උණුසුම් පුවත්

සර්වෝදයේ නියමුවාණෝ ජීවින ගමන හමාර කරති

ශ්‍රී ලංකාවේ අති දැවැන්ත ස්වේච්ඡා සමාජ සේවායතනයක් වන සර්වෝදයේ නිර්මාතෘ ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය ඒ. ටී. ආරියරත්නයෝ අද අභාපවප්‍රාප්ත වූහ.

ඒ පුවත හෙළදිව සාතිශය ශෝකයෙන් යුක්තව පළ කරනු ලැබේ.

හේ මියයන විට 92 වැනි සැතපුම ඉක්මවා සිටියේ ය.

1931 නොවැම්බර් මස 05 වැනි දා ගාල්ලේ උණවටුනේ දී උපත ලද අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා පොදු ජනයා අතර ප්‍රසිද්ධව හුන්නේ ඒ. ටී. අරියරත්න යන නමිනි.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ආරියරත්න මහතා ගුරුවෘත්තියට පිවිස කොළඹ නාලන්දා විදුහලේ සේවය කරමින් සිටිය දී 1958 වසරේ ස්වකීය සිසුන් හතළිස් දෙනකු හා එහි ගුරුවරුන් දොළොස් දෙනකු කැටිව ගාලු පැමිණ කතළුව ගම්මානයේ අරඹන ලද ශ්‍රමදානයකින් සර්වෝදය ස්වේච්ඡා සේවාවට අත්පොත් තැබූහ.

එතැනින් ඇරඹු සර්වෝදය සමාජසේවා ව්‍යාපාරය 'සර්වෝදය' නමින් ගම් නියම්ගම් මෙන් ම නගරවල ද පතුරුවා පොදු ජනයාට මාර්ගෝපදේශ දෙමින්  ගම්වල ජනතා ප්‍රශ්නවලට ශ්‍රමයෙන් දායකත්වය සැපයීම ඔස්සේ අති සාර්ථක ස්වේච්ඡා ආයතනයක් සේ රට පුරා පමණක් නොව ලොව පුරා ද ප්‍රචලිත විය. සර්වෝදය ඇරඹු දා සිට අද දක්වා එකසේ පොදු ජනයාට කෙරුණු ‌මෙහෙය අති ශ්‍රේෂ්ඨ ය.

ඔහු ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් ගේ ද වියතුන් ගේ ද මහත් පැසසුමට ලක් වූ ශ්‍රී ලාංකිකයෙකි.

ආරියරත්න මහතා ගේ අභාවය පිළිබඳව ලාංකීයයන් එකා සේ ශෝකයට පත්‌ව සිටිති.

අවමඟුල් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත ය.