ඉංජිනේරු බලකායේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමට හමුදාධිපතිවරයාගෙන් රුපියල් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් පවත්වනු ලැබූ ‘ඉංජිනේරු බලකා වර්ණ ප්‍රධානෝත්සවය - 2024, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පවත්වන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ (ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ) මහතා සහභාගී විය. මෙම උත්සවය පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ ඉංජිනේරු බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමයි.
2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ජාත්‍යන්තර, ජාතික, ආරක්ෂක සේවා, අන්තර් රෙජිමේන්තු සහ මලල ක්‍රීඩා ඉසව්වලදී, ක්‍රීඩා ඉසව් 24 ක් නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ ඉංජිනේරු බළ කායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107 දෙනෙකු වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ සමස්ත ජාතියටම කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් ඔවුන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් මෙම උත්සවයේදී වර්ණ ප්රදානය කරන ලදී.
උත්සව අවස්ථාවට සැපැමිණි යුද්ධ හමුදාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන (ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ) සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ජෙනරල් එන්.යූ.එම්.එම්.ඩබ්ලිව් සේනානායක (ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී- විශ්‍රාමික) සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.
උත්සව කටයුතු ආරම්භ කරමින් රෙජිමේන්තු ගීතය ගායනා කර රෙජිමේන්තුවේ අභිමානවත් ඉතිහාසය සහ මේ දක්වා පැමිණි ගමන් මඟ දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම හා වර්ණ ප්රදානය කිරීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කෙරිණි. අනතුරුව, උත්සවය පැවැත්වීමේ අරමුණ සහ පිළිගැනීමේ කතාව බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ (ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී) විසින් සිදුකරන ලදී.
එච්. එල්. වී. එම්. ලියනගේ ලුතිනන් ජෙනරාල් යුද්ධ හමුදාධිපතිවරයා, ඉංජිනේරු බලකායේ බලකාධිපතිවරයා සහ එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත වර්ණ ප්‍රධානය කිරීමට එක් වූහ.
යුද්ධ හමුදාධිපතිවරයා විසින් මෙම අවස්ථාවේදී, ඉංජිනේරු බලකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් දිරි ගැන්වීමේ අරමුණින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් ඉංජිනේරු බලකායේ බලකාධිපති වෙත ලබාදෙනු ලැබී ය.

