හෙළදිව් හි සාහිත කෙත අස්වැද්දූ ගිලිහුණු පන්හිඳ !
''සුගතෙ එහෙනං සහෝදරයා යන්න කෝ ඉන්ටර්විව් එකට. හරියාවි... මං කියල යි තියෙන්නෙ. මිස්ටර් සපරමාදුට" ඔහු මට පැවසුවේ බොහොම ප්‍රසන්න හිනාරැල්ලක් වතේ තවරා ගෙන ය.
ඔහු එහෙම කීව සැණින් මම පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගියෙමි. දරු පැටවුන් එක්ක පහුගිය දවස් ගණනාවක් ම තුන්වේලෙන් සුදහ ගින්න නිවාගන්නට දත කමින් හුන් මට ඔහු ගේ ඒ වදන්වැල දෙසවනට මීපැණි වත්කළා සේ දැනුණි.
මේ අදින් හවුරුදු හතළිස් තුනකට කලින් අතීතයට දිවගිය හිත මත ඇඳුණේ ඔහු ගේ ප්‍රසන්න වතකමල යි. ඒමුහුණ, ඒ වත, ඒ ගත තවත් පැය කිහිපයකින් බොරැල්ල කනත්තේ දී දුම්රොටු අතරින් දැවී වියැකී අළු දූලි බවට පත්වෙනු ඇති. මේ සක්වල නොව සියලු සක්වල ඇති වෙන සියලු දේ නැතිවෙන සදාතනික සත්‍යය පසක් කරමින් ගාල්ලේ ගඟබඩ පත්තුවේ වඳුරඹ දී ජන්මලාභය ලද රාජ්‍ය සම්මානනීය ගත්කරු ගුණසේන විතානයන් ගේ ඉතිරි වනුයේ ඔහු සතු කරගත් නාමය ම පමණි.
හෙළයේ සාහිත වංශකථාවට මහ මෙහෙයක් කරමින් අනූ තුන් හවුරුද්දක් මේ පොළොවේ සතා සීපාවා, ගහ කොළ මැනවින් දැන හඳුනා ගෙන මෙබිමේ අගය මෙබිමේ මිනිස් ප්‍රජාවගේ සියලු පැතිකඩ ලෝකයා හමුවට කැන්දන් යන්න ට ඔහු ගත්තා වූ අප්‍රමාණ වෙහෙස මහන්සියට මව්බිමත් ඇගේ දූදරුවනුත් ඔහුට සදා ණයගැති ය යන්න මගේ හැඟීම යි.
මේ ලියවිල්ල අරඹන ලද්දේ ගුණසේන විතානයන් බොරැල්ලේ දී මා මුලිච්චි වී අප දෙදෙනා අතර ඇති වූ කතාබහේ පළමුව ඇමතුම යි. ඒ 1981 කිසියම් දොහක ය. 1980 මහා වැඩ වර්ජනයට ධාර්මිෂ්ඨ අදැමිටු පාලකයන් කළ කෲර වූත්, නින්දිත වූත්, අමානුෂීක වූත් නිර්ලජ්ජිත වූත් බලයෙන් මත්වූ ජේ. ආර්. - ප්‍රේමදාස බාන දක්වන ලද සැලකිල්ලට පින් සිදුවන්නට එදා 40 000 ක් රජයේ සේවකයින් සේවය හැරගිය වුන් සේ සලකා රුපියල් දහයක් දවසක පඩිපතට එක්කරන්නට කියා මාස ගණනාවක් පුර කළ උද්ඝෝෂණවලින් අනතුරුව 1980 ජූලි 18 වැනිදා වැඩකරන ජනතාව සතු ඉහළ ම අවිය ඔසවන ලදුව රැකියා අහිමි වූවන්ගේ ගොඩට මාද එක්ව සිටිය දී ගුණසේන විතාන සහෝදරයා මට රැකියාවක් හොයා දෙන්නට ගත්තු උත්සාහය ගැන යි මේ ලිපිය ආරම්භයේ දී සටහන් කරන ලද්දේ.
ඔහු මා යොමු කළේ කොග්ගල බීච් හෝටලේ පාලනාධිකාරිය වෙතට යි. ඒ එහි ස්ටුවර්ට් වෘත්තියට කැඳවා තිබූ සම්මුඛ පරීක්ෂණයට යි.
සැබැවින් ම මා මහා බක පණ්ඩිතයකු නිසා කොග්ගල බීච් සංචාරක හෝටලේ සභාපතිවරයා වූ සපරමාදු මහත්තයා හෙවත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ බෑණනුවන් ප්‍රමුඛ පරීක්ෂක මණ්ඩලය ඉදිරියේ මම පෙනී සිටියෙමි.
''වට් හැපන් ටු ද යුවර් ලාස්ට් ජොබ්?" සපරමාදු මහතා යොමු කළ ප්‍රශ්නයට මා දුන් පිළිතුර ''අයි හෑව් ජොයින්ට් ද ලාස්ට් ජෙනරල් ස්ට්‍රයික්" යන්නයි. ඉන් එහාට වැඩ යමක් විමසන්නට ඔවුන්ට ඇවැසි නොවුණි.
''හොදයි අපි දන්නන්නන් කෝ" කිසියම් විශ්වාසයක් හිතේ දරා ගෙන හෝටලයෙන් නික්මුණෙමි.
තවත් සතියකින් පමණ මා ගුණසේන විතානයෝ මුණ ගැසුණේ කොටා පාරේ දී ය.
''මොකද මැන්දිස් සහෝදරයා දැන් වැඩ ද"
මා කුමක් කියන්න ද? සම්මුඛ පරීක්ෂණයේ දී ඇසූ පුශ්නයත් මා දුන් පිළිතුරත් කීමි.
''සුගතපාල සහෝදරයා ඇයි ඔච්චර මෝඩ ද? ඔ්නැවට වඩා අවංක වෙන්න එපා... මොකද ඔහු ව්‍යාපාරිකයෙක් වගේ ම දක්ෂ පරිපාලන නිලධාරියෙක්.... ඇයි කිව්වේ ස්ට්‍රයික් කතාව"
ඉන් ටික දවසකට පසු මා නැගෙනහිර ජර්මනි තානාපති කාර්යාලයේ ආරක්ෂකයකු සේ සේවයේ නිරත කරන්නට ඇවැසි පියවර ගුණසේන විතානයෝ තබන ලද්දාහ. එහෙත් මට වියපැහැදම් අධික හෙයින් සති දෙකකට වඩා ජර්මන් තානාපති කාර්යාලයේ යෙදුණු 'සිකියුරිටි ජොබ්' එකට ද අයුබෝවන් කීවෙමි.
මට කියන්නට ඇවැසි වූයේ අපේ සාහිතසූරී ගුණසේන විතාන දෙටු සගයා හා මා අතරේ පැවති සහෝදරත්වය ගැන යි. ඔහු ජනතා ලේඛක පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සේ රට පුරා යෙමින් දිස්ත්‍රික්කයෙන් දිස්‍ත්‍රික්කයට යෙමින් මෙ බිමේ විසිරැ පැතිරැ හුන් ප්‍රවීණ මෙන් ම අංකුර සාහිත්‍යකරුවන් එකතු කර ගෙන රටට සමාජයට දැනෙන දෙයක් කරන්නට චත කෑවේ ය. එවක ජනතා ලේඛක පෙරමුණ යනු ඉතා සාර්ථක නිර්මාණකරුවන් ගේ තෝතැන්නක් සේ බැබළිණි. ඒ විතානයන් ගේ අප්‍රතිහත ධෛර්ය, වෙහෙස මාන්සිය නිසාවෙන් යැ යි කිවහොත් නිබොරුවකි.
පාසල් වියේ දී ම ලේඛන කලාව කරපින්නා ගත් ගුණසේන විතාන සහෘදයාණන් හොඳ නවකතා කරුවෙකි. කෙටිකතා කරුවෙකි. ළමා නිර්මාණ රචකයෙකි. අති දක්ෂ විචාරකයෙකි. කලාව කලාව සඳහා නොව කලාව ජනතාව සඳහා ය යන සංකල්පයේ එල්බ ගත් ඔහු ඒ උදෙසා බෝ කැපවීම් කළේ ය. වාදවිවාද වල පැටළුණේ ය. ඒ සුළුපටු මිනිසුන් සමඟ නොවේ. රට පිළිගත්තු මහා විශාරදයන් සමඟ ය. ඔහු දැරූ ඒ මතය ගරුකළෝ බොහෝ ය.
ඔහු ලේඛන කලාවට පිවිසියේ රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති පරිශීලනයෙනි. සොව්යට් දේශය සමඟ ඒ දෙසෙහි නම්දැරූ ලේඛකයන් සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වන ලද ගුණසේන විතානයෝ ශ්‍රී ලංකා සෝවියට ලේඛක සමබන්ධය ගොඩ නංවන්නට ද කළේ ඉමහත් කැපවීමකි. අප ද ගාල්ලේ ඇරඹූ ජනතා ලේඛක පෙරමුණේ ප්‍රගතිය උදෙසා කැපවීම් කළේ දිවංගත මහැදුරු බන්දුසේන ගුණසේකරයාණන් සමග පෙරමුණේ හුන් රුහුණු කලා හවුලේ ද සාමාජිකයින් ද එක්ව ය.
එවක විද්‍යාලෝක පිරිවෙනෙහි ගුරුවරයකු වූ නීතිඥ ගුණරත්න ගාල්ලගේ, අද එංගලන්තයේ පදිංචි විමල් පටබැඳි, කවියකු ද වූ ගුරුවෘත්තිකයක= ද වූ දයානන්ද ලියනාරච්චි, අධිනීතිඥ විමලසේන ගංගේ වැනි පිරිස් එදා ජනතා ලේඛක පෙරමුණේ ගාල්ල ශාඛාව ඉදිරියට ගෙන යන්නට දායක වූවන් බව ගුණසේන විතාන දෙටු සොවුරාට ගෞරවයක් සේ සටහන් කිරීම වටී.
ඔහු මව්බිම හා ඇත්ත පත්තර දෙකේ ද පුරෝගාමියකු විය. දේශපාලනයට ඔහු ඈඳෙන්නේ ලංකා කොමියුනිස්ට් (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂෙ) පක්ෂයෙනි. ඔහු එහි මධ්‍යම කාරක සභිකයකු මෙන් ම දේශපාලන මණ්ඩල සභියකු ද විය. ලියුම්කරු ඔහු හා සම්බන්ධ වෙන්නේ කොමියුනිස්ට් පක්ෂය හා ඇත්ත පත්තරය සමඟ පැවති ගනුදෙනුවෙනි.
ගුණසේන විතාන දෙටු සොවුරා බොහොම නිහතමානී මිනිහෙකි. ඔහුත් එක්ක වාද විවාද ද ඇති නොවුණා ම නොවේ. 80 මහා වැඩ වර්ජනයට නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් හා ගාල්ලේ දී පැවති සාකච්ඡාවක දී ලියුම්කරු ඔවුන් හා පැටළුණේ වැඩ කරන ජනතාවට වැඩ වර්ජනයට ඈඳෙන්නට උපදෙස් දුන් දේශපාලන මණ්ඩල සභිකයින් ගෙන් හය දෙනකුගේ බිරින්දෑවරුන් වැඩ වර්ජනයට යොමු කරන්නට නොහැකි වූ දේශපාලන මණ්ඩලයකින් ඇති ඵලේ කුමක්දැ යි ප්‍රශ්න කළේ ලියුම්කරු ය. විතාන සොවුරාට ද තවත් උත්තමයින් කිහිප දෙනකුට ද චෝදනා කරද්දී විතානයන් ඒ සියල්ල සාවධානව අසා සිටියේ බොහොම් උපේක්ෂා සහගතව බව මේ මොහොතේ දී මගේ මතකයට නැඟේ.
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සමඟ ඉතා ළඟ ම ළඟ ඇසුරක් හේ පැවැත්වූයේ ය. එය කෙතරම් කිට්ටු වූත් හෘදයාංගම වූත් ඇසුරක් දැ යි යන්න සඳහන් කළොත් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සාමාජික දයාපාල ජයනෙත්තියන් පවසන පරිදි වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයට පවුලේ සාමාජික සාමාජිකාවන් හැර බාහිරින් සිටිනා පුද්ගලයන් දෙන්නෙකි. ඒ ආචාර්ය ගුණදාස අමරසේකරයාණන් හා ගුණසේන විතානයන් ය. ඔවුන් භට සම්බන්ධ කරගෙන ඇත්තේ වික්‍රමසිංහ සූරීන් ගේ උපදෙස් හා ඉල්ලීම මත යැ යි දයාපාල ජයනෙත්ති සකියා ඊයේ හවහ ලියුම්කරුට කී අයුරු සිහිපත් කිරීම වටී, වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය නිර්මාණය කරන්නට ද විතානයෝ බෝ වෙහෙසක් දැරූ හ.
අපේ සන් මිත්‍ර කරුණාරත්න අමරසිංහයන් වරක් සඳහන් කළේ දෙවන ලෝක යුද්ධයේ දී කොග්ගල ගම්මානයේ පවුල් සෑහෙන සංඛ්‍යාවක් ඉවත් කිරීමෙන් පසු හැටේ දසකයේ දී වික්‍රමසිංහ මහතා උපන් නිවස සහිත භූමිය ආපසු ලබා ගන්නට ගුණසේන විතාන මහතා කළ අගනා අනගි මෙහෙය ගැන යි. ඔහු ඉදිරිපත් නොවන්නට ඒසේ නම්..... අද කොග්ගල පිහිටි ජනකලා කෞතුකාගාරයක් අප මෙන් ම අනාගත පරපුර ද දකින්නේ අද දැයෙන් සමුගන්නා කීර්තිධර ලේඛකයා, සම්මානනීය නිර්මාණකරුවා, ජනතා ලේඛක පෙරමුණේ නිර්මාපකයා නොවන්නට එහෙනං කොග්ගල හෝ මඩොල්දූව හෝ නරඹන්නට ඉඩක් කඩක් නැතුවා සහතික ය.
නැගෙනහිර ජර්මනිය සමඟ ඉතා සමීප සබඳතාවයක් ගෙන ගිය ඔහු ශ්‍රී ලංකා නැගෙනහිර ජර්මන් මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්වරයා යි. ඔහු ලාංකේය සාහිතවේදීන්ට නිර්මාණකරුවනට, රංගන ශිල්පීන්ට සෝවියට් හා ජර්මන් කලාකරුවන් එක්ක සබඳතා ගොඩ නැංවීමෙහිලා කළ මෙහෙය සුළුපටු නොවේ.
ජනතා ලේඛක පෙරමුණ මෙ බිමේ ස්ථාපිත කළා සේ ම විතානයෝ ආසියා අප්‍රිකා මහාද්වීපයන් හි ලේඛකයින්, ගත්කරුවන් ප්‍රමුඛ සෙසු කලාකරුවන් අතර මිත්‍රතත්වය ගොඩ නැඟීමේ දැඩි උවමනාවකින් කටයුතු කරමින් ආසියා - අප්‍රිකා ලේඛක සමුළුවේ ද ප්‍රධාන ලේකම් ධූරය දරමින් අපේ රටට ගෙනදුන් කීර්තිය අද සමාජයේ බොහෝ දෙනකු නොදන්නා කාරණාවකි.
දැයෙන් සමුගන්නා ගුණසේන විතාන වැනි විදග්ධ මිනිහෙකු ගේ නැතිවීම ජාතියට පාඩුවකි. ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සේ දිගු කලක් කටයුතු කරමින් කර මෙහෙය අධ්‍යාපනයේ නිරත වන හෙට දවසේ දරුවන් ගේ දැන ගැනීම සඳහා කෙටි හෝ සටහනක් මෙසේ තැබීම වැදගත් බව හැඟේ.
අද සැඳෑවේ නුඹ අපෙන් අපේ දැයෙන් සමුගෙන යන විට ඒ රික්තකය පුරවාලන්නට සුදුස්සකු පහළ වේ දැයි නිශ්චිත නැත. යථාර්ථය එයයි.
ඒත් ඉතින් ලෝකයේ සියල්ල ඇති වී නැතිවීම ලෝක ස්වභාවය යිි. දෙටු සොවුර! අපගේ විප්ලවීය ආචාරය යි මේ!!
ඉදින් සබඳ සූරිනි, ඔබට නිවන් සුව!!!