ.  කෙසේ වෙතත් මේ ඇතිවෙලා තියෙන තත්වය ඉතාමත් කණගාටුදායක යි. රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂත් මේ නීතිඥවරුත් හා ජනතාවත් අපට කරන්න පුළුවන් උපරිම කැපවීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන බව විශේෂයෙන් ම සඳහන් කරනවා" යි හිටපු ජනාධිපති ෙමෙත්‍රපාල සිරිසේන මහතා අද මාධ්‍ය අමතමින් සඳහන් කළේ ය.

දේශපාලන පක්ෂ නායකයින්, හිටපු අමාත්‍යවරුන් සහ පාක්ෂිකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනය සමඟ ගමන් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙමෙන් කෙමෙන් වියැකී යන ස්වභාවයක් දක්නට ලැබෙන බව  පේනවා.  අද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇතිවෙලා තිබෙනවා. දේශපාලනය දන්න අයට. ඒ මොකද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් මැකී යන ආකාරයක් අපිට දකින්න පුළුවන්," යැයි සිරිසේන මහතා වැඩිදුරටත් පැවසී ය.

"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මගේ දැඩි කණගාටුව, ඒ වගේම ඒ පිළිබඳව අපේ සිත්වල ඇතිවෙලා තිබෙන වේදනාව ප්‍රකාශ කරනවා," හිටපු ජනාධිපතිවරයා සඳහන්  කෙළේ ය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බවත්, විශේෂයෙන් තමන්ගේ පාලන සමයේ ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය තවදුරටත් තහවුරු වූ බවත් ඔහු කීවේ ය.

''වත්මන් තත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගෑමක්. රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම සියලු පුරවැසියන්ගේ, මාධ්‍ය ආයතනවල, ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය සේවකයින්ගේ යුතුකමක් හා වගකීමක් ඊට එරෙහිව නැඟී සිටීම" යැ යි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවධාරණය කළේ ය.