උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

සම්මානනීය ගත්කරු වැලිකන්නගේ දිවිසැරිය නිමා කරයි

කොළඹින් ගොස් මාතලේ රාජධානිය කරගෙන සාහිත රජ්ජුරුවන් සේ විසූ අපේ කාලයේ සොඳුරු මිනිසා ගැන කෙටි ආවර්ජනාවෙක්

සුමිතුරු වැලිකන්නගේ නම් හේ....
මාතලේ දිවි ගෙවූ ඔහුත් ගාල්ලේ ජීවත්වන මාත් අතර මිතුදම ඇරඹෙන්නේ, උපාලි පුවත්පත් සමාගම විසින් දිවයින පුවත්පත ඇරඹීම නිසාවෙනි.  අප මිතුරන් බවට පත්වූයේ දිවයින විසින් නිර්මාණය කරන ලද පාලම හරහා යි. එදා පටන් අපි හොඳ මිතුරක් වූයෙමු. නිතර නිතර හමු නොවුණත් දුරකතන මං ඔස්සේ අපේ ඇසුරේ බැමි සවිමත් විය. ඊට පාදක වන්නේ සැබවින් ම එකම දේශපාලන මතිතමතාන්තර අප මිත්‍ර සමූහයා දැරූ නිසා යැ යි ආඩම්බරයෙන් සඳහන් කිරීම වටී. එදා මෙදා තුර ගෙවී ගිය කාලය හතළිස් දෑවුරුද්දකි.

මේ කාලය තුළ ඔහු ගේ පන්හිදෙන් ලියැවුණු දේ කෙතෙකේ ද? බොහෝ ලිපි, ලියැවිලි බොහෝ කිස්කන සේ ගියන්නට ඔහු අති දක්ෂයෙක් විය. වදින තැන්වලට වැදෙන්නට ඔහු ලියන ලිපියෙක, සටහනෙක ඇති ශක්තිය එමට ය.

රාජ්‍ය සම්මානලාභී ගත්කරුවකු සේ කීර්ති කදම්බයකින් බැබළුණු ඔහු ලොකු කුඩා කාටත් දැක්වූයේ එකමාකාරයේ හිතවත් බවෙකි.

ළෙන්ගතුබවෙකි. දෙතුන් වංගියක් රාජ්‍ය සම්මානයට පාත්‍රවන නිර්මාණ කළ වැලි ගේ 'සුදු සෙවණැලි' නම් නවකතාව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද්දා පමණක් නොව මහැදුරු සුනිල් ආරිරතනයන් විසින් එය අගනා සිනමා පටයක් ද කරන්නට ද පෙලඹිණි. මගේ මතයේ හැටියට නම් ඒ සිනමා පටය ද සම්මානයට පාත්‍ර වූ බවෙකි.  ‌

බොහෝම රසවත් කතාවකින්කි  සම්මානනීය ලේඛක වැලිකන්නගේ ගේ ජීවිතය ද. ගුරු පත්වීඹක් ලැබ දිගාමඬුල්ලට ගිය ඔහුට මහානාම රාජපක්ෂ නම් කෘත හස්ථ විදුහල්පතිවයරා හෙවත් මායාරංජන් සමඟ ගුරු සේවයේ යෙදුණු හැටිත් ඔහු ගේ ඇසුර සිය ලේඛන කලාවට මහත් පිටුබලයක් වූ අයුරුත් ඔහු කියන්නේ බෝ නිරහංකාර මිනිහකු බව අපට අඟවමිනි. කෙසේ වුව ද අද අප සැමගෙන් ඔහු සමු ගෙන ය. අනිද්දා බදාදා ඔහුගේ නාමය පමණක් අප තුඩඟ රැ‌‌ඳේවි !!

හවුරුද්දකට පෙර දොහක..

හවුරුද්දකුත් මාස මාස පහකට පසු යළි  මෙසේ පිටපත් කරන්නට සිදු වූ වගයි....

සුමිතුරු වැලිකන්නගේ නම් හේ....

“සුගත්, මස්සිනා මං වැලි. අපි හෙට එනවා උඹලගෙ ගෙදර”

දුරකතනය ඔස්සේ ගලා ආ හඬින් ඊට පස්සෙ කියවුණේ මානෑවත් තවත් සගයකුත් අපේ දිහා එන වග.

“‘හ්ම් හරි හරි.. පොල්සම්බෝලයකුත් එක්ක බත් කටකුත් හදන්නං එහෙනං”

එය කෙටි සංවාදයක්. බොහොම කෙටි එකක්. වැඩි මනත් සංවාදයේ දී වැලි කීවේ ඒ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් විශේෂඥ වෛද්‍ය  නාමල් ගමගේ මහතා ගේ වාට්ටුවේ, ප්‍රතිකාර ලබමින් සිටිය අපේ මිතුරා, පියසේන කහඳගමගේ සහෝදරයා බලන්න යායුතු හෙයින් හෙට හවහ අපේ දිහා ඇවිත් පසුදා කරාපිටිය ඉස්පිරිතාලෙට යමු ය කියා යි.

“කගය බලන්න හෙට වැලිකන්නගේ මහත්තයයි, තවත් දෙන්නකුයි එනවා... මං බිරිය දැනුවත් කළා.

ඉතින් මේ එන මිත්‍රයන්ට සලකන්නත් එපා යැ. මං ගිහින් ඉස්තරම් ම වර්ගයෙන් දෙකක් ම අරං ආවා.

කියූ පරිද්දෙන් ම පහුවෙන්දා හවහ වැලි යි, මානෑව යි ඔවුන් දෙන්නාගේ තවත් මිතුරකු යි අපේ දිහා  ආවා. ඒ තුන් දෙනත් එක්ක අර මධුපැණින් එකක් අරන් අපි ගියා ගේ ඉස්සරහ තියෙන ධීවර වරායේ එක අන්තයකට. ඒ කියන්නෙ දොඩන්දූවේ ඉස්සර තිබුණු රේගුව ළඟට. මං හිතුවෙ කේ. බී. මානෑවත් අනිත් සගයත්,  හොඳ මධුලෝලීන් වෙන්නැති ය කියා. අර තුන් වැන්නා හෙවත් මගේ අමුත්තා,  හමුදාවේ ඉහළ නිලයක් දරපු තැනැත්තෙක්. නම නං දන්නෙ නෑ. ඒ කියන්නේ වැලි ඔහු හඳුන්වා දෙමින් නම කිව්වත්, අවුරුදු විස්සකට කලින් නිසාත්, ඔහු හා මා අතරෙ සබඳතාවයක් නොතිබුණු නිසාත් අමතකයි.

දැන් අපි හතර දෙනා දොඩන්දු ගල ඉස්සරහ, මුහුදු වෙරළෙ වාඩිවෙලා අර මධුපැන් ටික ටික පානය කරනවා. කවුද? මම යි, වැලි යි. අනිත් දෙන්නා හොඳට කටගැස්මට වැඩේ දෙනවා. ලෝකෙම දේවල් අපි හතර දෙනා කතා කරන්න ඇති.

දොඩන්දූවේ රේගුවක් තිබුණු කතාව, දොඩන්දුව වරායට, සුළුප්පුවලින් රටඋළු ගෙනා හැටි, මාලදිවයින්කාරයෝ ඒ සුළුප්පුවලින් ඇවිත්, ගම් නියම්ගම්වල සැරිසරමින් 'බොණ්ළුවා' වික්ක හැටි. මං ඉතින් බක පණ්ඩිතයා වගේ කියෝනවා. අර තුන්දෙනා අහන් ඉන්නෙ. 'වැලිය' අතර මැදදි පොලු හරස් කරන නිසා, මානෑවයි, හමුදා හිතවතායි බඩ අල්ලන් හිනා වෙනවා. 

ඉරත් මූදෙ ගිලිච්චි. දැන් අවට පැතිරැත්තෙ කළුවර. බෝතලේවත්, කටගැස්මවත්, වීදුරුවත් පේන්නෙ නැති තරමට කරුවළ මෝරා වැඩෙද්දි, හතර දෙනා වැල්ලෙන් ඇවිත් මගේ කාමරේට රිංග ගත්තා. දැන් කාමරේ පොරේ. කවුද මානෑවයි, මිතුරයි, බයිට්වලට පොරේ. වැලියයි මමයි වීදුරු දෙක අරන් පොරේ. දැන් මේ වෙන කොට තාම බෝතලෙන් බාගයක් විතර අහවරයි. තව බෝතල එක හමාරක් විතර තියෙනවා. බොන්නෙ වැලිකන්නගේ අයියයි, මම යි. ගෙදර උන්නැහේ විටින් විට මට කතා කොරලා, ආනුපානු පිඟන් එහාට මෙහාට හුවමාරු කරනවා. හිස් ඒවා බිරිය අතට මගෙන් පනින්දි, කටගැස්ම පිරුණු පිඟාන මගේ අතට මාරු වෙනවා.

“මචෝ වැලියෝ... අපි දෙන්න කොහොමද යෝදයෝ බෝතල දෙකක් අහවර කරන්නෙ... මොකදැ මං උඹල තුන් දෙනකුට නේ බඩු ගෙනාවේ.... මං කිව්වා...

“සුගත්, මචං දැන් අරූ කොහෙද ඇත්තේ... ”

“කවුදැ”

“රත්නෙ.. රත්නශ්‍රී!”

හ්ම් හොඳයි බලමු රත්නෙ කොහෙද කියා.

මං දුරකතනය වෙතට ගෑටුවා. රත්නෙගෙ ජංගමයට කතා කළා. “හෙලෝ කවුදැ, මචං රත්නෙ මං සුගතෙ... ඉතින්...."

“උඹ කොහෙද ඉන්නෙ. වරෙන් අපේ දිහා. මේන් වැලිකන්නගේයි, මානෑවයි ඉන්නවා ඇවිල්ලා. වැලිය කිව්වා උඹට කියන්න කියලා අපේ දිහාවේ ඉන්න බව..."

විනාඩි පාළොහකින් විතර රත්නශ්‍රී ආවා. ඒ ආවෙත් හීනියට හීනියට මඟදි මොනව හරි කොර කොර ඉඳල. මොකද මං ඇහුවහ ම කොහෙද ඉන්නේ කියා අකුරළ ය කියලයි උත්තරේ ලැබුණේ. මං දන්නවා ඒ හරියෙදි කොහොමද සුහදහමු ඇති වෙන්නෙ කියා.

රත්නෙගෙ අතටත් වීදුරුවක්. දැන් ඉතින් රසකතා ආකරයක් ඇරඹුණා. මගදි මොනව හරි කරපු රත්නෙ, දෙවැනි වඩියෙන් අඩක් අහවර කරලා, පදම ටිකක් හරියන කොට ම වගේ ගුණදාස කපුගේ ආවේ නැතෑ.

“සොරබොර වැවට ගිහින් සුදු නෙළුම් නෙලන්, උතුරු කොනට දකුණු කොනින් ගිහින් බිම්බරක් සෙනග’ ඈඳාගෙන අපේ ගේ මිහිරෙන් මිහිර පිරෙව්වා. ගෝලයන් හතර දෙනත් එක්ක. අපි අත්පුඩියෙන් රත්නෙව දිරිමත් කළා. මා ප්‍රිය මහේෂිකාවී – දිගු නීල නේත්‍ර දියවී, සීතලට මේ ගලන්නේ ආදරය නොවෙද දේවී...."

ගීත ගයන්න පටන් ගත්තා. රත්නෙ එයා ලියපු ගීත ගායනය කරන්නේ නැතත් එදා අපේ දිහාවෙදි හිමි හිමිහිට මුමුණන්න පටන් ගත්තා ඔහුගේ ගීපැබැඳුම්. රසවත්ව ළයාන්විතව... මගේ ලියන මේසේ තමයි ඩෝලය වුණේ. තවත් අඩ හොරාවකින් විතර රත්නශ්‍රීත් එක්ක වාහනේ ආපු ගෝල බාලයින් ද අපට එකතු වෙච්චි.

ඉතින් රස සාගරයක ගිලී සැනහෙන්න එදා ඒ අවස්ථාව සැලසුණු හැටි... මගේ කල්පනාවේ හැටියට එදා රෑ එක විතර වෙන්නැති රත්නෙයි ගෝලබාලයනුයි අපේ දිහාවෙන් යන කොට වෙලාව.

පහුවෙනිදා දවල් දොළහට අපි හතර දෙනා ගියා කරාපිටිය රෝහලට. අපේ රෝගී මිතුරා 'කග' ව බලන්න. ඇඳ ඉහ ළඟ දැන්වීමක්. එයින් කියැවුණේ දුම්පානයෙන් වැලකෙන ලෙසට. කග සිය මිත්‍රයන්ගෙන් කරන ලද ඉල්ලීමක්.  ඔහු ඒ මොහොතේ ඇඳේ හුන් අයුරු අප කාගෙ කාගෙත් ඇස්වලට දැනුණේ කඳුළෙක, උණුහුමත් එක්ක සිහිලක්. සිහිලක් එක්ක උණුසුමක්.

කග වේදනාබරව වුණත් තමන්ගේ, දුක සැප හොයා බලන්න එන හැම කෙනකු දිහා ම, බලා කිසිවක් පවසන්න වෑයම් කරනවා. නාමල් ගමගේ ඉසිවර වෙදැදුරුවරයාණන් ගේ උපදෙස අනුව, කිසිවකු කග හා කතාවට සම්බන්ධ නොවිය යුතු ය යන්න යි, රෝහලේ ඇත්තන් කියන්නෙ. ඒත් මේ මිනිහා ඒ ගැන නොතකා, තමන්ගේ මිතුරන් හා හිතවතුන් එක්ක කතා කරන්න ම යි උත්සාහය. රෝගීන් බලන්නට ඇති ඉඩ අවකාශ, අහවර වන තෙක් ම ඔහු ගේ ඇඳ අසල අප හිටියා. කරාපිටියෙන් ගාල්ල මධ්‍යම බස් නැවතුම් පොළට ආ අප සමුගත්තේ, වේදනාබර හිත් හතන්වලින්. ඒ වෙනදා අහවරයක් නැතිව, කතාවට ම මුල පුරණ කගගේ තත්ත්වයේ බරපතල කම හින්දා.

මා වැලිගෙනුත් මානෑවගෙනුත්, අනෙක් මිතුරගෙනුත් සමුගෙන ගෙදර ආවා. එදා හවස් කරේ, මාතලේ ගිය වැලිලා,

මානෑවලා ආපහු, ගාලු නොගොස් බද්දේගම දුන්වත්තෙ ‘පන්හිඳ’ ගියේ කඳුළින් බිරුණු ඇස් ඇතිව.

සුපසන් වතකි වැලි, පසන් හඬකි වැලි, පසන්  රුවෙකි වැලි.

රත්මලානේ අත්තිඩියෙන්, මාතලේට ඇවිදින්, සිය දැනුම, බෙදාහදා දෙමින් රටක්, පරපුරක්, ඥානනය කරමින් වැලි මාතලේ රාජධානිය කරන්, වැඩ වාසය කරන්නේ පළාත ම ඒකාලෝක  කර කර. එවන් සත් පුරුෂයකුගේ ඇසුර, මාතලේ උදවියට වගේ ම, අප කාට කාට  නොවටීද?

වැලිකන්නගේ, 'වැලි' යනුවෙන් අප බෝ ආදරයෙන් අමතන පියදාස වැලිකන්නගේ නම් මාතලේ සිය රාජධානිය කරගත්තු, මේ සාහිත රජ්ජුරුවන් ට උපහාර කිරීම, ජාතියේ අප සැමගේ යුතුකමයි. ඒ ආදරණීය මිනිසා පියදාස වැලිකන්නගේ සකිසඳ! චිරං ජයතු!!! චිරං ජයතු!!! චිරං ජයතු!!! ආවඩා ආයු බෝ වේවා!

සුගතපාල මැන්දිස් -

මේ ඉකුත් වසරේ 2023 ජුනි මහේ 16 වැනි දා මාතලේ ජනතාව විසින් පවත්වන්නට යෙදුණු පිදාස වැලිකන්න ගේ නම් සොඳුරු මිනිසාට මාතලේ දිසාපතිතුමියගේ සංවිධායකත්වයේන්  පැවැත් වූ උපහාර උලෙළ නිමිත්තෙන් ලියූ කෙටි සටහන යි.

ඒ එදා ය. මේ අද ය. අනූවසරක කාලයක් රටට, දැයට, හිත සුව පිණිස, ජීවිතයේ සොඳුරුතම කාලයේ, වෘත්තීය සටන් කරමින් ද, සමාජ සාධාරණත්වය වෙනුවෙන් ද, සමාජශීලීව ක්‍රියාකරමින් පන්හිඳට පණපෙවූ මිනිසකු පිළිබඳ කෙටි සටහනකි. ගුරුවරයකු සේ සමාජයට පිවිසි මේ විදග්ධ මිනිසා,  මහා මෙහෙවරක් කළ ප්‍රබුද්ධ සුන්දර මිනිසා, පියදාස වැලිකන්නගේ සුමිතුරා, දිවිසැරිය නිමා කළ බව, අද දහවල් මගේ දෙසවන්පත් අතරට රිංගවූයේ ළබැඳි සොවුරු කරුණාරත්න අමරසිංහයන් ය.

''මචං සුගතෙ, වැලිය නැතිවෙලා අද උදේ..... " ඒ කරුගේ මුවින් පිටවුණු වදන් දෙක තුන යි. මම මොහොතකට ගල් ගැසුණෙමි. ඒත් ඉතින් වවැලිකන්නගේ සකිසඳ හවුරුදු අනූවක් ආයු වලඳා, දිවි සැරිය නිමා කිරීම වළකන්නට කිසිදු ජගතකු ලොව පහළ නොවූ බව සිහිපත් කිරීම හැර දැන් ඉතින් කුමක් කළ යුතු ද?

අනේක විධාකාර දුක් කම්කටොලු උරා බොමින් වුව ඒ සියල්ල පැණිරස සේ පෙරා බී, වැලිකන්න ගේ සුමිතුරා ගේ නාමය හෙළ සාහිත අඹරේ,  පහන් තරුවක් සේ දිදුලන වග හිතා ගෙන සැනහීම හැර අන් කුමක් කරම් ද?

වසරකුත් මාස පහකට පසු ලියන්නට සිදුවී ඇත්තේ  සමුදෙන්නම් සොවුර,

මේ අපගේ විප්ලවීය ආචාරය යි !! යි පවසා  නිවන් මඟ සක්ෂ්‍යාත් කර ගනිත්වා යනුවෙනි.- 

2024/11/25 වැනි සඳුදා