ආර්ථිකඋණුසුම් පුවත්

ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ මානව සම්පතේ විභවය ඉතාම ඉහළ නිසයි

එක්සත් ජනපද හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උළෙලේ දී කියයි

මම අද මෙතන ඉන්නේ අපේ රටේ මිනිසුන් නිසයි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔබගේ බදු මුදලෙන් මම ඉගෙන ගත්තා. ඔබේ බදු මුදල් නාස්ති කළේ නැහැ කියලා මම හිතනවා. ඔබ දුන් සවියත්, මගේ උත්සාහයත් තව බෙහෝ දේවලුත්  එකතු කරගෙන ලෝකයේ තිබෙන විශාලම වෛද්‍ය පර්යේෂණ ආයතනය දක්වා දීර්ඝ ගමනක් මම ගියා. ඒ ගමනේදී ඉගෙන ගත් බොහෝ දේවල් සහ දැනුම රැගෙන ඔබ එදා මා වෙනුවෙන් කළ ආයෝජනයට ප්‍රතිලාභ ලබා දෙන්න

මේ ලෙස ඔබ හමුවට පැමිණ සිටිනවා. මගේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ අපේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නයි. අද ඔබට ලබාදෙන ප්‍රතිපත්තිය හොඳින් කියවා ඔබේ අදහස් ලබාදීම රටට ඉතාම වැදගත්. අපේ ප්‍රතිපත්තිය තුළ තිබෙන්නේ විද්‍යා හා තාක්ෂණ දැනුම උකහා ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම, එහි අධීක්ෂණය, නියාමනය හා පරිපාලනය. මේක ඒ පිළිබඳ ලියවිල්ලක්.

විද්‍යා හා තාක්ෂණය පිළිබඳව නිතරම ගැටගැසී තිබෙන වචන දෙකක් වන්නේ පර්යේෂණය හා සංවර්ධනය යන්නයි. පර්යේෂණ හා සංවර්ධනය කියන්නෙ මොකක්ද? සරලව කීවොත් නිර්මාණශීලී ක්‍රමවේදයකට අනුව දැනුම වර්ධනය කර ගනිමින් ඒ දැනුම යොදවා තව නිෂ්පාදන හා සේවාවන් තවත් විදිහකින් කියනවා නම් අගය එකතු කළ භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීමයි. අපිට තිබෙන අදහස් පර්යේෂණයකට ලක්කර, මූලික නිෂ්පාදනයක් සිදුකර, සන්නාම අගයක් දක්වා වර්ධනය කළ වෙළඳපොළට නිකුත් කිරීමයි. මේ ක්‍රියාවලිය වෙනුවෙන් පර්යේෂණය සහ සංවර්ධනය ඉතාම වැදගත්. නිදර්ශනයක් ගන්නවා නම්, තේ කොළ නිෂ්පාදනයේදී තේ දළු නෙළා ගෙන, වේලා, කුඩුකර, වතුරත් එක්ක එකතු කර පානය කිරීම සිදුකරනවා. නමුත් මේ තේ විවිධ රසය, විවිධ සුවඳ, විවිධ වර්ණ දක්වා විකාශනය කිරීම අගය එකතු කළ භාණ්ඩ ලෙස හඳුන්වනවා. අගය එකතු කළ සේවාවන් සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය නිදර්ශනයක් ලෙස ගනිමු. සංචාරක මග පෙන්වන්නෙක් අදාළ ස්ථාන සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කර, ඉතිහාසය හොඳින් දැනගෙන, සංචාරකයන් වෙනුවෙන් නිර්මාණශීලීව, ආකර්ෂණීය ලෙස එම ස්ථාන පිළිබඳව කරුණු විස්තර කර දීම අගය එකතු කළ සේවාවක්. ඇමෙරිකානු  රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.5% ක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කරනවා. රටේ අනාගතයට අදාළ පර්යේෂණ මොනවාද යන්න හඳුනාගෙන ඒ වෙනුවෙන් මුදල් වෙන්කර පර්යේෂණ ආයතනවලට මුදල් ලබාදී සාර්ථක පර්යේෂණ ප්‍රතිඵල, නිෂ්පාදන අංශවලට වෙන්කර, අවසානයේ ජනතාවට ලබාදෙනවා. ලෝකයේ දියුණු වූ හැම රටක්ම දියුණු වී තිබෙන්නේ මෙම ක්‍රියාවලිය තුළ ගමන් කිරීමෙනුයි.

ශ්‍රී ලංකාවට ආවොත් රට පුරාම විහිදුණු පර්යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ පර්යේෂණ ආයතනවල සේවය කරන ඔබ, ඇමෙරිකාවට දෙවැනි නැහැ. අපි ඊටත් වඩා උසස්. ඒ නිසයි මා වැනි අය ඒ තැන්වලට ඇතුල් කරගෙන සිටින්නේ. නමුත් ඇමෙරිකාව දියුණු වෙද්දී අපි එසේ නොවූයේ ඇයි? අපේ රටේ තැනින් තැන පර්යේෂණ සිදුකර, නිෂ්ක්‍රීයව පවතිනවා මිස අවසන් ඉලක්ක වෙත ගෙන යන්නේ නැහැ. තවත් ලෙසකින් කියනවා නම්, මේ පර්යේෂණ ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගෙන නැහැ. දියුණු රටවල් පර්යේෂණ සඳහා ජාතික ආදායමෙන් 3% - 5% අතර ප්‍රමාණයක් වෙන්කර තිබුණත් අපි වෙන්කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% ක්, වැනි ප්‍රමාණයක්. අපේ රට ස්වභාවික සම්පත්වලින් පිරුණු මුහුද, ගොඩබිම, නිවර්තන කාලගුණය, රට පුරා පැතිරුණු හිරු එළිය, සුළං බලය, වැනි ස්වභාවික සම්පත් ජාලය පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. යම්කිසි භාණ්ඩයක් මුලසිට අවසානය දක්වා කෘත්‍රිමව නිෂ්පාදනය කිරීමට වඩා ස්වභාවික සම්පත් ඇසුරෙන් නිෂ්පාදනය කිරීමට යන වියදම ඉතා අඩුයි. තව විදිහකට කියනවා නම්, අඩු වියදමකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකියි. ලංකාවේ මානව සම්පත තුළ පවතින විභවය ඉතාම ඉහළයි. ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ ඒ නිසයි. විදේශගත වූවන් පමණක් නොවෙයි, අපි දන්නා ප්‍රදේශවල සිටින අය පවා අලුත් නිෂ්පාදන කොපමණ කරනවාද?

වර්තමානයේ යොදාගත හැකි අතීත උරුමයන් රැසක් තිබෙනවා. අතීතයේ කළ ඉදිකිරීම්, එම තාක්ෂණික දැනුම, නිසි පරිදි සොයා ගත හොත් අදටත් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. පර්යේෂණ සහ සංවර්ධන කටයුතු අවශ්‍ය වන්නේ එම තාක්ෂණය සොයා ගන්න. මේ වන විට පවතින වකුගඩු රෝගය, ඩෙංගු රෝගය වැනි රෝගාබාධ වගේම ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලටත් පර්යේෂණ හා සංවර්ධන තුළින් පිළිතුරු සෙවිය හැකියි. මේ වන විට ඇති වී තිබෙන වන සත්ව උවදුර පාලනයටත් මෙය ඉතාමත්ම  වැදගත්. අපගේ දැක්ම වී තිබෙන්නේ නවෝත්පාදන සහ නව සොයා ගැනීම් තුළින් පර්යේෂණ සහ සංවර්ධන නිවැරදි දිශාවකට යොමු කිරීමයි. එහිදී ආර්ථික සංවර්ධනය, මානව සහ සමාජීය සංවර්ධනය, පරිසර දියුණුව සහ පරිසර ආරක්ෂාව මෙන්ම පාරිසරික ගැටලු විසඳීම, පර්යේෂණ සහ සංවර්ධන යොදා ගැනීම අපේ මූලික දැක්මයි. සරලව කියන්නේ නම් අපේ ජීවිතවලට සම්බන්ධ වී තිබෙන සියලුම ගැටලු විසඳා ගැනීමයි. ඒ වෙනුවෙන් රජයට පැවරී තිබෙන කාර්යභාරය ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය, අවශ්‍ය ප්‍රතිපාදන සකසා දීම, එම පර්යේෂණ සහ සංවර්ධනයේ සාර්ථක අත්හදා බැලීම් නිෂ්පාදනය කරා යොමුකරවීම, (ඒ සඳහා පුද්ගලික අංශය සහභාගී කර ගැනීම) මහජනතාව කරා ගෙනයාම, සහ අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම කළ යුතුයි. මේ අංශ සියල්ල අතරේ මනා අන්තර් සම්බන්ධතාවයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සියල්ල ආර්ථික සංවර්ධන සියල්ල සමග  ඒකාබද්ධ කළ යුතුයි.

මේ කටයුතු සඳහා උනන්දු වන සියලු දෙනාට සහභාගී විය හැකි වටපිටාවක් සකස් කර දෙමින් පර්යේෂකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. මුදල් ලබාදීම විනිවිද පෙනෙන සේ කළ යුතුයි. පර්යේෂණ සහ ආයතන දේශපාලන බලපෑම්වලින් ඉවත් කළ යුතුයි. මේ මූලික මූලධර්ම අනුව අපේ ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. සියලු ක්ෂේත්‍රවලට පර්යේෂණ සහ සංවර්ධනය අදාළ වුවත් අපේ පහසුව සඳහා මූලික ක්ෂේත්‍ර කිහිපයකට බෙදා තිබෙනවා. කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, ආහාර සුරක්ෂිතතාවය, පළමු කාණ්ඩය ලෙස හඳුනා ගත්තා. දෙවන කාණ්ඩය ලෙස සෞඛ්‍යය, අධ්‍යාපනය සහ විද්‍යාව හඳුනාගෙන තිබෙනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ඉංජිනේරු, සංනිවේදනය, නාවික සේවා, ප්‍රවාහන සේවා සහ අනෙකුත් සේවා යොදා ගන්නවා. ඒ වගේම සිව්වන කාණ්ඩය ලෙස වායුව, ජලය, භූමිය, පරිසරය, අවකාශය යන ක්ෂේත්‍ර සිව්වන කාණ්ඩය ලෙස හඳුනාගෙන තිබෙනවා. පස්වන කාණ්ඩය ලෙස ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ප්‍රතිපත්ති සැකසීම, භූ දේශපාලනය, වැනි ක්ෂේත්‍ර අයත් වෙනවා. හයවැනිව මානව සංස්කෘතික ජීවිතයේ සංවර්ධනය වෙනුවෙන් කලාව, ඉතිහාසය, සංස්කෘතිය, උරුමය යන මූලික ක්ෂේත්‍ර හයකට බෙදා පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍ර හය තව අනු කාණ්ඩ 17කට බෙදා ක්‍රියාකාරී ඒකක 110කට බෙදමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික පදනම සකස් කර තිබෙනවා. මෙයට තව එක්කර ගත යුතු අදහස් එකතු කරගෙන මානව සහ ආර්ථික සංවර්ධනයේ දුර ගමනක් යන්න අපේක්ෂා කරනවා.

අපේ ස්වභාවික ශාක සාරය යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය, අතුරු ආහාරමය තත්වයන්, රූපලාවණ්‍ය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තයේදී ආයුර්වේද සම්බාහනය වැනි ක්ෂේත්‍ර රැසකට යොදා ගත හැකි වෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය කරන ඉහළ දැනුම ලබා ගැනීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුනක් යෝජනා කරනවා. විදේශගතව සිටින පර්යේෂයකයන් සහ වෘත්තිකයන් ඒ රටවල සිටියදීම සූම් තාක්ෂණය ඔස්සේ අපට දැනුම ලබාදීම, ඊළඟට ලංකාවට පැමිණෙන අවස්ථාවලදී දැනුම අවශ්‍ය ආයතනවලට ලබාදීම, සහ තුන්වැනිව ආපසු පෙරටට පැමිණීම ආකාරවලින් දැනුම ලබා ගන්නවා. රජය, පුද්ගලික අංශය, ජාත්‍යන්තර ප්‍රජව සහ මහජනතාව අතර නිසි අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගන්නා මධ්‍යගත කමිටුවක් පිහිටුවනවා. ආර්ථිකයට අවශ්‍ය පර්යේෂණ සඳහා ප්‍රතිපාදන වෙන්කරන්නේ මේ මධ්‍යගත කමිටුවෙන්. රටේ දියුණුවට අදාළ පර්යේෂණ අංශ හඳුනාගෙන මුදල් ප්‍රතිපාදන වෙන්කර විශ්වවිද්‍යාල හෝ පර්ජෙය්ෂණ ආයතනවලට යොදවා කැමති නම් පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගන්නවා. මේ කටයුතු වෙනුවෙන් රජය, පුද්ගලික අංශය, සහ ජාත්‍යන්තර ප්‍රජාව යන විකල්පවලින් ආයෝජන ලබා ගන්නවා. රටේ පවතින ස්වභාවික සම්පත් යොදා ගැනීමේ මානව සම්පත දියුණු කරනවා.

රජය මුදල් වෙන්කිරීමේදී ඍජුවම කළ හැකි වන අතර, නොහැකි අවස්ථාවලදී අන්තර්ජාතික සම්බන්ධතා යොදා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් විශේෂිත බැඳුම්කර නිකුත් කිරීම වගේම පුද්ගලික අංශයේ ආයෝජකයන් කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් යොදා ගැනීමට අපේක්ෂා කරනවා. අනතුරුව මේ පර්යේෂණ පාසල්, විශ්වවිද්‍යාල, අනෙකුත් තාක්ෂණ ආයතන, පුද්ගලික අංශය යොදා ගනිමින් සිදුකරනවා. මේ වන විට රටේ ජනතාවට ආහාර ලබාදීමටවත් මුදල් නොමැතිව තිබියදී, මේ වෙනුවෙන් වෙන්කරන්නේ කොහොමද කියලා යම් අයට ප්‍රශ්නයක් තිබුණා නම්, එවැනි ආකාරයේ විකල්ප යෝජනාවලින් මේ ප්‍රශ්නය විසඳී ඇතැයි විශ්වාස කරනවා. මේ වන විටත් සිදුකර තිබෙන, පර්යේෂණවල ප්‍රතිඵල මත ඉක්මන් නිෂ්පාදනවලට ගොස් මූලික ප්‍රතිලාභ ලබාගත හැකියි. අපි භ්එසදබ්ක ෂබිඑසඑමඑැ දf National Institute of Research snd Development (NIRD) ආයතනය පිහිටුවනවා. ඒ ආයතනය තුළ අධි සංවේදී පර්යේෂණ සහ පර්යේෂණ සම්පාදනය යන මූලික කොටස් දෙකක් තිබෙනවා. ප්‍රතිපත්ති සැකසීමේ කමිටුවෙන් අදාළ ප්‍රතිපත්ති සකස් කර, මධ්‍යගත ආයතනයට යොමු කර, එම ආයතනයෙන් පර්යේෂණ ආයතනවලට අදාළ වගකීම් බෙදා හැර රටේ ආර්ථිකයට අදාළ පර්යේෂණ බිහිකර අවසන් අරමුණු වෙනුවෙන් යොදා ගන්නවා. අපි යෝජනා කරන මධ්‍යගත කමිටුවට ආර්ථික විශේෂඥයන්, නීතිය ගැන විශේෂඥයන්, පෞද්ගලික අංශයේ විශේෂඥයන්, සාර්ථක වූ ව්‍යවසායකයන්, මුදල් අමාත්‍යාංශය මෙන්ම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු ස්වාධීන කමිටුවක් දේශපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක කරනවා. අපි මේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොවෙයි එයින් බාහිර සාර්ථක අත්හදා බැලීම් සහ නිර්මාණ කරන අයටත් ප්‍රතිපාදන ලබාදෙනවා. නව සොයා ගැනීම් රටට කොතරම් වැදගත්ද? හැබවින්ම කොතරම් අලුත්ද? අදාළ යෝජනා කාලෝචිතද, යෝජනා ගෙන එන්නා ප්‍රගුණකර තිබෙන දත්තයන් මොනවාද, අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද යන කරුණු මූලිකව සලකා බලා පර්යේෂණය සහ සංවර්ධනය විනිවිදභාවයෙන් යුතුව මුදල් ලබාදෙනවා.

මේ ඔස්සේ කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපේ ආර්ථිකයට නව පුනර්ජීවනයක් ලබා දීම සිදුවෙනවා. ඒ වෙනුවෙන් රජය ජාත්‍යන්තර සබඳතා මෙන්ම විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අරමුදල් ලබා ගන්නවා. දෙවනුව ඒ තුළින් ආර්ථිකය සමග ඒකාබද්ධ කළ පර්යේෂණ මගින් මානව සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ඒ ආර්ථික ප්‍රතිලාභ යොදා ගන්නවා. තුන්වැනිව පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්ධනයක් කරා පියනඟනවා. මේ ප්‍රතිපත්ති හුදෙක් දේශපාලන කෝණයකින් නොබලා හොඳින් අධ්‍යයනය කර මාසයක් ඇතුළතදී ඔබ ලබාදෙන අලුත් අදහස් හා යෝජනා එකතු කොට මේ ප්‍රතිපත්ති සම්පූර්ණ කර අපි ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් අපේ රට දියුණු රටක් බවට පත්කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරනවා.