ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන්න - සජිත්ගෙන ඉල්ලීමක්
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි India House හිදී සිදු විය.
ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කළ සාගර් බන්දු ව්‍යාපෘතියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්තූතිය පළ කළේය. එසේම ඉන්දීය රජය විසින් අප රටට ඇ. ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් ලෙසත් තවත් ඇ. ඩොලර් මිලියන 350 ක් අඩු පොලී සහනදායී ණයක් ලෙසත් ඇ. ඩොලර් මිලියන 450 ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් මෙරට ලක්ෂ 220 ක් ජනතාව වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාටත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාටත් ඉන්දීය රජය ඇතුළු සමස්ත ඉන්දීය ජනතාව වෙත සිය ස්තූතිය පුදකර සිටියේ ය.
එසේම 2004 වසරේ බලපෑ සුනාමියෙන් විශාල පිරිසක් මිය ගියත් ඉන් පාඩමක් ඉගෙන ගෙන නව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කරා යාමට නොහැකි වීම නිසා මෙවර දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා විශාල පිරිසක් මියගිය බවත් දැන්වත් මින් පාඩමක් ඉගෙන ගෙන රටට අවශ්‍ය නිවැරදි ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සහ අමාත්‍යාංශයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය. එසේම 1999 වසරේ දී ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයට බලපෑ සුපර් සයික්ලෝන් සුළි කුණාටුවෙන් 10000 ක් මිය ගොස් ලක්ෂ 180 ක් බලපෑමට පත් වීමත් සමඟ නව ආපදා වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර සහන ලබා දීමටත් ආපදා කළමනාකරණය කිරිමටත් කටයුතු කළ නිසා 2013 වසරේ දී මුහුණ දුන් සුළි කුණාටුවෙන් ලක්ෂ 10 ක පිරිසක් සහ 2019 වසරේ පැමිණි සුළි කුණාටුවෙන් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් බේරා ගැනීමට හැකි වූ බවත් එම ක්‍රමවේදය අප රටත් හඳුනා ගෙන මෙකී ආපදා වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
එසේම ඉන්දීය රජය ලබා දුන් ආධාර වඩාත් විනිවිදභාවයෙන් යුක්තව ජනතාවට ලැබිය යුතු බවට මෙහි දී ඉන්දීය විදෙශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඒ වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය විපක්ෂය විසින් ද ලබා දෙන බවයි. එබැවින් ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේ ය.
