උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

සජිත් ගෙ ‘මාජ්ජ’ අම්බරුවන් මාධ්‍යවේදීන්ට පකුම් පෙන්නයි

ජගත් ගේ සතියේ සටහන -  115

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැන් දිනෙන් දින අප්‍රසාදයට පත් වෙමින් තිබෙන බවත්, රටේ විශාල පිරිසක් ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධ බවත්, විපක්ෂය මාධ්‍ය හමු හා රැස්වීම් පවත්වමින් පසුගිය දිනවල දිගින් දිගට ම කියා සිටියා.

 විපක්ෂයේ බොහෝ නායකයින් ප්‍රකාශ කළේ මාලිමාවට ඡන්දය දුන් අයකු දැන් සොයා ගැනීමටවත් නැති බව යි.

මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා ආණ්ඩුව කළේ මෙවර මැයි දිනය නිමිත්තෙන් දිස්ත්‍රික්ක 21 ක මැයි රැලි 21 ක් පැවැත්වීම යි. වෙනදා කොළඹ පැවැත්වෙන මැයි රැලිවලට ලක්ෂයක පමණ පිරිසක් දිවයිනේ සෑම දෙසින් ම පැමිණ සහභාගි වූ නමුත් ජාතික ජන බලවේගය මෙවර තීරණය කොට තිබුණේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හා  මතය ප්‍රාදේශීය වශයෙන් ජනතාව අතරට ගෙන යාමට යි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේ සහ මහරගම පැවති රැලිවලට ද අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය, රත්නපුරේ මැයි රැලියට ද, කේ. ඩී. ලාල්කාන්ත ඇමතිවරයා මහනුවර රැලියට ද, ටිල්වින් සිල්වා මහතා මාතර හා තංගල්ලේ රැලිවලට ද සහභාගි වුණා. බිමල් රත්නායක ඇමතිවරයා උතුරේ, වවුනියාවේ මැයි රැලියටත්,  විජිත හේරත් ඇමතිවරයා ගම්පහ රැලියටත්, මූලිකත්වය ගෙන තිබුණා. අනෙකුත් රැලිවලට සෙසු මැති ඇමතිවරුන් සහභාගි වුණා.

ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි රැලියට ජනතාව දස දහස් ගණනින් සහභාගි වී සිටියා.

කලින් අවුරුදුවල වතුකරයේ මැයි රැලිවලින් 'කප්' ගැසූ ලංකා කම්කරු කොන්ග්‍රසය මෙවර කිසිදු මැයි රැලියක් පවත්වා තිබුණේ නැහැ.

සමගි ජන බලවේගය සමඟ සිටින දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන් ආදීන් ද මෙවර වතුකරයේ මැයි රැලිවල දකින්න සිටියේ නැහැ.

පසුගිය දිනවල රජය වතු කම්කරු වැටුප් විශාල ලෙස වැඩි කිරීම නිසා වතු කම්කරු ජනතාව මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැලියට පැමිණ සිටියේ දස දහස් ගණනින්.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් මහතා කොළඹ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස මූලස්ථානයේ මැයි දිනය නිමිත්තෙන් හින්දු පූජකවරුන් ගෙන්වා ආගමික වතාවත් පවත්වා තිබෙනවා.

මෙවර කොළඹ නගරයේ මැයි පෙළපාලියක් හා රැලියක් පැවැත්වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා සමාජවාදී ජනතා පෙරමුණ පමණයි. රාජගිරියේ පිහිටි ඇන්. ඇම්. පෙරේරා පිළිරුව අසළින් පෙළපාලිය අරඹා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය අබියස දී සමාජවාදී ජනතා පෙරමුණ ඔවුන්ගේ මැයි රැලිය පැවැත්වූවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාළිගාකන්ද වයිට් පිටියෙන් පෙළපාලිය අරඹා හයිට්පිටියේ දී මැයි රැලිය පැවැත්වූවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයේ පැවැත්වූ අතර පොදුජන පෙරමුණ ටී. බී. ඉලංගරත්න මහතා ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් මැයි දිනය සැමරුවා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වී දේශපාලන ගමන යායුතු බව එම පක්ෂ දෙකේ ම සමාජිකයින් ඉතසිතින් බලාපොරොත්තු වන්නේ මාස ගණනාවක පෙර සිට යි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර මෙයට මාස 5 කට පමණ පෙර සාකච්ඡා පැවැත්වුණා. සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය, සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කොට තිබුණා.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයේ නායකයින්ට දැනුම් දී තිබුණේ මෙම සාකච්ඡා පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකරන ලෙසයි. එමෙන් ම එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම පිළිබඳ තීරණ ගැනීම තමා විසින් සිදුකරන බව ද පක්ෂ නායකයා පැවසූ දේ මිස සජබෙ අනිත් නායකයින් ඉන්පසු මේ පිළිබඳව අදහස් පළ කිරීමෙන් වැළකී සිටියා.

එසේ වුව ද මෙවර මැයි දිනය ළඟා වීමත් සමඟ යළි පක්ෂ දෙක එකතු කිරීම ගැන පාක්ෂිකයන් තුළ සුබවාදී බලාපොරොත්තු ඇති වී තිබුණේ සමගි ජන බලවේගයේ මැයි රැලියට එක්වන ලෙසට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වෙත ආරාධනාවක් යැවීමත් සමඟ යි.

මෙවර මැයි දිනය වෙසක් අධි පුන්පෝ දිනයට යෙදී තිබුණු බැවින් එදින ආගමික වතාවත් සිදු කිරීමටත්, මැයි දින රැලි නොපැවැත්වීමටත්, එක්සත් ජාතික පක්ෂය ඒ වන විටත් තීරණයක් ගෙන තිබුණා.

එහෙත් මෙම ආරාධනය පිළිගෙන සමගි ජන බලවේගයේ මැයි රැලියට සහභාගි විය යුතු බව පක්ෂ දෙකේ එකතුවට එක පයින් නැඟී සිටින නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසකගේ මතය වී තිබුණා.

එහෙත් වජිර අබේවර්ධන, තලතා අතුකෝරළ, සාගල රත්නායක ආදීන් පැවසුවේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ආරාධනා කොට තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයට පමණක් බව යි. එහි කිසි තැනෙක පක්ෂයේ නියෝජිතයකුට හෝ නායකයකුට හෝ ආරාධනා කොට නැතැ යි ඔවුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබුණා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පාක්ෂිකයින්ට ආරාධනා කොට තිබුණ ද, එය මැයි රැලියේ එක්සත් ජාතික පක්ෂයට ඇති කාර්යභාරය කුමක්ද යන්න සඳහන් කොට නැති බවත්, එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් ආරාධනා කොට තිබෙන බැවින් පක්ෂයේ නායකයකු එම රැලියට යැවීමට නොහැකි වන්නේ ඔවුන්ට ආරාධනා නොමැති නිසා බවත්, වජිර අබේවර්ධන මහතා පෙන්වා දී තිබෙනවා.

ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ දී අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා කළ යෝජනාවකට අනුව එකල වෙසක් පොහොය දිනයට මැයි දිනය යෙදී තිබුණෙන් මැයි රැලි නොපැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබුණි. එම ස්ථාවරය අනුව යමින් එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දිනය නොපවත්වා ආගමික කටයුතු සිදු කිරීමට පියවර ගත්තා.

ඒ අනුව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අප්‍රේල් 30 වැනිදා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා මැයි 01 වනදා සාංඝික දානයක් හා බිරියානි දන්සලක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් අනුව තලතා අතුකෝරළ මහත්මිය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් ලියමින් ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත්, පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතු බවත් ඒ අනුව සමගි ජන බලවේගයේ මැයි රැලියට පැමිණීමට නොහැකි බවත් දැනුම් දුන්නා.

එසේ වුවද සජබ මැයි රැලියට යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළා නම් එයට සහභාගි වී කතාවක් පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා සූදානමින් සිටි බව ද, සිරිකොත ආරංචි මාර්ග පවසනවා.

එහෙත් මැයි දිනයට පෙර දින එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාළිගාවත්තේ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමගි ජන බලවේගයේ මැයි දිනයට සුබ පතමින් නිවේදනයක් නිකුත් කළා.

මෙවර මැයි දිනය සඳහා ''පච මදිවට හොරු" යන තේමාව සමගි ජන බලවේගයේ මැයි දින තේමාව ලෙස යොදා ගැනීම ඉතා උචිත බවත් එය බිම්  මට්ටමට ම ගෙන යා යුතු බවත්, ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන මඟින් මෙම පාඨය ක්‍රියාවට ඉතාම සුදුසු බවත් රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දැක්වෙනවා.

එසේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකම ගමනක් යාම සඳහා සාකච්ඡා කිරීමට පත්කළ කමිටුවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව යළිත් සිහිපත් කරන බව ද එහි තව දුරටත් සඳහන් කොට තිබෙනවා.

එහෙත් මාළිගාවත්තේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැලියේ දී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය දැනටමත් එකතුවී ඇති බැවින් කමිටු මඟින් කටයුතු කිරීමට අවශ්‍ය නැති බව යි.

මොහුගේ මෙම ප්‍රකාශය අනුව පෙනී යන්නේ සජබ - එජබ එකතුව කිසිදාක සිදු නොවන එකක් බවයයි දේශපාලන විචාරකයින් පවසනවා.

කැතයි සජිත් කැතයි.

බොහොම කැතයි,බොහොමත් ම කැතයි.

සජිත් ගෙ මාධ්‍ය ලොක්කන් මාධ්‍යයට තග දමලා

 මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රදානත්වයෙන් මාළිගාවත්තේ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආපසු හැරී යෑමට සිදුවී තිබුණා. ඒ සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් ඔවුන්ට රැලිය පැවැත්වෙන ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදීම නිසයි.

සමගි ජන බලවේගයේ මැයි රැලිය වාර්තා කිරීමට පැමිණෙන ලෙස එම පක්ෂය විසින් මාධ්‍ය ආයතන වෙත කලින් යවා තිබු ආරාධනය අනුවයි මාධ්‍යවේදීන් පැමිණ සිටියේ.

තම පක්ෂය විසින් මැයි රැලිය ආවරණය කර යූටියුබ් නාලිකාව මඟින් සජීවීව විකාශනය කරන බවත්, මාධ්‍ය වලට එම යූටියුබ් නාලිකාවෙන් තොරතුරු හා පින්තූර ලබාගෙන වාර්තා කළ හැකි බවත්, මාධ්‍ය ප්‍රධානීන් විසින් පවසා තිබෙනවා.

ඒ අනුව පසුදා පළ වූ ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස් පුවත්පත් වල එම මැයි රැලිය ගැන කිසිදු වාර්තාවක් පළ කොට තිබුණේ නැහැ.

එහෙත් අයිටීඑන් (ITN) සමහර විද්‍යුත් මාධ්‍ය සජබෙ යූටියුබ් නාලිකාවෙන් ලබාගත් පින්තූර පළ කළා.

රැලිය වාර්තා කිරීමට ඉ‌ඩ නොලැබු යූටියුබ් නාලිකාකරුවන් රැලියේ පිටුපසට ගොස් වාර්තා කළේ එහි පසුපස තිබු හිස් පුටුවලට කැමරා එල්ල කරමින්. එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතා රැලිය ඇමතීම ආරම්භ කළ අවස්ථාවේ රැගියේ සිටි සෙනඟ සමූහ වශයෙන් පිටත්ව ගිය අන්දම ද යූටියුබ්කරුවන් තම නාලිකා මඟින් විකාශ කළා.

මාධ්‍ය නිදහස ගැන ඉහළින් ම කතා කරන සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය මාධ්‍යවලට මෙසේ තහනම් පැනවීම මාධ්‍යවේදීන්ගේ අප්‍රසාදයට හේතු වී තිබෙන බව ද වාර්තා වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ මැයි රැලියට පිට පළාත්වලින් පැමිණි ආධාරකරුවන් පාරේ මත්පැන් බොමින් නටන දර්ශන ද සමහර යූටියුබ් නාලිකාවල දක්වා තිබුණා.

- ජගත් -