උණුසුම් පුවත්කාලීනදේශපාලන

සර්වජන බලය කරපින්නං පොරපිටියට බට දිලිත්

ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාය මාර්ගික සැලැස්ම තරු එළියෙන් දිදුලන වග යි

ජනාධිපතිවරණය -   2024

ජාතික උපාය මාර්ගික සැලැස්ම ජාතික ප්‍රමුඛතා ලෙස අත්‍යවශ්‍ය නිවැරැදි කිරීම්

අපගේ සදාදරණීය මාතෘභූමියත් එහි වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් යනාදි සකලවිධ ජනතාවත් මුහුණ දී සිටින්නේ නිදහසින් පසු යුගයේ දැවැන්තම ආර්ථික, සමාජයීය, දේශපාලනික, පාරිසරික සහ සංස්කෘතික පරිහානියටයි. අප මේ අර්බුදයන්ට මුහුණ දෙන මොහොතේ ගෝලීය සන්දර්භය එකී අර්බුදයන් තීව්‍ර කරන්නට දායක වෙමින් පවතී.

“මිහිතලය අයිති මිනිසාට පමණකි” යන සංකල්පයේ පිහිටා කාර්මික විප්ලවයෙන් ද හරිත විප්ලවයෙන් ද සිදු කළ දැවැන්ත පාරිසරික විනාශය හමුවේ මිනිසුන් පමණක් නොව සමස්ත මිහිතලය ම අද පැවැත්මේ තර්ජනයකට මුහුණ දී සිටී. වරක් සුළි කුණාටු ලෙසින් ද තව වරක මහ වැසි ලෙසින් ද තවත් වරක නියඟ ලෙසින් ද අපට දැනෙන්නේ පාරිසරික විනාශය හමුවේ සොබාදහමේ කුපිත වීමයි.

සොබාදහම මිනිස් සංහතියේ පැවැත්මට තර්ජන එල්ල කරන මොහොතේ සාමුහිකව ඊට මුහුණ දෙනු වෙනුවට රාජ්‍යයන් ලෙස වෙන් වී මිනිස් ගුණ වළලමින් කලාපීය යුද ගැටුම් ලෝකය පුරා මතු වී ඇත. යුද ගැටුම් ලෙස ප්‍රකාශ වන්නේ සමස්ත ලෝකය ම වෙලී ඇති ආර්ථික සහ සංස්කෘතික පරිහානියයි.

ලොව මුහුණ පා ඇති ආර්ථික, පාරිසරික සහ සමාජයීය අර්බුදයන්ට විසඳුම් ප්‍රගතිශීලිත්වය, පරිසර හිතකාමිත්වය, අල්පේච්ඡත්වය, සාමුහිකත්වය සහ සමානාත්මතාවය මත පදනම් වුණු අපගේ සභ්‍යත්ව රාජ්‍යය තුළ ගැබ් වී ඇති බැව් අපි විශ්වාස කරමු. ජාති ආගම් භේදයකින් තොරව මේ උතුම් රට මව්බිම කරගත් සකලවිධ ජනතාවගේ උරුමය වුණු අපේ සභ්‍යත්වය දැවෙන ලොව සැනසීමට සමස්ත මානව වර්ගයා වෙත දායාද කළ හැකි බව ප්‍රකාශ කරන්නේ මහත් වූ අභිමානයෙනි. අවාසනාවට එකී උරුමයන් පසෙක දමා ජාතික ආර්ථිකය බිඳ දමමින් ආනයන මත රැඳෙන ආනයන මූල්‍යනයට වාණිජ ණය ලබා ගන්නා නව ලිබරල්වාදී ආර්ථික දැක්ම 1977න් පසු බිහි වුණු සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය විය. එකී නව ලිබරල්වාදි ආර්ථික උගුලේ දිගු කාලයක් පැටලී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස අප අද ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් බංකොලොත් වුණු සිඟමන් යදින පරාධීන ජාතියක් බවට පත් වී ඇත. ණය ගැති බවේ අසරණකම අයුතු ලෙස භාවිත කරමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද බලවත් රටවල් ද ශ්‍රී ලංකාව මත සිය ග්‍රහණය තර කරමින් සිටී.

එබැවින් වසර දහස් ගණනක් අපේ මුතුන් මිත්තන් දිවි පුදා සුරැකි ස්වාධීනත්වය අපට අහිමි වීමේ අවදානමක් ඉතිහාසයේ නොවූ විරූ ලෙසින් මතු වී ඇත. ආනයන මත රැඳීමෙන් බිහි වුණු ගෙවුම් ශේෂ අර්බුදය හෙවත් විදේශ විනිමය අර්බුදයට අමතර ව ගජ මිතුරන්ට බදු සහන ලබා දීමෙන් ද දූෂිත පාලකයින් සහ නිලධාරින් විසින් බදු පැහැර හරින්නන් රකිමින් ද දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අවම රටවල් අතරට අප මව්බිම ද තල්ලු‍ කර ඇති අතර අතාර්කික නාස්තිකාර වියදම් හමුවේ එය රාජ්‍ය මූල්‍ය අර්බුදයක් හෙවත් අයවැය අර්බුදයක් බවට පත් කර ඇත.

ප්‍රවේශය 

ව්‍යවසායකත්ව රාජ්‍යයක්, සමානාත්මතාවය සහ සෞභාග්‍යය මඟින් සතුටු දැයක් නිර්මාණය කිරීම ඒකාබද්ධ ආණ්ඩුකරණය සහ එකිනෙකට බැඳුණු උපාය මාර්ග, මානව සම්පත් අභිප්‍රේරණ චක්‍රය, අපේ භෞතික සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතය, මූල්‍ය සම්පත් සඳහා පිටුබලය, ව්‍යවසායකත්ව රාජ්‍යයේ මූලිකාංග, 

ආදි කරුණු රැසකින්විත ප්‍රතිපත්ති ප්‍රකාශයක් රට හමුවේ ජනතාව හමුවේ තබමින් අති සාර්ථක ව්‍යවසායකයකු සේ කීර්තියක් සුරතෙහි රඳවන් ජනාධිපතිවරණ හටනට පොරවදින්නට පිටියට පිවිසි නීතිඥවර දිලිත් ජයවීර මහතා සුවිශේෂී චරිත වර්ධනයක් නඟා ගෙන ඇත්තෙකි. හේ හෙළදිව් හි සිටිනා කෝටි ප්‍රකෝටිපතියකු බව ජනපති සටනට අවතීර්ණව සිටින ප්‍රධාන තම අපේක්ෂකයින්  හය හත් දෙනා අතර අන් කිසිවකු ඔහු හා කරට කර නැති වග පෙන්වමින් හේ සිය වත්කම් බැරකම් ප්‍රකාශයන් ජනතාවට පෙන්වා සිටින්නේ ය. 

ඔහු ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු 62 කින් සමන්විත ය. එයින් උපුටා ගන්නා ලද පටුනෙහි දක්වා ඇති ශී්ර්ෂ ඔස්සේ දැක්වෙන අන්තර්ගතය ඔහු ගේ හා ඔහු ගේ සහායක කණ්ඩායම් හි දෘෂ්ටිය කෙබඳුදැ යි වටහා ගන්නට ප්‍රමාණවත් වනු ඇතැ යි ස දහන් කළ හැකි ය. 

මේ දිලිත් අපට දෙන ප්‍රකාශයේ පටුන යි.

අධ්‍යාපනය - ‘විශිෂ්ටයෝ’ 20

සෞඛ්‍යය - ‘සුවපත් මිනිසුන්’ 22

පරිසරය - ‘හරිත දිගන්තය’ 24

රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය - ‘සුහුරු පාලනයක්’ 26

ජාතික ආරක්ෂාව - ‘රන්වැට’ 28

ආර්ථිකය - ‘පොහොසත්’ 30

නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය පිළිබඳ දැක්ම - ‘ධනවත්’ 33

විදේශ සබඳතා - ‘බහු බැඳි නිදහස’ 36

සමාජ සුබසාධනය - ‘හිතේ හයිය’ 37

තාරුණ්‍යය - ‘පළමුව තාරුණ්‍යය’ 39

සංස්කෘතිය හා කලාව - ‘පහන් පැල’ 41

යුක්තිය - ‘සැමට සම සේ’ 43

ක්‍රීඩාව - ‘ගතට සිතට’ 45

තාක්ෂණය - ‘බිසෝකොටුවෙන් ඔබ්බට’ 47

ජාතික සමගිය - ‘එකම මුතු’ 49

වැවිලි, කෘෂිකර්මය සහ පශු සම්පත් - ‘ගොවිවරු’ 50

නීල ආර්ථිකය - ‘නිල්වන්’ 52

කර්මාන්ත - ‘පන්නරය’ 53

නාවික, ගුවන් සහ අභ්‍යන්තර ප්‍රවාහන යටිතල පහසුකම් - ‘ජීව නාලිකා’ 55

ප්‍රවාහනය - ‘ගතට සතුට’ 56

බලශක්තිය - ‘බලයෙන් බලවත්’ 57

දේශපාලන ප්‍රතිසංස්කරණ - ‘උඩු ගං බලා’ 59

ණය කළමනාකරණය 61

හෙළදිව ඊ පුවත් සංග්‍රහය මේ ප්‍රකාශය හෙට දවසේ කියවා දැන ගැනීමට හිතා ගැනීමට අවස්ථාව සැලසන්නට සූදානම් ය. ඒ ප්‍රධාන තරගකරුවන් ගේ පොරොන්දු පත්‍ර ද ඔබ ට ඉදිරිපත් කරමිනි.