හිත ලෙඩ කරන බොරු භූතයෝ - මනෝ ව්‍යාධි
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් (MBBS, MD Psychiatry - Counsultant Psychiatrist) මහතා සමඟ කෙරුණු සාකච්ඡා පෙළක තවත් වටිනා ලිපියකි මේ.
සරසවි වරම් ලැබූවන් අතර වූ සුපුන් තාක්ෂණික පාඨමාලාවක් හදාරන්න වුණේ විශ්වවිද්‍යාලෙ ගේට්ටුව ඇරෙනකං බලා ඉඳීම කාලය නිකරුණේ කා දැමීමක් යැ යි කල්පනා කරල. කොල්ල ගෙ මේ තීරණය බොහොම බුද්ධිමත් එකක් කියා ගුරු යුවළක් වූ අම්ම තාත්ත දෙන්න කතා කළේ තරමක ආම්බරයක් හිත්වල එල්ලන්.
පුතා ගෙ තීරණේ හරිම වටිනව අපේ මහත්තයො.... ”
සුපුන් ගෙ අම්මා තාත්තත් එක්ක කීවෙ කොල්ල පාඨමාලාව හදාරන්න ගෙදරින් නික්ම යන හැටි ආඩම්බර හැඟීමෙන් බලා හිටිමින්.
“ඔව් අපේ හාමිනේ... විශ්වවිද්‍යාලෙ කවද පටන් ගනී ද කියා කවුදැ යි ඉතින් දන්නෙ... එතකං ගෙදරට වෙලා නිකං කාලෙ කා දම දමා ඉන්නවට වඩා කොච්චර වටිනව ද ඒ කාලෙන් මොකක් නුමුත් හරවත් වැඩකට මිඩංගු කරන එක...” තාත්තා පිිවදන් බැන්දෙ තමන්ට පිටුපා ගේට්ටුවෙන් ඈතට පියමං වෙන කොල්ලා කෙරෙහි හටගත්තු සුපැහැදි හිතින්.
සුපුන් සරසවියේ දොරටුව ඇරෙන කල්, කල් බලා නො සිට තාක්ෂණික පාඨමාලාවක් හදාරන්න වෙලා මාසයක් හමාරක් ගෙවෙද්දි යාළුවො රොත්තක් ඔහු වටා රොක්වුණේ කාට කාටත් නො දැනෙන්න. හැම යාළුවකු ම සුපුන් ඇසුරු කළේ දැඩි මිත්‍රත්වයකින් වෙළී බැඳෙමින්. ඔවුන් එක එක පළාත්වලින් මේ පාඨමාලාව හදාරන්න එන වග දැන කියා ගත්තෙ යාළු මිත්‍රකම දවසින් දවස වැඩිවෙද්දි.
මේ මිත්රසන්ධානය නා නා ප්‍රකාර මිතුරන් ගෙන් යුක්ත යි. එකෙක් දෙන්නෙක් මත්පැනට හුරු පුරුදු වෙච්ච උදවිය. තවත් එකෙක් දෙන්නෙක් ගංජා සුරුට්ටුවට ඇබ්බැහි වෙලා බව ඔවුන් ගේ ඇසුරට වැටී වැඩි කල් නො ගොස් ම සුපුන් වටහා ගත්තා. ඒ මිතුරු කැළ අතුරින් හේ වඩාත් ළඟින් ඇසුරු කළේ තිස්සමහාරාමෙ පැත්තෙ සගයෙක්. මේ සගයා අනිත් කට්ටියට වඩා ටිකක් විනෝදකාමී ගති පැවතුම් ඇත්තෙක්.
“ස්පා එකකට යමු” ද කියා විහිළුවට වගේ ඔහු දවසක් සුපුන් ගෙන් ඇහුවා.
“ස්පා එකකට...?”
සුපුන් ගේ ඇස් දෙකේ රැඳුණු ප්‍රශ්නාර්ථයට “වරෙන් වරෙන් යන්න උඹට ගියාම බලා ගන්න පුළුවන් නෙ කොහොම ද කියා”මිතුරා හිනාවෙලා පිළිතුරක් බැන්දා. යාළුවා ගෙ හිත කැඩේ වි බිඳේ වි ය කියන සැකේ නිසා සුපුන් මිතුරා ගේ යෝජනාවට අවනත වෙළා සම්බාහන මධ්‍යස්ථානයකට ගෑටුවෙ තවත් වචනයක් වත් පිට නොකර.
සම්බාහන මධ්‍යස්ථානයට ගිය සුපුන් ට දැක ගන්න ලැබුණෙ එක වගේ හැඩකාර තරුණ කතුන් කීප දෙනෙක්. ඔවුන් කලින් කතා කර ගත්තු කණ්ඩායමක් සේ සුපුන් ටත් මිතුරා ටත් සුහද සිනා පාමින් පිළිගත්තේ දිගු කාලෙක පටන් දන්න හඳුනන, ඇසුරු කරන උදවිය වගේ. මිතුරා සම්බාහන ගාස්තුව පාලිකාවට ගෙවද්දි ඈ පෙන්නුවේ ප්‍රසන්න වත කමල් කියා යි සුපුන්ට හිතුණෙ.
සම්බාහනයට මිතුරා එක් කාමරයකට ඇතුළු වුණේ හුරුපුරුදු තැනකට රිංගනව වගේ. ඒත් එක්ක ම සුපුන්ට දැනුණෙ ලොකු අපහසුවක්. ඔහු වික්ෂිත වූවකු බඳුව සිටිද්දි ඔහු වෙත ආ පැහැපත් හැඩකාර කත,
“යාළුවා ෆීස් බැන්දෙ ඔයාටත් එක්ක යි. එන්ඩ ඔය ත් මසාජ් එකක් ගන්ඩ”
මුකුළු සිනා පාමින් සුපුන් වටා කැරකෙමින් සිට ඇහුවා. එතකොට එක වරම විදුලි සරක් ඇඟ පුරා දුවනව වගෙ යි ඔහුට දැනුණේ. ඔහු කරා ආ ඒ හැඩකාර කාන්තාව “එහෙනං යංකො” යි යළි පැවසුවේ ඔහු ගෙ කැමැත්ත අකමැත්ත දැන ගැනීමකින් තොරව. එහෙම කී ඈ සුපුන්ට පසුපස හරවා කාමරයක් කරා පිය නඟන්න වුණා. ඇගේ නාරිලාලිත්යයෙන් සුපුන් වශී වුණා වගේ. කතාවකින් තොරව ඈ පසුපසින් ඔහු කාමරයට ගියා. ඔහු කාමරය ට වැදුණු සැණින් ඈ ඔහුට දිගු කළේ ලොකු තුවායක්.
“මසාජ් එකට කලින් වොෂ් එකක් අරන් එන්ඩකො” ඈ කීවෙ යළිත් මුකුළු හිනාවක් මුවේ එල්ලන්. ඔහු ඒ තුවායත් අරන් නාන කාමරයට වැදී ආපහු හැරෙද්දි දැක්කෙ ඈ කිසියම් බෝතලයක ඇති ආලේපයක් අතකට හළා ගන්න අයුරු.
ඔහු යළි දැක්ක ගමන් ඇගේ වුවන සතුටින් පිරෙණ අයුරු යි සුපුන් දැක්කෙ. ඊට පස්සෙ ඔහු හැසිරුණේ ඇගේ විධානයන්ට අනුව. හැම විටක ම ඒ හැඩකාර පැහැපත් කත නෙතු විදාළේ කෝපිමල් කිනිත්තක් වුවනේ රඳවන්.
සුපුන්ට සයනයේ ඇළවෙන ලෙස ඕ තෙපලුවේ බෝ හීන් හඬක් නංවමින්. හරිම සෞම්‍ය කටහඬක්. ඒ කත ඔහු ගේ සිරුරේ කිසියම් ආලේපනයක් ගා සම්බාහනය ආරම්භ කළා. ඈ ඔහු ගේ පිට, බෙල්ල, දෑත්, දෙපා ස්පර්ශ කරන්නෙ, අතපත ගාන්නෙ, බෝම මටසිළිටු විදියට. විටෙක සුදුමුදු අයුරින් ඔහුට දැනෙන ස්පර්ශය වරෙක දැනෙන්නෙ තරමක දැඩි බවකින් වගේ.
ඇගේ දෑතේ පහසින් ස්පර්ශයෙන්, ඔහු ගේ ඇතුළතින් කිසියම් කිළිපොලා යෑමක් හට ගත්තා. ඒත් එක්ක ම කොහේදෝ ඉඳල හිතට බයකුත් රිංගන්න වුණා. විටෙක ඇගේ වුවන තම වුවන ආසන්නයේ ම. ඈ තවරා හුන් වත්සුණු සුවඳ ඔහුට ගෙන දුන්නේ අමුතු මිහිරි හැඟීමක්. ඈ ඔහු වෙත නැඹුරුව බෝ මට සිළිටු විදියට කරන මේ ස්පර්ෂයෙන් ඔහුට ඔහු ගේ හිත පාලනය කර ගන්න බැරි තරම්. සියොළඟ උණුසුම් වන වගකි සුපුන්ට හැඟෙන්නේ. දැනෙන්නෙ. ඈ කෙරෙහි හටගත් කියන්න බැරි තරමේ මොකක් දෝ හැඟීම් පොදියක් මතු වෙලා දෝර ගලන්නට පටන් ගත්තෙ ඈ ඔහු වෙත පානා සරාගි බැල්මත් එක්ක. ඇගේ ස්පර්ශය, පහස ඔහු සිත වෙනත් ලෝකයකට කැන්දන් යන වගකි සුපුන්ට තේරෙන්නෙ. ඔහු නො දැනීම ඈ සිය ග්‍රහණයට ගත්තේ පිස්සුවෙන් වගේ. ඈ ඊට කිසිම විරෝධයක් පෑවෙ නෑ. දැක්වූයේ කැමැත්තක් යැ යි ඔහුට හැඟුණා. දැනුණා. තේරුණා. ඒත් එක්ක ම සුපුන් ඈ සයනයේ වැතිර වූයේ රාග සිතිවිලිවලින් ඔහු සිත ඕනෑවටත් වඩා පිරෙද්දි. ඈ ඔහු ගේ හැඟීම්, දැනීම්, උවමනාවන් හොඳින් වටහා ගෙන වගේ. තවත් ටික වෙලාවකින් ඒ හැඩකාර පැහැපත් කත ඔහුට උපත් පාලන කොපුවක් දිගු කළා. ඒ ආරක්ෂිත කොපුව කොයිබක තිබී ගත්තක් දැ යි ඔහුට හිතන්න ඕනැ වුණේ නෑ. ඒ තරමට ම සුපුන් ඇගේ පහසින් ස්පර්ශයෙන් රාගයෙන් මුසපත් වෙළා.
පැයක් විතර සම්බාහනා’යතයේ ඒ තරුණ කාන්තාවත් එක්ක කාලය දිය කර හැරිය ඔහු කාමරයෙන් බැහැර වෙන්න කලින් තමන් සන්තර්පණය කළ කත අතට ගිරවකු ගුළි කළේ ඉහවහා ගිය සතුටකින් හිත පිරී තිරී තිබුණ නිසා වෙන්නැති. සුපුන් එළියට එන විට මිතුරා ඔහු බලාපොරොත්තුවෙන් ආලින්දයේ සැටියේ අසුන් ගතව හිටින හැටි දැක්කා. ඒත් එක්ක ම ලැජ්ජා සහගත බවකුත් හිත කොණකින් මෝදු වෙන්න වගේ දැනුණා.
“එහෙනං අපි එන්නං...! බායි!!” මිතුරා ඔහු සම්බාහනය කළ තරුණ කත දිහා බැලුවා. ඒ වචන දෙක තුන සුපුනුත් තමන් එක්ක පැයක තරම් කාලයක් ගෙවූ හැඩකාරිය දිහා බලා මිමිණුවා.
“බායි! ආපහු එන්ඩ!!” ගැහැනුන් දෙන්නා ම පිළිවදන් බැන්දේ බෝ සතුටු වත කමලින් වගේ.
දවස් දෙක තුනකට පස්සෙ මොකක්දෝ වෙනසක් සුපුන්ට දැනෙන්න දැනෙන්න වගේ. ලිංගේන්ද්‍රිය දෙපැත්තෙ කැසීමක් ඇති වෙනව. කොච්චර කැසුවත් ඇති වෙන්නෙ නැති තරම්. කෙනකුට පේන්න ඒ කැසීම කරන්නත් ඔහුට ලැජ්ජයි. එවන් වෙලාවට ඔහු බෝ අමාරුවෙන් කැසීම පාලනය කර ගන්න වෙර දැරුවා. ඔහු කාමරයට වැදී කණ්ණාඩිය ඉස්සරහ ඉඳන් ලිංගේන්ද්‍රිය හොඳින් පිරික්සුවෙ හිතට රිංගූ බයකින්. ඒත් පේන්න තරං වෙනසක් ඔහු දැක්කෙ නෑ. අමුතු වෙනසක් නෑ.. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ කැසීමක් වරින් වර කළේ ඒක සැරෙන් සැරේ මතු වෙන බවක් දැනුණු හෙයින්. ඔහු තුළ සැකයක් දරණු ගහන්න පටන් ගත්තෙ සම්බාහන මධ්‍යස්ථානයේ දී තමා මෛථුන්‍යයේ යෙදුණු කාන්තාව කිසියම් සමාජ රෝගයකින් පෙළීමත් එය ඇගෙන් ඔහුට වැලඳී ඇතැ යි යන සැකයකින් ඔළුව පිරුණු හින්ද.
“ඒත් මං කොන්ඩම් එකක් දා ගෙන නෙ හිටියෙ. ඒක ආරක්ෂාකාරි යි” ඔහු තමාට ම කියා ගත්තා. ඒ ගැන හොඳ මතකයක් තිබුණත් සුපුන්ට ඇත්තේ ඒ ගැහැනිය ඒඩ්ස්කාරියක් ය යන විශ්වාසය. කොච්චර ඒ ගැන කල්පනා කොට හිත හදාගන්න ඔහු වීරිය කළත් ඒ සියල්ල යටපත් කරන් ඔහුට හිත කියන්නේ ම තමා සමාජ රෝගයකට නතුවෙලා කියා. සුපුන් තමන් කරමින් සිටින කාර්යය කුමක් වූවත් එය අමතක කර හිතන්නෙ ම අර කාන්තාව ගෙන් තමාට ලිංගිකාශ්‍රිත රෝගයක් වැලඳී ඇති බව.
හදාරණ පාඨමාලාවේ විෂයන් වෙනුවෙන් මාන්සි වෙන්න වත් දැන් දැන් ඔහු ට හිතක් ඇත්තෙ නෑ වගේ. වරින් වර අර ගැහැනිය ගේ රූපකාය ඔහු ගේ හිතේ මැවෙනවා. ඈ ඔහු විවිධ විදියට සංවාසයට පොළඹවා ගත්තු අයුරු වරින් වර සිහිවෙනවා. ඒත් එක්ක ම හිතට නැඟෙන්නෙ බොහොම බයක්. ඒ බය නිසා ම පාරෙ තොටේ යන එන කාන්තාවක දැක්ක විට ත් ඔහු හිතන්නෙ ඒ ගැහැනිය ත් කිසියම් සම්බාහන ආයතනයක සේවය කරන එකියක ලෙස. ඒත් එක්ක ම හිතේ මැවෙන්නෙ පාරෙදි දකින ගැහැනිය එක්කත් තමා මෛථුන්‍යයේ යෙදුණා නේ ද යන හැඟීමක්. සැණෙකින් ඔහු හිත මහා බයකින් වෙළෙනවා. ඊළඟට හිතේ මතු වෙන්නෙ සම්බාහන මධ්‍යස්ථානෙ දි ඒ කාන්තාව එක්ක ලිංගික ඇසුර පැවැත්තුවෙ අනාරක්ෂිතව ද ආරක්ෂිතව ද යන සැකයක් ඉස්මතු වෙන්නෙ ඔහු ගේ ඔළුව අවුල් කර කර. ඔයින් මෙයින් සුපුන් ගෙ එදිනෙදා වැඩ කටයුතුත් ඔක්කොම වගේ අවුල් වෙලා. කිසිම වැඩක් හරියට කරන්න අමාරු තරමට ඔහු ඒ අවලං අසුරින් පීඩාවට පත් වෙලා. දැන් දැන් සුපුන්ට කෑම බීමවත් හරියකට කන්න බොන්න වත් හිතක් නෑ. හිතේ මතුවෙන්නෙ ම සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාව එක්ක සංවාසයේ යෙදීමෙන් තමා ද එච්අයිවී ආසාදිතයෙක් වෙලා ය යන හැඟීම.
දරා ගන්න බැරි තරමට ඔහු මෙයින් පීඩා වින්දා මාසයක් විතර. තමන් විඳවන වදෙන් මිදෙන්න බැරි ම තැන ඔහු එදා තමා එක්ක සම්බාහන මධ්‍යස්ථානයට ගිය තිස්සමහාරාමයේ මිතුරාට මේ ගැන කීවා.
“මචං ඕකට කරන්න තියෙන එක ම දේ තමා දොස්තර කෙනෙක් හම්බවෙන එක” මිතුරා ගත් කටට ම කීවෙ එහෙම. සුපුන් මිතුරා ගේ උපදේසය පිළිඅරන් වෛද්‍යවරයකු සොයා ගියා. වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කරල කීවෙ මේ ගැන හරියට කියන්න නම් අඩුම තරමින් මාස තුනක් වත් ගතවිය යුතු බව. මාස තුනකට පස්සෙ ඔහු ගේ රුධිර පරීක්ෂාවක් යළිත් කළ වෛද්‍යවරයා “ඔයා ගෙ ලේවල නම් එහෙම කියන්න තරං ප්‍රශ්නයක් නෑ, රිපෝට් එක නෙගටිව්....” කීවෙත් කිසියම් උපහසිතකින් වගේ කියලයි ඔහුට හිතුණෙ.
එහෙම කී වෛද්‍යවරයා ඊළඟට “ඔයාට මොන විදියකවත් සමාජ රෝගයක ලකුණු නෑ. හැබැයි සමහර විට ඔයාට ඒඩ්ස් වැලඳිලා නම් පසු කාලෙක මතු විය හැකි යි” කිවා.
ගෙදර ආ සුපුන් “ඩොක්ටර් හරියට බ්ලඩ් ටෙස්ට් එක කළා ද කියා දන්නෙ නෑ...” යන සිතිවිල්ලෙන් පීඩා විඳින්න පටන් ගත්තා. දැන් ඔහුට ගෙදර ඇත්තන් එක්ක කතා කරන්න වත් හිතක් නෑ, අම්ම තාත්තා අහන දේකට උත්තර දෙන්නෙ ත් නෑ, උත්තරයක් දුන්නත් දෙන්නෙ කේන්තියෙන්.
හිතේ වැඩිවන සැකය එන්න එන්න ම උග්‍ර වුණා. නිතර ම ඔහු පීඩා විඳින්නෙ තමා එච්අයිවී ආසාදිතයෙක් ය කියන සැක සංකාවෙන්. හිතට වද දෙන මේ ගැටලුව නිරාකරණය කර ගන්න යි කල්පනා කළ සුපුන් ඊළඟට වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවුණා. ඔහු ගේ පරීක්ෂණවලින් ද කියැවුණේ ඔහුට සමාජ රෝගයක් නැති වග. ඔහු හිත කියන්නෙ ම සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාවට ඒඩ්ස්. මං ඈත් එක්ක කළ ඇසුර නිසා සහතික වශයෙන් ම දැන් මාත් එච්. අයි. වී. ආසාදිතයෙක් වෙලා.... කියන සිතිවිල්ල යි.
දැන් ඔහු බසයකට ගොාඩ වැදුණත් අසුනක වාඩි වෙන්න තරම් බයයි. මොකද කියනවා නම් ඒ අසුනෙත් කිසියම් ඒඩ්ස් රෝගියෙක් වාඩිවෙලා ඉන්න ඇති. ඔහු ගේ හෝ ඇගේ හෝ ලේ ඒ සීට් එකේ තැවරිල ඇති. ඒ හින්ද වාඩි වෙතත් වාඩි වෙන්නෙ ඒ අසුන කීප විටක් ම හොඳට පිසදමා.
ඔහු කොළඹ ගිහින් ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්නෙ තව දුරටත් ඔහු පෙළන මේ පීඩාවෙන් අතමිදෙන්න මගක් සොයමින්. ඒ වෛද්‍යවරයා ද ඔහු මැනවින් පිරික්සා පැවසුවේ කිසිදු ආකාරයක අසනීපයක් ඔහුට නැති වග. ඒ වෛi පරීක්ෂාවෙනුත් ඔහු සෑහීමකට පත් වුණේ නෑ, මට අර ගෑනිගෙන් ලෙඩේ බෝ නො වුණත් වෙනත් කාගෙන් හරි බෝ වුණා වත් ද? ඔහු තමාගෙන් ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ හින්ද ම බස් එකක ගමන් කළත් දැන් ඔහු ආසනයක වාඩි වෙන්නෙ නෑ. හිටගෙන ම යි ගමනාන්තය දක්වා යන්න කැමති. හැබැයි මේ සිතිවිලි හිතට නැඟුණාට ඒඩ්ස් රෝගය කෙනකු ගෙන් කෙනකුට බෝ වෙන්න නම් එවන් කාන්තාවක සමඟ ලිංගික අසුරක් පැවැත්විය යුතු බව ඔහු හොඳින් ම දන්නවා.
ඔහු අන්තර් ජාලයට පිවිස ඒ ගැන කරුණු හොයන්න පටන් ගත්තා. දැන් ඔහු පෙළෙන්නෙ කිසිවකු විසින් කිසියම් විටෙක තමාට එවන් රෝගියකු ගේ රුධිරය එන්නත් කළ හැකිය යන බියෙන්. සැකෙන්. එනිසාම දැන් සුපුන් ගෙදරින බැහැරට යන්න දැක්වූයේ දැඩි අකමැත්තක්. නිතර ම කාමරේට වෙලා කාලය ගත කරන්න යි ඔහු හිත කියන්නෙ ම තමා පීඩාවට පත් වෙච්චි මේ වදෙන් ගැලවෙන්න කළ යුතු දේ ගැන ඔහු හුඟාක් වෙලාවට කල්පනා කළේ හුදකලාව. දැන් දැන් රෑට නින්දෙන් පවා ඔහු කාන්තාවක හා රති කෙළියේ යෙදෙන අයුරුත් එයින් ඔහු සමාජ රෝගයකට නතු වී සිටින අයුරුත් පේන්න පටන් ගත්තා. හරියට කියනවා නම් රබර් බෝලයක් වතුරෙ ඔබාගෙන හිට අත හැරිය වහා දිය මත නැඟෙනවා වගේ ඔහුට සැනසීමක් නැති තරමට මේ වදෙන් පීඩා විඳීම කෙළවරක් නෑ. මේ කරදරෙන් නිදහස් වීමට සිය ජීවිතය නැති කරගන්නත් විටෙක සුපුන්ට නො සිතුණා ම නොවේ. බැරිම තැන ඔහු මානසික ව්‍යාධි පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය වරයකු මුණ ගැසී තමා ගේ හිතට මහ වදයක් වී තියෙන මේ කාරණය කීවා. ඔහු ඉතා සැලකිලිමත්ව සුපුන් පරීක්ෂා කළේ විශ්වවිiාලයට යන්නත් දින ප්‍රකාශයට පත් වෙච්ච කාල වකවානුව ද ඔහුගෙන් දැන ගෙන.
“මේ තරුණයා දන්නවා ඒඩ්ස් රෝගය බෝ වෙන්නෙ කොහොම ද කියා. ඒත් ඔහු ගේ හිත වෙළාගෙන ඇති මේ සැකය බොරුවක් බව ඔහුට හැඟුණ ත් දැනුණත් එය වඩාත් ප්රබලව ඉස්මතු වෙමින් පවතිනවා. තමන් පෙළන සැකය ටික වෙලාවකට පහව ගියත් ඔහු ගේ මනැස නැවත කියන්නෙ ඔහු ඒඩ්ස් රෝගියෙක් කියා. ඒ සැකය ඔහු තුළ නැවත නැවත ඇති වන්නක්. ඒකට හේතුව ඔහු එච්අයිවී ආසාදිතයෙක් ය යන හැඟීමකින් පසුවීමයි.
මුල දී සම්බාහන සේවිකාව එක්ක ඇති වුණ ලිංගික ඇසුර හිතේ පැන නැංගත් දැන් ඔහු පීඩා විඳින්නෙ කිසිවකු විසින් ඔහුට එන්නත් මගින් එය බෝ කරැති බවට ඉපිදැ ඇති සැකයෙන්. ඒ නිසයි ඔහු ගෙදරින් අඩියක්වත් එළියට තියන්න තරම් බයකින් පසුවෙන්නෙ. ඒ හේතුවෙන් ම තරහ ඇතිවීම, කලකිරීම වගේ දේවල් ඇතිවෙලා. දැන් ඔහු පසුවන්නෙ ජීවිතය කෙරෙහි බොහොම කලකිරීමකින්. මේක ඇත්තට ම මේ රෝගයේ ලක්ෂණයක්. මේ රෝගය හඳුන්වන්නේ ග්රස්තිය (Obsessive Compulsive Disorder) යනුවෙන්.
මේකෙ දි යම්කිසි ආවේගයක්, රුපයක්, හෝ අදහසක් කෙනකු ගෙ හිතට ඇති වෙනවා. ඒ හටගන්න සිතිවිල්ල, ආවේගය තේරුමක් නැති නිරර්ථක දෙයක් කියා රෝගියාට දැනෙනවා. නමුත් ඒ සිතිවිල්ල රෝගියාට පාලනය කරගත නො හැකි අයුරින් ප්රබලව නැඟෙනවා. එය යළි යළිත් හිතේ හට ගන්නවා. එයින් ජීවිතේ අඩාල වෙනවා. වෙන කිසිම දෙයක් කල්පනා කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒක බොරුවක් බව දන්න නිසා ඊට එරෙහිව ඔහු ඇතුළෙන් හටන් වදිනවා. ඒත් ඒක සාර්ථක වෙන්නෙ නෑ, එවන් තත්ත්වයට පත්වුණු පිරිමියකු වේවා ගැහැනියක වේවා එයින් මහත් සේ පීඩා විඳිනවා. මේ වද වේදනාව විඳගන්න බැරිම තැන ඉවසල ඉවසලා ඔහු හෝ ඇය හෝ සිය පණ නසා ගන්න වුණත් පුළුවන්. දැන් මේ රෝගියා ගේ ග්රස්තිය, විශාදය දක්වා වර්ධනය වෙලා. නමුත් මෙහි මූලික රෝගය ග්රස්තිය යි.
මේ ව්‍යාධිය ගැහැනු පිරිමි දෙපිරිසට ම එක වගේ ඇති වෙන්න පුළුවන්. මෙය තරුණ සමයේ දී ඇතිවන රෝගයක්. මොළේ පිහිටා ඇති රසායනික පරිපථවල අඩුවක් දකින්න පුළුවන්. ඒක පූර්ව මස්ථික්ෂයේ. ඒ පරිපථවල ඇති අඩුපාඩුවක් නිසා මොළේ සිතිවිලි සියුම්ව සුසරවීමේ අඩුවක් හට ගන්නවා. ඒ හේතුවෙන් ම මොළේ මේ පරිපථවල නැවත නැවත එකම සිතිවිලි මාලාවක් හට ගැනීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. එයින් තමා මේ රෝගය හට ගන්නෙ.
මේ රෝගය ජානමය වශයෙන් ඇති වීමේ බලපෑමක් තියෙනවා. එමෙන් ම මේ රෝගය යම්කිසි සිද්ධියක් නිසා ඇතිවන බලපෑමෙන් තරුණ කාලෙ දි මතුවෙන්න පුළුවන්. නමුත් ජානමය බලපෑම තමා ප්‍රබල. සාමාන්‍යයෙන් මෙය මතුවෙන්නෙ අවුරුදු විස්ස, විසි එක, විසි දෙක වගේ යොවුන් වියේ දි. කලාතරකින් ඊට අඩු වයසෙ දි වුණත් ඇති විය හැකි යි.
නිතර නිතර දෑත් අපිරිසිදු යි කියමින් බොහෝ විට අත් දෙක සේදීම, සිරුර අපිරිසිදු යැ යි කියමින් බෝ වෙලාවක් සෝදා පවිත්‍ර කිරීමට කාලය මිඩංගු කිරීම, හිතේ හටගන්නා බිය හා සැකය නිසා ගෙදර දොර ජනෙල් නිතර වසා තිබීමට පෙළඹීම, ඒවා නැවත නැවත පරීක්ෂාවට ලක්කිරීම. එකම ක්‍රියාව යළි යළිත් කරන්නට පෙළඹීම වැනි දේ තමා දකින්න පුළුවන් රෝග ලක්ෂණ. මෙම රෝගියාට ඇතිවන රෝග ලක්ෂණ වෙනත් රෝග හා සම්බන්ධවත් ඇති විය හැකි යි.
මේ ව්‍යාධිය ඖෂධ ප්‍රතිකාර මෙන් ම චර්යාත්මක ප්රතිකාරවලින් සුවපත් කළ හැකි යි. රෝගියාට සාර්ථක සුවයක් ලබා ගැනීමට ඒ දෙකම වැදගත්. චර්යාත්මක ප්රතිකාරවලින් කෙරෙන්නෙ ඔහු සිත් හි හටගන්නා එවන් සිතිවිලි නැවත නැවත හට ගැනීමේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමයි. ඒ උදෙසා ඊට අවශ්‍ය අභ්‍යාසවලට රෝගියා යොමු කළ යුතු යි. සම්පූර්ණයෙන් ම සුවකළ හැකි රෝගයක්. ඇතෑම් රෝගීන්ට දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඇතැම් රෝගීන්ට මේ ව්‍යාධිය දීර්ඝ කාලයක් පවතින්නත් පුළුවන්. මේ රෝගියා නම් මා කරා ආවේ හුදකලාව යි.
- සුගතපාල මැන්දිස් -