ඉදිරි දසක කීපය තුළ ආයෝජනවල ප්‍රතිලාභ සියලු දෙනාට නිසැකව හිමි වෙනවා.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියා මාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතු වී තිබෙනවා.
කැපවීම්වලට වඩා ක්‍රියා මාර්ග අවම මට්ටමක පැවතීම කනගාටුවට කරුණක්.
ජනපති ස්විට්ස්ටර්ලන්ත හරිත තාක්ෂණ සංසදය අමතමින් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ආයේජනය සඳහා සුදුසු ම කාලය මෙය වන බවත් ඉදිරි දසක කීපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන් ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.
ඒ සඳහා ඉදිරිපත් වන ආයෝජකයින්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් ප්‍රකාශ කළේ ස්විට්ෂර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති ''හරිත තාක්ෂණ සංසදය (Green Tech Forum) අමතමිනි.
''බලශක්තියෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම" තේමාව යටතේ සිය දේශනය සිදු කළ ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන් ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇති කිරීමට පසුග්ය දෙවසර තුළ රජය ගත් පියවර පිළිබඳව ද හෙතෙම අනාවරණය කළේ ය.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති COP28 සමුළුවට ඉදිරිපත් කළ "නිවර්තණ කලාපීය මුලපිරීම"ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැන ද පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකාවට සිය තිරසර හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් ඇති බවත් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්වය ළඟාකර ගැනීම සඳහා ලංකාව කැපවී සිටින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර බලශක්ති සුරක්ෂිතභාවය කරා යන ගමනේ අත්‍යාවශ්‍ය පියවරක් බවත් වික්‍රමසිංහ මහතා පැවසී ය.