උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

සංචාරක කර්මාන්තය හබක් කිරීමේ ගේමක් ද

ජගත් ගේ සතියේ සටහන  -  41

ආරුගම්බේ පාරාදීසයට ප්‍රහාරයක අනතුරු ඇඟවේ

 ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කොට ගෙන නැගෙනහිර පළාතේ ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට පසුගිය 7 වන දා රාජ්‍ය බුද්ධිය අංශය මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට දැනුම් දී තිබුණා. ජනාධිපතිවරයාට මෙම තොරතුර ලැබී  තිබුණේ එදින රාත්‍රී 10 ට පමණ. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා එදින රාත්‍රී 11 ට ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමත්  කැඳවා මේ ගැන ගතයුතු පියවර සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට තිබෙනවා. පසුගිය එනම් ඔක්තෝම්බර් 8 වැනි දා පෙරවැරු 7. 30 ට යළි ආරක්ෂක මණ්ඩලය රැස්වී මේ ගැන තව දුරටත් සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

මේ අනුව ආරුගම්බේ, වැලිගම, මිරිස්ස, හික්කඩුව, බෙන්තොට හා ඇල්ල ආදී ඊශ්‍රායල් සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශවලට පොලිස් හා විශේෂ කාර්ය බළකාය යෙද වූ අතර මාර්ග බාධක දමා රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම ද සිදු කරනු ලැබුවා.

ආරුගම්බේ ඇතුළු මේ සංචාරක කලාපවලට එල්ල වී තිබූ තර්ජනය පිළිබඳව ආණ්ඩුව කිසිදු ප්‍රචාරයක් නොදී රහසිගතව ම අවශ්‍ය පියවර ගෙන තිබුණා.   

සෑම වසරක ම ඔක්තෝම්බර් මාසයේ ඊශ්‍රායල් ජාතිකයින් ගේ ආගමික උත්සව සතියක් යෙදී තිබෙන අතර මේ වසරේ එම ආගමික සතිය ඔක්තෝම්බර් 17 ට යෙදී තිබුණා. බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණේ මෙම ආගමික සතිය යෙදී ඇති ඔක්තෝම්බර් 19 සහ 23 යන දිනයක දී මෙම ප්‍රහාරය එල්ල කිරීමේ සූදානමක් ඇති බවට යි.

ලද තොරතුරු අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගෙන තිබුණා.

ZOOM තාක්ෂණය ඔස්සේ අනුර ජනපති ආරක්ෂක කවුන්සිලයට හවුල් වේ 

 මේ අතර ත්‍රීකුණාමලයේ පැවැත්වෙන ඡන්ද ප්‍රචාරක රැළියකට සහභාගි වීම සඳහා යමින් සිටිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හදිසි දුරකතන ඇමතුමක් දෙමින් මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට සිටින ඇමරිකානු වැසියන්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසටත්, පසු දින එනම් 23 වැනිදා නිවේදනයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින බව යි.

ආරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ උත්සාහයක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වන බව දැනගන්නට ඇති බව ද විජිත හේරත් ඇමතිවරයා පවසා තිබෙනවා.

මේ පණිවිඩය ලද මොහොතේ ම ජනාධිපතිවරයා වහාම ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදන ලෙස විජිත හේරත් මහතාට දැනුම් දුන්නා.  ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා එම ZOOM  සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

මේ අනුව ආණ්ඩුව ආරක්ෂාව සඳහා සියලු පියවර ගෙන තිබිය දී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය 23 වැනිදා සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීම කළේ රතු නිවේදනයක් ද නිකුත් කරමින්.

ඇමරිකාව අනුගමනය කරමින් මහා බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ස්ට්‍රේලියාව, රුසියාව ඇතුළු රටවල් හතක් ද ශ්‍රී ලංකාවේ සිටින තම රටවැසියනට ආරුගම්බේ ප්‍රදේශයට නොයන ලෙසට නිවේදන නිකුත් කළා. ඊශ්‍රායල් ආරක්ෂක කවුන්සිලය ද ආරුගම්බේ ඇතුළු  මුහුදුබඩ සංචාරක ප්‍රදේශවලින් ඉවත් වී නගරබදට පැමිණෙන ලෙසට ඔවුන්ගේ ජනයාට දැනුම් දි තිබුණා

  ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු  තානාපති කාර්යාල විසින් සිදු කළ අනතුරු ඇඟවීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවන බව සංචාරක ක්ෂේත්‍ර‌යේ ප්‍රවීණයින් බවසනවා.

නොවැම්බර් හා පෙබරවාරි අතර ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයින් පැමිණීම දකින්න තියෙන දෙයක්. එහෙත් නැගෙනහිර ප්‍රදේශයේ හෝටල් හිමියන් පවසන්නේ තානාපති කාර්යාලවල නිවේදන වලින් පසු සංචාරකයින් විශාල වශයෙන් එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව.

ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පැමිණීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර ලබන වසරේ සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක ආදායමක් රජය අපේක්ෂා කොට තිබුණා.

සංචාරක කර්මාන්තය හබක් කිරීමේ ගේමක් ද

ශ්‍රී ලංකාවේ රජය ආරුගම්බේ ප්‍රහාර සූදානම ගැන බුද්ධි අංහ තොරතුරු ලැබීමෙන් පසු එය වැළැක්වීමට ආරක්ෂක පියවර තරකොට තිබිය දීත් ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව විද්වතුන් විවිධ අතහස් පළ කරනවා.

ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව වැට්ටවීමේ පියවරක් ලෙස මෙය නිකුත් කළා විය හැකි යැයි ඔවුන් චෝදනා කරනවා.

ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය අඩපණ කිරීමෙන් රජය ආර්ථික වශයෙන් බිඳ  දැමීම මේ නිවේදනයේ අරමුණ විය හැකි යැ යි ද ඔවුන් පවසනවා.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු හැඟවීමේ නිවේදනය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ලවා ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇතැ යි දැනගන්නට තිබෙනවා.

සංචාරක වෙස්ගත්තු ඊශ්‍රායල් කාරයෝ ආගම් පැතිරවීමේ ගේමක

ඒ අනුව මේ වන තෙක් ආරක්ෂ අංශ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති සියලු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චං මහත්මිය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රධානීන් හා ඇමරිකානු තානාපති කාර්යාලයී ය නිලධාරීන් අතර සාකච්ඡාවක් පෙරේදා පැවැත්වීමට නියමිතව තිබූ බව ද වාර්තා වෙනවා.

මේ අතර මේ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් සංචාරකයින් ගේ ක්‍රියා කලාපය පිළිබඳව මහජනයා අතරින් විවිධ චෝදනා එල්ල වෙනවා. සංචාරකයින් වශයෙන් මාස හයකට වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන බවත් ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීමට ක්‍රියා කරන බවටත් ඔවුන් චෝදනා කරනවා.

ඊශ්‍රායල් ජාතිකයින් විසින් යුදෙව් ආගම ප්‍රචාරය කරන 'කබාද් හවුස්' නම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් එයින් ප්‍රධාන 'කබාද් හවුස්' මධ්‍යස්ථානය ආරුගම්බේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් අසල ඇති බවත් පැවසෙනවා. ඒ හැර වැලිගම, දෙහිවල හා කොල්ලුපිටියේ ද 'කබාද් හවුස්' මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

එසේම පලස්තීන ඊශ්‍රායල් යුද්ධයේ දී මියගිය ඊශ්‍රායල් සෙබළුන් යුද වීරයින් ලෙස හඳුන්වමින් ඔවුන්ගේ පින්තූර ආරුගම්බේ 'කබාද් හවුස්' මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කරන බවත් මේ නිසා එම ප්‍රදේශයේ බහුලව වෙසෙන මුස්ලිම් ජාතිකයින්ගේ  දැඩි විරෝධයට එම තටයුතු හේතු වී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසන බව මාධ්‍ය වාර්තා කොට තිබුණා.

ඡන්දෙට පොල්ලක් මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක්

 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස නමය තුළ ඊශ්‍රායල් සංචාරකයින් 20515 ක් මේ රටට පැමිණ තිබෙනවා.

ඉකුත් අ‌ගොස්තු මාසයේ දී 3248 ක් ද, සැප්තැම්බර් මාසයේ දී 3142 ක් වශයෙන් ද ඊශ්‍රායල් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම දත්ත අනුව පෙනී යනවා.

නොවැම්බර් මස 14 වැනිදාට දින නියම කොට ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ මැතිවරණය පැවැත්වෙන දිනය නීති විරෝධි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට අති මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසයි.

මහ මැතිවරණය සඳහා නාමයෝජතා භාර ගැනීම ඔක්තෝම්බර් 4 වැනිදා සිට 11 දක්වා සිදු කෙරුණා. ඡන්ද විමසීමේ පනතේ හැටියට නාමයෝජනා භාර ගෙන සති 5 ත් සති 7 ක් ඇතුළත ඡන්ද විමසිම පැවැත්විය යුතු වෙනවා.

එහෙත් නොවැම්බර් 14 දින ඡන්දය පැවැත්වීමට දින නියම කිරීම හේතුවෙන් එම දිනය සති පහකට අඩු බවත් එයින් මැතිවරණ පනත උල්ලංඝණය වත බවත් පවසන පෙත්සම්කාර නීතිඥවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් සේ නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් නම් කොට තිබෙනවා.

ඡන්ද දිනේ වෙනස් වෙවි?

 නොවැම්බර් 14 වැනිදා මැතිවරණය පැවැත්වීම ගැන මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් හෝ කණ්ඩායමකින් හෝ කිසිදු විරෝධයක් පළවී නැහැ. එසේ වූවත් ව්‍යවස්ථා කටයුතු පිළිබඳ නීතිවේදීන් පවසන්නේ නාමයෝජනා කැඳවා සති 5 ක් සම්පූර්ණ වීමට පෙර මැතිවරණයට දින නියම කිරීම මැතිවරණ පනත උල්ලංඝණය කිරීමක් බවයි.

මෙම මූළික අයිතාවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමට වෙනත් දිනයක් නම් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළ හොත් මැතිවරණය පැවැත්වෙන දිනය සඳහන් කොට අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

මේ අතර මහ මැතිවරණයට ඇත්තේ තවත් දින 17 ක් වැනි කෙටි කාලයක් වුවත් මැතිවරණ ව්‍යාපාරවල කිසිදු උණුසුමක් දකින්නට නැහැ. විපක්ෂයේ  පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ඇල්මැරුණු ස්වභාවයක් දක

ගෙන් ගෙට යෑම

 එහෙත් ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් උද්යෝගයෙන් පවත්වා ගෙන යන අතර මේ වන විට ඔවුන් තංගල්ල, කටුනායක, හෝමාගම, ත්‍රීකුණාමලය, පොළොන්නරුව හා පුත්තලමේ යෝධප්‍රචාරක රැළි ගණනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඒ හැර අගමැතිනි හරිනි අමරසූරිය, විජිත හේරත්, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, බිමල් රත්නායක, ටිල්වින් සිල්වා, වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න, ආදි නායකයින් මැතිවරණ කොට්ඨාස මට්ටමින් රැස්වීම් පවත්වා ගෙන යනවා.

ඒ හැර ජාතික ජන බලවේගය ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කොට තිබෙනවා.

     සජිත් කෝටි 112 ක් වියදං කරලා

පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි 112 ක් වැය කළ සමගි ජන බලවේගය තවමත් විශාල රැස්වීම් පවත්වා නැහැ. ඒ වෙනුවට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද කොට්ඨාස මට්ටමින් කුඩා රැස්වීම පවත්වන බව යි පෙනේනට තිබෙන්නේ.

රනිල් අද ඡන්ද රැස්වීමකට නගී?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මංගල ප්‍රචාරක රැළිය අද (27) මීගමුවේ දී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබෙනවා.  රුවන් විජේවර්ධන හා නිමල් ලංසා යන මහත්වරුන් විසිනුයි එය සංවිධානය කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද ඡන්ද කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වෙන නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිසිදු මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගි වෙන්නේ නැහැ.

මේ අතර සෑම පක්ෂයක ම අපේක්ෂකයින් තමාට වැඩි පුර මනාප ලබාගැනීම සඳහා මනාප පොරයක නිරත වී සිටිනවා. තමන්ගෙ මනාප අංකය හා පින්තූරය ඇතුළත් පෝස්ටර් බොහෝ ප්‍රදේශවල දකින්නනටඉලැබෙනවා. එහෙත් පොලිසිය කමකරුවන්  යොදා ඒවා ඉවත් කිරීමට කටයුතු කරනවා.

ජාජබ යේ මනාප පොර නෑ

ජාතික ජන බලවේගයේ නම් මනාප පොරයක් දකින්නට නැහැ. එම පක්ෂය එක් මැතිවරණ කොට්ඨාසයකට අපේක්ෂකයින් දෙදෙනා බැගින් වන සේ ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව සකස් කොට තිබෙනවා. එම ඡන්ද කොට්ඨාසය තුළ පමණයි එම අපේක්ෂකයින් ප්‍රචාරක කටයුතු කළ යුතු ව තිබෙන්නේ. පිටස්තර කොට්ඨාසවල ප්‍රචාරක කටයුතු කිරීමට ඔවුන්ට අවසරයක් නැහැ. එමෙන් ම ඒ ඒ ඡන්ද කොට්ඨාසවල පක්ෂ කාර්යාල පිහිටුවීම සිදු කරන්නේ ජාතික ජන බලවේගයේ මූලස්ථානය විසින්. එම පක්ෂ කාර්යාලවල දිස්ත්‍රික්කයට පක්ෂය විසින් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයින් ‌ගේ මනාප අංක හා ඡායාරූප ප්‍රදර්ශනය කොට තිබෙනවා.

ඒ ඡන්දදායකයකුට ලැබෙන මනාප තුනක් ලකුණු කිරීමේදී දිස්ත්‍රික් නායකයාට හා ඡන්ද කොට්ඨාසයේ අනෙක් අපේක්ෂකයින් දෙදෙනාට මනාප ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

-  ජගත්  -