පැතුම් නිශ්ශංක නොදැවී ශතකයක් වාර්තා කරයි
ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින්, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අපරාජිතව සුපිරි 8 (Super 8) වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සමත් කම් පෑවේ ය.
ඒ ලකුණු 182 ක ඉලක්කයක් හඹා යමින් කඩුලු 8 ක් අතැතිව ලකුණු 184 ක් ලබමිනි. පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරු සේ ශතකයක් වාර්තා කරමින් කළ අනගි මෙහෙය නරඹන්නන්ට ගෙන දුන්නේ මහත් ආහ්ලාදයකි. .
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ඕස්ට්රේලිවට අවස්ථාව දුන් අතර ඔවුන් ගේ කඩුලු සියල්ල පන්දුවාර 20 අවසානයේ ලකුණු 181 කට සීමා කරමින් පිටියට පිවිස, පන්දු වාර 18 ක දී දෙකඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ ය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 52 ක ශතකයක් වාර්තා කරන ලද්දේ හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් තම නම ඉදිරියේ සටහන් කරමිනි. ලකුණු 100 ඔහු වාර්තා කරන ලද්දේ නොදැවී ය.
දැනට පවතින ප්‍රසාද ලකුණු සටහනට අනුව ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 3 ම ජයගෙන ප්‍රසාද ලකුණු 6 ක් සහ +2.462 ක ඉහළ ශුද්ධ ලකුණු වේගයක් (NRR) සහිතව ප්‍රමුඛස්ථානයේ පසුවෙයි.
ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ තරග 3 න් එක් තරගයක් පමණක් ජයගෙන ඇත. ඔවුන් ප්‍රසාද ලකුණු 2 ක් ලබා 3 වැනි ස්ථානයේ පසුවන්නේ ය .
ඕස්ට්‍රේලියාව සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් මුහුණ දෙන මීළඟ තරගය අනිවාර්යයෙන්ම විශාල ලකුණු පරතරයකින් ජය ගත යුතු වේ.
මේ වන විට දෙවන ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායම යි. ඔවුන් හිමිකර ගෙනැති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 කි. ඔවුන් මීළඟ මුහුණ දෙන තරග දෙක ම ජයගත යුතු වේ. ඒ අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගවලිනි.
