උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

සරසවි තනතුරු මාලිමාකරණයට නව පනතක්!??

උදය ගම්මන්පිලගෙන් අනාවරණයක්

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධන කරන පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තිබෙනවා. මේ පනතේ ප්‍රකාශිත අරමුණ වෙලා තිබෙන්නේ පීඨාධිපතිවරු සහ අංශාධිපතිවරු පත් කරන ක්‍රමවේදය වෙනස් කරන එක. නමුත් දැන් තිබෙන ක්‍රමය වැරදියි, ඒක වෙනස් කරන්න ඕනි කියලා සරසවි ප්‍රජාවෙන් කිසිම ඉල්ලීමක් තිබුණේ නෑ. මේ පනතේ යටි අරමුණ වෙලා තිබෙන්නේ පීඨාධිපති සහ අංශ ප්‍රධානි තනතුරු මාලිමාවුන්ට ලබා දීලා විශ්ව විද්‍යාල පද්ධතිය මාලිමාකරණයට ලක් කරන්න. මාලිමාවට වැඩ කරපු කාට හරි දැන් තිබෙන පනත යටතේ පීඨාධිපති හෝ අංශාධිපති වෙන්න බැරි නිසා මේ පනත සංශෝධනය කරන බවටයි විශ්ව විද්‍යාල ප්‍රජාවේ මතය වෙන්නේ. පසුගිය ජනපතිවරණයේ දී සරසවි ඇදුරන් විශාල පිරිසක් මාලිමාවට වැඩ කලා. මේ අයගෙන් පිරිසක් පාර්ලිමේන්තු ආවා. තවත් පිරිසක් අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, සභාපතිවරු වුණා. මේ අතරේ කිසිම තනතුරක් නොලැබුණු විශාල පිරිසක් කලකිරීමෙන් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ අය කට අරීවි කියලා ආණ්ඩුව බයෙන් ඉන්නේ. ඒ නිසා තමයි විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරලා මේ අයට තනතුරු දීලා මේ අයව නිහඬ කරන්න හදන්නේ.

මේ පනත සම්මත වන තුරු සියළුම විශ්ව විද්‍යාල වල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම තාවකාලිකව නතර කරලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විධියට විශ්ව විද්‍යාල පරිපාලනය සම්පූර්ණයෙන් අඩපණ වෙලා. පනත සම්මත කරන තුරු තිබෙන ප්‍රශ්න වලට වඩා පනත සම්මත වුණොත් මතු වන ප්‍රශ්න වැඩියි. පීඨාධිපතිවරයෙකු ධූර කාලය තුල ඕනෑම අවස්ථාවක ඉවත් කරන්න පාලක සභාවට බලය ලැබෙනවා. පාලක සභාවේ බහුතරය පත් කරන්නේ ඇමතිතුමා. පීඨාධිපතිව පත් කරන්නේ පීඨ මණ්ඩලය. ඒකේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සිට කතිකාචාර්ය දක්වා ඉන්න සියළුම ගුරුවරු ඉන්නවා. කතිකාචාර්යවරුන්ගේ බහුතර කැමැත්තෙන් පීඨාධිපති වෙන කෙනා මාලිමාවට කඩේ යන කෙනෙකු නොවේ නම් එයාව ඕනෑම අවස්ථාවක අස් කරලා දාන්න දේශපාලනික වුණු පාලක සභාවට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මෙතෙක් පීඨාධිපති වෙන්න පුළුවන් අංශාධිපතිවරයෙකුට විතරයි. නමුත් මේ පනතින් කතිකාචාර්යවරයෙකුට පවා කෙලින්ම පීඨාධිපති වෙන්න පුළුවන්.

කිසිම ආණ්ඩුවක් මේ විධියට විශ්ව විද්‍යාල දේශපාලනිකරණයට උත්සාහ කලේ නෑ. විශ්ව විද්‍යාල ආණ්ඩුවේ බලපෑමෙන් තොරව ස්වාධීනව පාලනය වෙන්න ඕනි කියන අදහසින් තමයි පනත් සකස් කලේ. අවාසනාවට මෙහෙම පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා කියලා තවම විශ්ව විද්‍යාල ප්‍රජාව දන්නේ නැතිව ඇති. නැතිනම් මේ පනතට විරෝධය පාන්න මුලින්ම එන්නේ එදා 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියන සටනට නායකත්වය දුන්නු හරිනි අමරසූරිය අගමැතිතුමිය. ඒ නිසා විශ්ව විද්‍යාල දේශපාලනකරණයට පාර කපන මාලිමාකරණයට පාර කපන මේ පනත් කෙටුම්පත පිළිබඳ සරසවි ප්‍රජාවගේ අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පියා නොදන්නා අවජාතක දරුවෙක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ සංවාදය අද හයේ පොතේ එක ඉංග්‍රිසි මොඩියුලයකට සීමා වෙලා. මේක මුහුද මැද තිබෙන දැවැන්ත අයිස් කන්දේ ජලයෙන් උඩට ආපු කඳු මුදුන විතරයි. සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අවුල්. අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන දේශප්‍රේමිත්වය, විනය සහ ධාර්මික බව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා නැත්තටම නැති කරනවා. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයේ ට්‍රොජන් අශ්වයා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මේක සම්පූර්ණයෙන් අගමැතිනිය සිය එන්ජිඕ නඩය සමග කරන විනාශකාරි ව්‍යාපෘතියක්. අගමැතිනිය තවමත් හිතාගෙන ඉන්නේ එයා නෙස්ට් ශ්‍රී ලංකා එන්ජීඕවේ ප්‍රධානියා කියලා මිස ලංකාවේ අධ්‍යාපන ඇමතිනිය කියලා නොවේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැවැන්ත සමාජ සංවාදයක් සමග සිදුවිය යුතු දැවැන්ත ව්‍යාපෘතියක්. අවම තරමින් මාලිමා අධ්‍යාපන කමිටුවේ සභාපති වුණු මහචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිවත් මේ ගැන දන්නේ නෑ කියලා එතුමා ප්‍රකාශ කර තිබුණා. මේ රටේ ඉන්නා විද්වතුන් දන්නේ නැතිනම්, අධ්‍යාපනඥයින් දන්නේ නැතිනම් ගුරුවරු දන්නේ නැතිනම් අඩුම ගණනේ මාලිමාව දන්නේ නැතිනම් මෙතැන කුමන්ත්‍රණයක් නැද්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය අගමැතිතුමිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පත් වෙලා.

හයේ ඉංග්‍රිසි පොතේ කොල දෙකක් ඉරලා මේ ප්‍රශ්නය විසඳිය හැකියි කියලා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. අපි කොල ඉරන්නෝ කියලා අළුත් රැකියා අවස්ථා ජනිත කලා, වඩේ කර්මාන්තයට කඩල කර්මාන්තයට පරිසර හිතකාමි මළු හදන්න කොල ලබා දුන්නා කියලා ඩෝබි බලකාය ලවා සමාජ මාධ්‍යවල ලියවලා මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුව පව්. පොතේ කොල දෙක අනිවාර්රයෙන් ඉරා දැමිය යුතුයි. ඒත් කොල දෙකක් ඉරා දැමීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. හරිනි අමරසූරිය මැතිනිය අනිවාර්රයෙන් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. නමුත් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්විමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. මේ ප්‍රශ්නය විසඳීමට නම් ආණ්ඩුව වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත යුතුයි.

අධ්‍යාපනයෙන් කරන්නේ ජාතියේ අනාගතයේ අත්තිවාරම දාන එකයි. අද ලෝකය පුරා ලංකාවේ අධ්‍යාපනයට විශාල පිලිගැනීමක් තිබෙනවා. විදේශීය විශ්ව විද්‍යාලවල උගන්වන කාලයේ අපි ඒක අත්වින්දා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ අතිශයින්ම බැරෑරුම් කටයුත්තක්. එවැනි ලොකු වැඩක් කරන්න අවශ්‍ය අත්දැකීම්, දැනුම සහ බුද්ධිය මේ ආණ්ඩුවට නෑ. මේ තුනෙන් එකක් හරි නැතිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ. අවාසනාවට මේ ආණ්ඩුවට මේ තුනෙන් එකක්වත් නෑ. ඉතින් කොහොමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ? ඒ නිසා මාලිමා ආණ්ඩුව වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත යුතුයි. එහෙම කලොත් මේ ආණ්ඩුව රට වෙනුවෙන් එකම එක වැඩක් හරි කලා කියලා මාලිමාවට ඡන්දය දුන්නු අයට සතුටු වෙන්නත් පුළුවන්.