උණුසුම් පුවත්කාලීනදේශපාලන

සර්වජන බලය මංගල රැලිය

‘පාට තුනයි – එකම රැලයි’

ගෝඨාභය රාජපක්ෂලා – බැසිල් රාජපක්ෂලා – පී.බී.ජයසුන්දරලා ’69 ලක්ෂයේ ජනවරම’ පාවා දුන්නාට ඒ ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී වූ අපට උන් කළ ඒ පාවාදීමේ වරදින් මිදෙන්න බැහැ. ඒ වරද නිවැරදි කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. සර්වජන බලය දේශපාලන එකමුතුවේ ඉන්නේ මේ රටේ සභ්‍යත්වයට ගරු කරන පිරිසක්

''දැන් බලන්න, ආචාර්ය හරිනි අමරසූරිය කියනවා, ‘සිද්ධාර්ථට වඩා යශෝධරා කැපකිරීම් කළා’ කියා. මේ ගහන්නේ අපේ සභ්‍යත්වයට; අපේ මුදුන් මුලට.අනුර දිසානායක කියනවා, ‘දේශපාලනයෙන් ආගම තුරන් කරනවා’ කියා. දේශපාලනයෙන් ආගම තුරන් කරනවා නම් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේ අනෙකුත් ආගම් ද සුරක්ෂිත කරනු ලැබේ.’ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය අයින් කරන්න වෙනවා. අපේ හාමුදුරුවනේ, මුන් ගහන්න හදන්නේ අපේ මුදුන් මුලට."

ජාතික නිදහස් පෙරමුණේ නායක  සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (18) නුගේගොඩ පැවති සර්වජන බලය මංගල රැලිය අමතමින් පැවසී ය.

අති විශාල ජන සහභාගිත්වයකින් පැවති මේ රැලියේ දී විමල් වීරවංශ මහතා කළ කතාව බෝ වේගවත් ය. ඊට සහභාගි වූ ජනකාය ඉතා  ඕනෑකමකින් අසා  සිටියේ මහත් වූ බලාපොරොත්තුවේ දෑස්වලින් බව පෙනුණි.

වීරවිශ මහතා සිය වේගවත් වූ කතාවේ දී මෙසේ ද සඳහන් කළේ ය.

සාන්ත දාන්ත තීන්ත කූඩු

''දැන් බලන්න, වික්‍රමසිංහ මහත්තයා ආවාට පස්සේ තිබෙන කාර්මික සාමය. ගෝඨාභය රාජපක්ෂලා ඉන්න කාලයේ ‘අන්තරෙන් – මන්තරෙන් – යන්තරෙන්’ සතියට එක බැගින් කොළඹට පෙළපාලි එනවා. දැන් මේ සියලුදෙනා ‘සාන්ත – දාන්ත – තීන්ත කූඩු’ වෙලා. බටහිරට උවමනා ‘පඹයා – කුලී කාක්කා- පඟර නැට්ටා“ පුටුවේ වාඩි වුණාම බටහිරට ගැති රතු කමිසධාරීන් හීලෑ වෙනවා; චරිතය මාරු කරනවා. ‘උන් ඔක්කොම එකයි මල්ලී‘ වෙනවා"

“අද ඓතිහාසික දිනයක්. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි, ජනවරම පාවලා දීලා, ගෝඨාභය රාජපක්ෂ පලා ගියාට පස්සේසෙමේ රටේ සැබෑ දේශමාමක, ප්‍රගතිශීලී, වාමවාදී බලවේග අඩපණ කළා’ කියා හිතාගෙන හිටපු සියලු දෙස් විදෙස් කුලීකාර බලවේගවලට, ‘නැහැ බොලව්! මේ රටේ සැබෑ දේශමාමක, ප්‍රගතිශීලී බලවේග තවම ඉන්නවා’ කියන පණිවිඩය දෙන දිනය අද නිසයි."

''ජේ. ආර්. ජයවර්ධනයට එදා බැරි වුණේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න හෝ පිරිමියෙක් ගැහැණියක් කරන්න විතරයි. නමුත් බෑනා අද ඒකත් කරනවා. ‘නාමල් කොලුවො පරිස්සම් වෙයන්’. කොලුවාටත් ඒක වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ, උන්දැලා දේශපාලන වශයෙන් ඒ තත්ත්වයට පත් කරලා ඉවරයි. මේ රට පරාධීනත්වයෙන් පරාධීනත්වයට ඇදගෙන යන, ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන මේ රට, විදේශ රටවල කොලනියක් කිරීමට යන වික්‍රමසිංහ – බැසිල් හවුල ඇතුළු බලවේගවලට ‘සුදු කොඩිය වනන දිනය නිර්මාණය කරන බලවේගයයි’ අද මේ නුගේගොඩට එකතු වූයේ. රොටී කන එක ගැන කියලා, ෆේක් එකවුන්ට්වලින් කමෙන්ට්ස් දාලා නතර කරන්න පුළුවන් බලවේගයක් නොවෙයි මේක"

''අතීතය පුරා රට, දැය, සමය වෙනුවෙන් දසදහස් ගණනින් හඹාගෙන ආපු දේශමාමක බලවේගයන්ගේ වර්තමාන පරපුරයි මේ ‘සර්වජන බලය – සර්වජන බලය’'

‘වලෝ කොළඹ‘

සමහරු හිතනවා, ‘දැන් පෝලිම් නැහැ. මේ රට වලෙන් ගොඩගනීවි’ කියා. නමුත් රනිල් වික්‍රමසිංහ, පොහොට්ටුකාරයෝ ටිකත් දේශපාලන වශයෙන් ‘ලිංගික සංක්‍රාන්ති තත්ත්වයට: පත් කරලා, ඔවුන්ගෙත් ආශිර්වාදය සහිතව මේ රට ගෙන යන්නේ ‘වල පත්ලේ වල දාන’ මාවතකයි. ඒක තේරුම් කරවන එකම දේශපාලන වේදිකාව, මේ ‘සර්වජන බලය’ දේශපාලන වේදිකාව පමණයි.

රනිල් වික්‍රමසිංහ අද මේ රට ඉන්දියාවේ කොලනියක් කිරීමේ න්‍යාය පත්‍රයක් කරේ තියාගෙන යනවා. විදුලි අර්බුදයට විසඳුම් දෙන්න, මන්නාරම සුනිත්‍ය විදුලි බලාගාරය හදන්න දුන්නේ අදානිට. ටෙලිකොම් – එයාර්  ලංකා ආයතනත් දෙන්න හදන්නේ ඒ ජාතිය බඩුවලට. ඒ විතරක් ද රනිල් වික්‍රමසිංහ මේ වන විට රට පුරා බලපත්‍රලාභී ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්නෙ ඇයි? ඔබට මතකද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගොවියාට අත් වූ ඉරණම?"

"අදානිලා – මෝඩිලා එකතු වෙලා බිහාරයේ ගොවියාගේ ඉඩම් ටික මහා පරිමාණ සමාගම් අතට යන වැඩපිළිවෙළක් දියත් කළා. අන්තිමේදී බිහාරයේ ගොවීන් තමන්ගේ ඉඩම් ලබාගන්න ‘වලෝ දිල්ලි(වරෙව් දිල්ලි)’ කියමින් විරෝධතාවයේ යෙදුණා. අද අපේ ගොවියාටත් ‘වලෝ කොළඹ“ කියන ඉරණමක් හැදීමයි මේ සින්නක්කර ඔප්පු දීම පිටුපස තිබෙන්නේ".

''ඒ විතරක් නොවෙයි විදුලි බල පද්ධති, තෙල් නල, ගෑස් නල ඒකාබද්ධ කිරීම, රේගු දෙක ඒකාබද්ධ කිරීම, ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ ව්‍යවහාරයට ගැනීම ආදියට දැන් පාර කපාගෙන යනවා. එට්කා ගිවිසුම එනවා. ආර්ථික පරිවර්තන පනත එනවා. ඒවා මඟින් ඕනෑම ඉන්දියානුවෙකුට  ශ්‍රී ලංකාව ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ සම අයිතිය ලැබෙනවා. මෙවැනි භයානක න්‍යාය පත්‍රයක් කරේ තියාගෙනයි රනිල් වික්‍රමසිංහ මේ යමින් තිබෙන්නේ "

‘අපායේ ඉන්ටර්වල්‘

ඒ අස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 13ත් පූර්ණ වශයෙන් බලාත්මක කරන්න සූදානමින් ඉන්නවානෙ. දැන් අනුර දිසානායකත් සජිත් ප්‍රේමදාසත් යාපනයට ගිහින් ඒකම කියනවා. පොලිස් බලතල ඇතුළුව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මේ සියලුදෙනා දැන් එකඟයි. හිතන්න එපා! ‘අපි අර්බුදයෙන් එළියට ආවා’ කියලා. මේක අපායේ ඉන්ටර්වල් එක. මේ අපායේ ඉන්ටර්වල් එක ඉවර වෙනවා, ණය ගෙවන්න පටන් ගත්තාම. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අවුරුදු 5ක සහන කාලයක් අරගෙන, ඒ අවුරුදු 5 අවසානයේ මේ රටේ ණය බර ඩොලර් බිලියන 150 දක්වා හෝ ඉහළ දමාගෙන ගමනක් යන්නයි රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම කල් දමා ගන්න පුළුවන් බඩුවක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ග්‍රීසියට, ආජන්ටීනාවට අත්වූ ඉරණම අත්කර දෙන පාරකයි රනිල් වික්‍රමසිංහ මේ රට ගෙනයමින් තිබෙන්නේ. දේශීය ව්‍යවසායකයා බලගන්නවාද? දේශීය කර්මාන්ත බලගන්නවාද? නැහැ. මේ යන්නේ රට ගොඩදාන මාවතක නොවෙයි"

සර්වජන මාවත

අනුර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස මේ කිසිවක් පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ සියලුදෙනා ‘අයිඑම්එෆ් වැල් පාලමේ’ යන්නයි සූදානම. ‘සර්වජන බලය’ මේ ගමන පටන් ගත්තේ මේ රට ඒ ‘වැල් පාලමේ“ රැගෙන යන්න නොවෙයි, නිෂ්පාදනය බලගන්වන, මේ රට හදන මාවතක රැගෙන යන්නයි. 69 ලක්ෂයේ අපේක්ෂාවන් සඵල කරන මාවතක මේ රට රැගෙන යාම අපේ අරමුණයි. අපේ සභ්‍යත්ව උරුමය මත පදනම් වූ මාවතක, උතුරු – දකුණ වෙන් කරන මාවතක නොවෙයි, උතුරු – දකුණ – බටහිර – නැගෙනහිර එක මිටකට එකතු කරලා එකම දැයක් – එකම රටක් හදන මාවතක මේ රට රැගෙන යාමයි සර්වජන බලයේ අරමුණ.

රනිල් – අනුර – සජිත් දැන් 13 ගැන එකම කතාව කියනවා. රනිල් කරන විනාශය ගැන අනෙක් දෙන්නා කතා කරන්නේ නැහැ. මේ ‘තුන්දෙනාම එකයි මල්ලී‘ කියලයි අපට කියන්න තියෙන්නේ. අපි මේ විනාශකාරී මෙහෙයුම පරද්දන්න සූදානම්. අපේ ගමන කිසිවෙකුට නවත්වන්න බැහැ.

නවත්වන්න හිතන්නවත් එපා! ප්‍රතිවාදී මහත්වරුනි, සිහින දකින්න එපා! අපේ මේ ගමන ජයග්‍රහණයෙන් මිස කෙළවර කරන්නේ නැහැ.

‘පාට තුනයි – එකම රැලයි’

‘චෝල ආක්‍රමණ නතර කළේ  කොළඹ වරායෙන් බාපු තෙල් අනුරාධපුරයට ගෙනිහින් අලින්ට- අශ්වයින්ට ගහලා’ කියලයි ඉතිහාසඥ සුනිල් හඳුන්නෙත්ති හිතන්නේ. එදා  කොළඹ තිබුණු ප්‍රාථමික වරාය සහ අනුරාධපුර රාජධානියේ වර්ධනය අතර සබඳතාවක් නැති බව මේ ඉතිහාසඥ සුනිල් හඳුන්නෙත්ති දන්නේ නැහැ. බලන්න, ‘මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්තිට‘ අනුව තියෙන්නේ උත්තර තුනයි. එක්කො රාජ්‍ය ආයතන විකුණන්න ඕනේ; නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕනේ; එහෙමත් නැත්නම් පොදු ජනයාගේ ස්ථිර තැන්පතුවලින් ගන්න ඕනේ. ඒ තුන හැර එයාට වෙන විකල්පයක් නැහැ. ඔය තුනෙන් එකක් කරන්න, ‘රතු කොඩියක් වනන වාහෙ කෙනෙක්’ ගේන්න ඕනෙද? ඔය ටිකමනේ රනිල් වික්‍රමසිංහ කරන්නෙ. ඕකට ‘අනුර වික්‍රමසිංහ’ ඕනෙද? තේරුම්ගන්න ආදරණීය අම්මේ, තාත්තේ මේ පාට තුනකින් ඉන්නේ මේ එකම රැලයි.

වරද, නිවැරදි කරනවා.

ගෝඨාභය රාජපක්ෂලා – බැසිල් රාජපක්ෂලා – පී.බී.ජයසුන්දරලා ’69 ලක්ෂයේ ජනවරම’ පාවා දුන්නාට ඒ ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී වූ අපට උන් කළ ඒ පාවාදීමේ වරදින් මිදෙන්න බැහැ. ඒ වරද නිවැරදි කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. සර්වජන බලය දේශපාලන එකමුතුවේ ඉන්නේ මේ රටේ සභ්‍යත්වයට ගරු කරන පිරිසක්. දැන් බලන්න, ආචාර්ය හරිනි අමරසූරිය කියනවා, ‘සිද්ධාර්ථට වඩා යශෝධරා කැපකිරීම් කළා’ කියා. මේ ගහන්නේ අපේ සභ්‍යත්වයට; අපේ මුදුන් මුලට.අනුර දිසානායක කියනවා, ‘දේශපාලනයෙන් ආගම තුරන් කරනවා’ කියා. දේශපාලනයෙන් ආගම තුරන් කරනවා නම් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේ අනෙකුත් ආගම් ද සුරක්ෂිත කරනු ලැබේ.’ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය අයින් කරන්න වෙනවා. අපේ හාමුදුරුවනේ, මුන් ගහන්න හදන්නේ අපේ මුදුන් මුලට"

"ඒ නිසා මේ ‘ත්‍රෛවිද හොරු රැලකට’ රැවටෙන්නේ නැතිව පෙරට යන්න අද අපි ජාතියට මාවතක් නිර්මාණය කළා. ‘ආයෙත් වරද්දන්න, ඔබේ අපේක්ෂාවන්ට පස්ස හරවන්න ඉඩ තියන්නේ නැහැ.’ කියන සහතිකය අපි දෙනවා. සිදුවූ වරද නිවැරදි කරන්න අපි නැවත එක්වෙමු. සමහරු අහනවා, ‘ගෝඨාභය මහත්තයාත් මේ වේදිකාවට නග්ගනවාද? කියා. පිස්සු ද? එයා නැග්ගොත් අපටවත් නගින්න වෙන්නේ නැහැ. ‘මේ සටන විජයග්‍රහණය කරවන්න, වාමවාදී, ප්‍රගතිශීලී, ජාතිකවාදී ලක් මවගේ දරුවනි, එක්වව් – රොද බ‍ඳිව්!’ කියා ආරාධනා කරනවා“

‘සර්වජන බලය’ මංගල ජනරැලිය අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, සර්වජන බලය විධායක සභික, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික නීතිඥ ඒ. ඩබ්ලිව්. එස්. අමීන්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික සිවම් ලෝගනාදන් කෝබි යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ