උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

සජිත්ට මල පැනල ලු?

ජගත් ගේ සතියේ සටහන  -  69

139 ක් සභාවල 50% කාටවත් ම නෑ

පළාත් පාලන මැතිවරණය අවසන් වී සති දෙකක් ගත වී ඇතත් ඒවයේ බලය පිහිටුවීම පිළිබඳව මේ වන විට අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

එයට හේතුව පළාත් පාලන ආයතන 139 ක ම 50% වැඩි බලයක් ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ නොහැකි වීමයි.

ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආසන 266 ක් ජයග්‍රහණය කොට ඇතත් ඔවුන්ට තනිවම පාලනයක් ගෙන යා හැකි පරිදි 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇත්තේ පළාත් පාලන ආයතන 120 ක පමණයි. අනෙක් පළාත් පාලන ආයතනවල ජාතික ජන බලවේගය වැඩි ආසන සංඛ්‍යාවක් ජයගෙන ඇතත් අනෙක් ‌ෙද්ශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ලැබී ඇති ආසන සංඛ්‍යාව එයට වඩා වැඩියි.

විපක්ෂය සාකච්ඡා . සමහරුන් කර අරී

මේ තත්වය යටතේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ ඒකාබද්ධ වී එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා පසුගිය සතියේ සිට ආරම්භ කොට තිබෙනවා.

ජාතික ජන බලවේගය පවසන්නේ දූෂණ හා වංචා  චෝදනා නොමැති දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ එක්ව ඒවායේ බලය පිහිටුවීමට තම පක්ෂය සාකච්ඡා කරගෙන යන බවයි.

රනිල් වැඩ පටන් අරන්

මේ අතර ඉන්දියාවේ සංචාරයකින් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එදින ඔහු සිය පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කොට විපක්ෂයෙන් වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් තේරී පත්වී සිටින පක්ෂ සමඟ රැස්වීමක් පැවැත්වීමට පියවර ගත්තා.

ඒ අනුව මැයි 14 වනදා සවස කොළඹ 7 මල්පාරේ පිහිටි වික්‍රමසිංහ මහතා ගේ දේශපාලන කාර්යාලයට විපක්ෂයේ පක්ෂ නායකයින් රාශියක් පැමිණ සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරයන මහත්වරුන් ද මෙයට සහභාගි වී සිටියා. පැමිණ සිටි සෙසු පිරිසට ජීවන් තොන්ඩමන්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, මොහොමඩ් මුසම්මිල්, ඉෂාක් රාහුමාන්, තලතා අතුකෝරළ, වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන හිටපු මන්ත්‍රීවරුන් ද එක්වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වුණේ විපක්ෂයට වැඩි මන්ත්‍රීන් සිටින පළාත් පාලන ආයතන139 ක බලය අත්පත් කර ගැනීම පිළිබඳව යි.

මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් ගේ සාකච්ඡාවක් පසුගිය 15 වැනිදා පැවැත්වීමට තීරණය වුණා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිට පැමිණි දිනයේ ම සැත්කමකින් පසු විවේකයෙන් පසුවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ සුවදුක් බැලීමට ගොස් තිබුණා. එහිදී ඔහුට නාමල් රාජපක්ෂ මහතා ද හමුවී ඇති අතර 14 වැනිදා සාකච්ඡාවට පැමිණෙන්නැ යි වික්‍රමසිංහ මහතා ඔහුට ආරාධනා කළ බවත් නාමල් එම සාකච්ඡාවට පැමිණියේ ඒ අනුව බවත් නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාල ආරංචි මාර්ග පවසනවා. එම රැස්වීමේ දී එහි කැඳවුම්කරු ලෙස හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා.

පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයට ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂය එදින ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා මෙම රැස්වීමට නොපැමිණි නමුත් දුරකතනයෙන් සාකච්ඡාවට එක්වූ බව ද එහි සඳහන්. එය අසත්‍ය බව දිලිත් ජයවීර මහතා නිවේදනයක් මඟින් පවසා තිබුණා.

මෙම නිවේදනයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවති බව සඳහන් වීම ගැන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බලවත් කෝපයට පත්වූ බව ද වාර්තා වෙනවා. මෙම රැස්වීමට සහභාගි වීම ගැන ඔහු නලීන් බන්ඩාර මන්ත්‍රීවරයාට ද දොස් පැවරූ බවත් දැනගන්නට තිබෙනවා.

මෙම රැස්වීමට නාමල් රාජපක්ෂ මහතා සහභාගිවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ද මතභේද හටගෙන තිබුණා. එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පසුදා මාධ්‍ය හමුවක් පවත්වමින් පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී තම පක්ෂය කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවන බව ප්‍රකාශ කළා.

පසුව නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ තම පක්ෂය ද කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවන අතර ප්‍රතිපත්ති අනුව කටයුතු කරන බවත් ඒ ඒ පළාත් පාලන ආයතනවල දී සුදුසු පරිදි කටයුතු කරන බව ය. කොළඹ මහ නගර සභාවේ දී ජනවරම විකෘති නොවන ලෙස කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අනුව මැයි 15 වැනිදා කොළඹ හෝටලයක පැවති පක්ෂ ලේකම්වරුන් ගේ සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ද සහභාගි වුණේ නෑ.

එයට තලතා අතුකෝරළ මහත්මිය  සහ රිෂාඩ් බදුද්දීන්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, ලසන්ත අලගියවන්න, මහින්ද යාපා අබේවර්ධන, අනුර යාපා ඇතුළු පිරිසක් පැමිණ තිබුණා.

මෙම සාකච්ඡාවට සහභාගි වූ මනෝ ගනේෂන් ආදි සමගි ජන බලවේගයේ නායකයින් පවසා ඇත්තේ සමගි ජන බලවේගය තුළ පවතින අභ්‍යන්තර ගැටුම් නිසා මේ ගැන තීරණයක් ගැනීමට අපහසු බවයි.

මනෝ එක්ක ලසන්ත සජිත් මුලිච්චි වෙලා!

පසුව ලසන්ත අලගියවන්න හා මනෝ ගනේෂන් යන මහත්වරුන් සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු 17 වැනි සෙනසුරාදා හැන්දෑවේ සෙසු පක්ෂ නායකයින් හා නියෝජිතයින් හමුවීමට සජිත් ප්‍රේමදාස මහතා ඒකඟවී තිබෙනවා. එහෙත් මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් සහභාගි නොවීමට තීරණය කොට ඇති බව ද වාර්තා වුණා.

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන ම අරමුණ වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ බලය අල්ලා ගැනීම යි. එම පක්ෂයේ මුස්ලිම් නායකයකු වන මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා මේ සඳහා පෙරමුණ ගෙන සිටිනවා.

මන්ත්‍රීවරුන් ගේ නම් තවමත් නෑ

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 48 ක් ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර ඒ අනුව එහි බලය තම පක්ෂයට හිමිවිය යුතු බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පවසනවා. එහෙත් මුජිබර් රහුමන් මහතා පවසන්නේ සමගි ජන බලවේගය ඇතුළු අනෙක් පක්ෂ හා කණ්ඩායම් වලට මන්ත්‍රී ධූර 69 ක් හිමිවි තිබෙන බැවින් ඔවුන් ගේ සහාය ඇතිව නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති සමගි ජන බලවේගය පත් කරන බව යි.

මේ අතර කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන රාහියක බලය ලබා ගැනීම සඳහා ඇතැම් පක්ෂ, මන්ත්‍රීවරුන් මුදලට බිලී බා ගැනීමට කටයුතු ‌කරන බවට ද චෝදනා නැඟෙනවා.

කොළඹ මහ නගර සබාවට තේරී පත් වී සිටින ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ම පවසන්නේ තමන් තම ඡන්දදායකයින්ට හා ප්‍රදේශයට වැඩ කිරීමට අවශ්‍ය බැවින් ජාතික ජන බලවේගය සමඟ එකට කටයුතු කරන බව යි.

සමගි ජන බලවේගය බලය ගතහොත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත් කිරීමට යන්නේ ඔවුන් කලින් නගරාධිපති අපෙක්ෂක ලෙස නම්කොට සිටි වෛද්‍ය රුමයිස් හනීෆා මොහොමඩ් මහතා යි. එහෙත් ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාවේ දකුණු බොරැල්ල කොට්ඨාසයට තරග කළ නමුත් පරාජය වුණා. දැන් සමගි ජන බලවේගය තීරණය කොට ඇත්තේ ඔහු අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට යි. මේ හැර කොළඹ හිටපු නගරාධිපතිවරයකු වූ ජබීර් ඒ කාදර් මහතා ගේ මුනුබුරකු වන ඉම්රාන් ඒ කාදර් මහතා ද අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු සේ පත් කොට ඔහුට නියෝජ්‍ය නගරාධිපති ධූරය ලබා දීමේ සැලසුමක් සමගි ජන බලවේගය තුළ පවතින බව ද වාර්තා වෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ දී 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට ඔවුන් ජයගත් පළාත් පාලන ආයතනවල නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති හෝ සභාපති/ උප සභාපති තනතුරුවලට පත් කරන අයගේ නම් මැයි 19 (හෙට) ට පෙර දන්වා එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයින්ට දැනුම් දී තිබෙනවා.

එහෙත් බොහෝ පක්ෂ හා කණ්ඩායම් මේ වන විටත් එම නම් යවා නැති බවයි දැනගන්නට තිබෙන්නෙ.

ඒ හැර පළාත් පාලන ආයතනවලට පත්වී සිටින මන්ත්‍රීවරුන් ගේ නාමලේඛන ද කොමිෂන් සභාවට මැතිවරණය අවසන් වී සතියක් ඇතුළත එවන ලෙස ඉල්ලා තිබුණ ද බොහොමයක් ආයතනවල නාම ලේඛන ද මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නැහැ.

මෙයට හේතු වී තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසවලින් පරාජය වූ අපේක්ෂකයින් අතිරේක ලැයිස්තුවෙන් තමන් පත් කරන ලෙස පක්ෂ නායකයින්ට බලකිරීම නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ තත්වය යටතේ මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වන පරිද ජුන් 2 වන දා පළාත් පාලන ආයතන පිහිටුවීමට නොහැකි වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

මේ අතර වතුකරයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත්කිරීම ගැන ලංකා කම්කරු කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සිදුකළ සාකච්ඡා ද අසාර්ථක වෙලා. ඒ සෑම පළාත් පාලන ආයතනයක ම සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයට ලැබිය යුතු බව එහි නායක ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කිරීමයි.

සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී තම පක්ෂයේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට තිරණය කොට ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර උතුරේ  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා පැවත්වූ සාකච්ඡා ද තීරණයකින් තොරව අවසන් වී ඇති බව උතුරේ ආරංචි මාර්ග පවසනවා.

සමහර මන්ත්‍රීවරුන් නිහඬ වතක සිටිනා බවක් කියැවේ

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් හිටපු මන්ත්‍රී ඇම්. ඒ. සුමන්දිරන්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ධර්මලිංගම් සිද්ධාර්ථන් හා සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන් අතර පැවති මෙම සාකච්ඡාවේ දී පක්ෂ දෙක එකතු වී පිහිටුවන පළාත් පාලන ආයතනවල සභාපති තනතුරු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඉල්ලා ඇති අතර සුමන්දිරන් මහතා එයට එකඟ වී නැහැ.

ඉදිරියේ දී මේ පිළිබඳව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පේනනම්බලම් මහතා සමඟ සාකච්ඡා කිරීමට ද ඔවුන් තීරණය කොට ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ අතර තවත් ආරංචි මාර්ගයකින් වාර්තා වෙන්නේ මෙවර පලාත් පාලන මැතිවරණයේ දී ස්වාධීන කණ්ඩායම්වලින් පත්වී සිටින මන්ත්‍රීවරුන් රාශියක් පළාත් පාලන ආයතනවල සභාපති උප ස්‍භාපති හා නගරාධිපති උප නගරාධිපති පත්කිරීමේ දී කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ ඡන්දය නොදී නිහඩව සිටීමට තීරණයක් ගෙන ඇති බවයි.

තවත් සමරුන් එම තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේ දී රහස් ඡන්දයක් පවත්වන ලෙසට ඉල්ලා සිටීමට යන වග ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

  - ජගත්  -