උණුසුම් පුවත්කෙටි කතාවසාහිත්‍යය හා කලාව

සහෝදරයෝ

හෙළදිව කෙටිකතාව

චම්පිකා මුතුකුඩ

එක පිම්මට විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ නඳුන් හිස එසවීය. දකුණතේ ඇඟිලි රිදුම් දෙයි. පෑන මදකට පසෙකින් තැබූ ඔහු ඇඟිලි දිග හරිමින් නවමින් මොහොතක් ගෙවීය.

ප්‍රශ්න පත්‍රය හා පිළිතුරු දෙවරක්ම කියවා  හමාරය. .ලියූ පිළිතුරු පිළිබඳව කිසිදු සැකයක් නැත. තවත් විනාඩි  විස්සක් ඉතිරිව තිබේ.

ඔහුට නිවස මතක් විය. සදුන් මේ වන විටත් අම්මාගේ තෙල් බෙහෙත් ටික ගා, තවා, ඇය ඇග සේදීමට ගෙන යනවා විය යුතුය .අම්මා ඇඳට වැටුණ දා පටන් නිවසේ සෑම කටයුත්තක්ම පාහේ ඉටුවන්නේ  සඳුන් අතිනි.ඉඳහිට ගේ අතු ගෑමක්, සඳුන්ගේ වගාවට වතුර දැමීමක් , මල් ටිකක් කඩා දීමක් හෝ වැලේ රෙදි ටික ගෙට ගැනීමක් හැර වෙනත් යමක්  තමුන්   අතින් ඉටු නොවුණු බව දැන් ඔහු සිහි කරන්නේ ලැජ්ජාවෙනි.

තාත්තා ගේ   රැකියාව අහිමිවීම  නඳුන්ලාට එතරම් දැනුණේ නැත.  රැකියාව තිබුණද තාත්තා දරුවන්ගේ හෝ බිරිඳගේ අවශ්‍යතා පිළිබඳව තැකුවේ නැත.   .

අම්මා ගේ වැටුප ලැබෙන දිනය  සඳුන්ටත් නඳුන්ටත් අමිහිරිම දිනයකි . මුදල් ඉල්ලා රණ්ඩු කරන තාත්තාත්  සිය වැටුප දරුවන් වෙනුවෙන් රැක ගැනීමට වෙර දරන අම්මාත් අතර ගැටුම දිනෙන් දින උත්සන්න විය මුල දී    පියා, මව වැටුප රැගෙන නිවසට පැමිණි පසු මුදල් උදෙසා දබර  කළ ද කල්යත්ම මවගේ පාසල අසලටම ගොස් ඇයගේ වැටුප උදුරා ගැනීමට තරම් ගැටුම වර්ධනය විය

" පරට්ටි... තෝ කොහේ මකබෑවිලා හිටියද මේ කිරි සප්පයො දෙන්න අල්ලපු ගෙදරට  පංගරාර්තු කරල?. අවලමේ යන  බැල්ලි.....'

පියා උදුරාගන්නා වැටුප  නඳුන් හා සඳුන්ගේ කුස හිස් කරන විට අම්මා නගරයේ දරුවන් දෙතුන් දෙනෙකුට අමතර අධ්‍යාපනය ලබාදීමට පටන් ගත්තාය.

"මට අරූගෙ හොම්බට අනින්න හිතයි..'' දහතුන්  වියට පා තබමින් සිටි සඳුන් දත්මිටි කෑවේය.

                 "කවුද අරූ..?   ' අම්මා කෝපයෙන්  ඇසුවා ය. .                                                                        "කවුද ඉතින් අර බේබද්ද මිසක...''

 සමන්මලී ඉස්කෝලේ හාමිනේ තම වැඩිමහලු දරුවා දෙස තියුණු බැල්මක් හෙළුවාය.. ඔහුගේ කෝපය ඇයට වටහා ගත හැක.  ඔහුගේ අතින් අල්ලා ලඟට කරගත් ඇය.  දරුවාගේ හිස සෙමින් අත ගෑවාය.  කෝපය කඳුළු ගඟක් වී සඳුන්ගේ දෙනෙතින් ගලා යන්නට විය.,

                 " පුතේ,  ඒ  ඔයාගේ තාත්තා . එයා වැරදි තමයි.  ඒත් එයා මගේ පුතාගෙ තාත්තා කියන එක වෙනස් කරන්න එයාටවත්, ඔයාටවත්,  මටවත් බෑ. අනුන්ගෙ වැරදි හින්ද අපි අපේ හිත් නරක් කර ගන්නෙ මොකටද ?  ඉවසන්න පුතේ. එයා ඕන දෙයක් කලාවෙ. ඒවයින් පව් පිරෙන්නේ එයාට මිසක අපට නෙවෙයි .අපි කරන දේයි පුතේ අපි ගෙනියන්නෙ.එයා කවදා හරි එයාගෙ වැරදි තේරුම් ගනියි. අපි ඉවසමු .'සඳුන් මවගේ උණුසුමට තුරුලු වී හඬා වැටුනේ ය

එහෙත් තම වැරදි වටහා ගැනීමටවත්, ඒවා  නිවැරැදි කර ගැනීමට වත් තාත්තාට දෛවයෙන් ඉඩක් ලැබුනේ නැත.  වසරක් ගත වීමටත් පෙර බීමතින් පාර හරහා පැනීමේදී ලොරියකට යටවී තාත්තා මියගියේය. අම්මා හෝ සඳුන් හෝ නඳුන් හෝ හැඩුවේ නැත.තාත්තාගේ චිතකය දැවෙන විටත් සඳුන් මෙනෙහි කළේ ලිපෙහි ඇවිලෙන දර කැබැල්ලෙන් පවා තාත්තා අම්මාට පහර දුන් අයුරු ය.   අම්මා තනිව හූල්ලමින් ඉහිලූ දුක් ගින්දරය..

තාත්තා එකම එක හොඳක් කර තිබුණි.  ඒ ඔහුගේ  බීමත්කමින් දුක් විඳි බිරිඳ  හා දරු දෙදෙනා අතර විසල් බැඳීමක්  ගොඩනගා තිබීමයි. අම්මාට පුතෙකු  පමණක් නොව  දියණියකද  වීමට සදුන් උත්සහ කළේය.   ඔහු අම්මාගේ සියලු කාර්යන්හිදී නොසැලෙන ශක්තියක් විය.  අම්මා උයන්නට   අවදි වන විට පාන්දර නැගිට ගන්නා ඔහු ලිප අවුළුවා වතුර කේතලය ලිප තබයි .; පොල් ගායි ; එළවළු තෝරා , සෝදා කපා දෙයි.   ඇය  ගෙය අතුගාන විට ඔහු මිදුල අතුගායි.

"ඕව තියන්න දරුවො , මම කරන්නම් . 'පිගන් කෝප්ප මැද තබන සදුන්ට අම්මා කෑ ගසයි.

මල්ලිගේත්, තමාගේත් රෙදි සෝදන්නේ සඳුන් ය. අම්මා කෙතරම් එපා කීවද ඔහු පාසැල නිමවී පැමිණ ගෙට ගොඩ වන්නේ තමාගේ  ඇඳුම් මෙන්ම  බලෙන්ම ගලවාගත් මල්ලිගේ පාසල් ඇඳුම්ද සෝදා   දැමීමෙන් පසුවය..

තාත්තාගේ මරණයෙන් මානසික නිදහසක් ලත් සඳුන්, ගෙවත්ත මලින් හා එළවළු පලතුරු වලින් අලංකාර කළේය .

"මේ පාරත් අයියා පළවෙනිය.. වාර විභාගයේ ප්‍රතිඵල   ලද  නඳුන් අම්මා අසළ දැවටෙමින් කියයි... කොච්චර පාඩම් කළත් මට අයියා ඉස්සර කරන්න බැරි ඇයි..?'

" අයිය කීවෙනියද  කියල නෙවෙයි රත්තරං, ඔයාගේ. ලකුණු ගැන බලන්න. ඔයා හැම විෂයකටම ලකුණු අසූ පහෙන් උඩ අරගෙන තියෙනවනෙ. ඒ ගැන සතුටු වෙන්න. ඔයා දක්ෂ දරුවෙක්. එයා  ඔයාගේ අයියනෙ  පුතේ එයාගෙ හැකියාව   වෙනයි, ඔයාගෙ  හැකියාව   වෙනයි. '                  එහෙත්    නඳුන්ගේ අපේක්ෂාව වූයේ සඳුන් පරයා පන්තියේ පළමුවෙනියා  වීමය .  සෑම දිනකම අයියා ලකුණු කිහිපයකින් ඉදිරියෙන් සිටී.                          "  මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා   අයියේ. ඒත් අද මට ඒ ගැන දැනෙන්නෙ මා ගැනම කලකිරීමක්, තරහක් විතරයි ..'නඳුන්ගේ සිත  හඬා වැටුණේය .

එළබටු  වගාවේ පල නෙළන අම්මා වරින් වර කෙලින් වී කොන්ද අතගානු සඳුන් දුටුවේ වරක් දෙවරක් නොවේ.

"ඇයි අම්මෙ ඕකට බෙහෙත් ටිකක් ගන්නෙ  නැත්තෙ ? කී දවසක් මං කිව්වද යමු කියල බෙහෙත් ටිකක් ගන්න ..... කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ.'

"නෑ පුතේ පහුගිය ටිකේ ගේ හදන වැඩ වලටත් ටිකක් මහන්සි උනානෙ.... ඒකයි මේ කොන්දෙ    කැක්කුම. තව ටිකක් වැඩි වුනොත් බෙහෙත් ටිකක් ගන්න යමු. හවස් වෙලා මට  බාම් ටිකක් ගාලා දෙන්නකෝ. 'අම්මා සිනාසුනාය

"බාම් ගගා ඉඳල හරියන්නෙ නෑ අම්මෙ. දැන් කී කාලෙක ඉඳලද  ඔය කොන්දෙ කැක්කුම ?ඔන්න හෙට ඉස්කෝලෙ නොගිහින් ලෑස්ති වෙන්න ඕන බෙහෙත් ටිකක් ගන්න .'

"බලමුකෝ අඩු  නොවුනොත්'

"අඩු නොවුණොත්  නෙවෙයි, අපි යමු අම්මේ '....අම්මා සිනාසී    ඉවත යන්නීය. එහෙත්  පසුදා ඇය උදෑසනම සූදානම් වන්නේ පාසල් යාමට ය.

"බෑ දරුවෝ අර ළමයින්ගෙ වැඩ ටික පාඩු වෙනව. තව කොච්චර තියෙනවද ඉවර කරන්න ඔයාලටත් විභාගෙ කිට්ටු නෙ.  ඒ පහුවෙලා අපි දිගට බේතක් කර ගමුකො . 'අම්මා කියන්නේ ඇයගේ ශිෂ්‍යයන් ගැනය .

" මේ රස්සාවට බොරු කරල  මට ලබන ආත්මෙ වෙන්නෙ මන්දබුද්ධික වෙලා උපදින්න . ඔයාලට උනත් මොන ප්‍රශ්න තිබුණත් ඉගෙන ගන්න පුළුවන් වුණේ අපි පෙර ආත්ම වල දැනුම දීලා තියෙන නිසා'

"හා හා ඔයා දිනුම් .  ඒත් ඔයා අපට  ආදරේ නම් බෙහෙත් ටිකක් අරගන්න ඕනෙ'...  නඳුන් ද කතාවට එක් වෙයි .

"ඇයි පුතේ ආදරේ නම් කියන්නෙ?  මගේ මුළු ජීවිතේම උනෙත්, වෙන්නෙත් ඔයාලා දෙන්න තමයි. '..අම්මා කියන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.

"අපි දන්නව  අම්මෙ ඔයා අපි හින්දා ගොඩක් දුක් වින්ද.  කවදහරි අපි හින්ද සැප විඳින කල් ඔයා හොදට ඉන්න ඕන.  ඒකනෙ මෙච්චර කියන්නෙ. අම්ම විතරනෙ අපට ඉන්නෙ  '  සඳුන්  අම්මාට  තුරුළු වන්නේ දෑසේ කඳුළු සමගිනි..

දිනෙන්  දින   කාලය ගෙවී යන්නේ අම්මා ශාරීරිකව දුර්වල  කරමින්‍ ය. අම්මා දකින විට සඳුන්ට සිහිපත්වන්නේ තාත්තා විසින් අතීතයේදී දිගු කෙස් වැටියෙන් බිම දිගේ ඇදගෙන යන අම්මාගේ මුහුණයි.  ඇයගේ මුහුණ එතරම්ම සුදු මැලිය.  ප්‍රසන්න කාන්තාවක වූ අම්මා උදාසීන, කම්මැලි ගැහැනියක බවට පරිවර්තනය වෙමින් සිටියාය.  නිවසේ කටයුතු බොහොමයක් සඳුන්ගේ කරමත පැටවිණි.

පාසල් නිවාඩුව ඇරඹිනි. සඳුන් මෙන්ම නඳුන් ද මව ප්‍රතිකාර සඳහා රැගෙන යාමට දිගින් දිගටම උත්සාහ කළ ද ඇය නම්මා ගත නොහැකිවිය.

"  පුතා අම්මා පරීක්ෂණ ටික කරගත්තද ?    '

" මොන පරීක්ෂණද මැඩම් ? ''

"ඇයි  අම්ම කිව්වෙ නැද්ද ? එයා ඔහොමමයි. කීප දවසක් ඉස්කෝලෙදි කලන්තෙ හැදුණ. මම බෙහෙත් ටිකක් ගන්න එක්ක ගියේ බලෙන්මයි.'

"ඒ කවදද මැඩම්..? '

"  දැන්  සති දෙකක් විතර  වුණා  පුතේ . ඩොක්ටර්   පරීක්ෂණයක් ලියල දුන්න. ඒ පරීක්ෂණයෙන්  කිව්වෙ  අම්මගේ ඇඟේ ලේ අඩුයි කියල. ලේ අඩුකමට හේතුව බලන්නයි  ඉස්පිරිතාලෙට එන්න කිව්වෙ.'

අහම්බෙන් නගරයේ දී මුණ ගැහුණු මවගේ මිතුරු ගුරුතුමිය  නඳුන් ට  පැවසූ නිසා අම්මාගේ අසනීපය පිළිබඳ තතු දරුවන්ට හෙළි විය.

"අම්ම හෙට ඉස්පිරිතාලෙට යන්න එන්නම ඕනෙ.. 'නිවසට පැමිණි නඳුන් දැඩිව පැවසීය.

"තව මාස තුනයි ඔයාලගෙ විභාගෙට...'

"මාස තුනක් ම තියෙන්නෙ.  තවත් ළං වෙලා හොදටම ලෙඩ වුණොත් උනොත් මොකද කරන්නෙ? බෙහෙත් ටිකක් බීල අම්ම නැගිට ගත්තොත් මේ මාස තුන   අපිට පාඩම් කළ හැකි '..නඳුන් කරුණාවෙන් කීය.

"ඒක ඇත්ත අම්මෙ, දවස් දෙක තුන නෙ... යමුකෝ...' සඳුන් ද ඇවිටිලි කළේය.

"අම්මගෙ     ගර්භාෂය ඉවත් කරන්න වෙනවා .'

තුන්වන ලේ පැකැට්ටුවත්  ශරීරයට ඇතුළු වන අතරේ  සමන්මලීගේ ඇඳ අසලට පැමිණි වෛද්‍ය වරයා කීය."..... අම්මගෙ ඇඟේ ලේ හොඳටම අඩුවෙලා. මෙච්චර කාලයක් ලේ යද්දිත් ප්‍රතිකාරයක් නොගත්තෙ  ඇයි ?'

"අනේ  ඩොක්ටර්, මගේ දරුවො  ජීවිතේ ගොඩක් දුක් විඳල තියෙනව.  ළමයි දෙන්නගෙ  ඒ ලෙවල් විභාගෙට තව මාස තුනයි. මෙච්චර දුක්විඳල  ඒ දරුවො ජීවිතේ ගොඩ දා ගන්න හදද්දි මම කොහොමද ලෙඩදුක් කියලා ඉස්පිරිතාලෙ ඉන්නෙ?  ඒ දෙන්නත් ඔබතුමා වගේ වෛද්‍ය වරු දෙන්නෙක් කරන එක තමයි මගේ හීනේ...'

වෛද්‍යවරයා ඇයගේ උරහිසට තට්ටු කළේ අනුකම්පාවෙනි.

"  අපට මේ ඔපරේෂන් එක තවත් කල්දාන්න බැහැ අම්මා . මං ප්‍රාර්ථනා කරනවා අම්මගෙ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල.  ඒක ඉටු වෙනව  බලන්න   වාසනාවත් අම්මට ලැබෙන්න කියල.'

ගර්භාෂය ඉවත් කරන ලද අම්මා ශාරීරිකවත් මානසිකවත් දිගින් දිගටම පිරිහුණාය.  ඊට හේතු අනාවරණය වූ දා සඳුන්  පිටුපස ඉඩමේ ලඳු කැලෑවට වැදී කෑගසමින් හැඬිය.  අම්මාගේ   ගර්භාෂයේ හටගත් පිළිකාව ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් එකිනෙක ආක්‍රමණය කරන්නට විය.

සඳුන් නිවසේ බර කරට ගත්තේය. අම්මාගේ  සියලු කටයුතු ද,  නිවසේ කටයුතු ද ඔහු අතින් නොපිරිහෙලා ඉටු විය . මෙසේ වන විට අතපසු වන්නට වූයේ සඳුන්ගේ අධ්‍යාපන කටයුතුය. සිය නිවුන් සොහොයුරාගේ පවා උපකාරයක් නොපැතූ ඔහු සියල්ලටම නිහඬවම මුහුණ දුන්නේය.. හැකි හැම විටම පාඩම් කටයුතුවල නිරත වුවද  විඩාපත්    යෞවනයා වෙනදාමෙන් ප්‍රබෝධමත්ව අධ්‍යාපනයේ යෙදුණේ නැත .

උසස් පෙළ විභාගයේ තම සාමාර්ථය ගැන සඳුන්ට ලොකු විශ්වාසයක් නොවිණි. සිතූ ලෙසම ඔහු සාමාන්‍ය සාමාර්ථයක් පමණක් ලබා තිබුණි.     නඳුන් විශිෂ්ට ලෙස උසස් පෙළ කඩයිම ජය ගත්තේය. පාසලෙහි පමණක් නොව අධ්‍යාපන කලාපයෙහි ම වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵලය ඔහු සතුවිය. සඳුන්ට දුක සිතුනු බව සැබෑය . එහෙත් තම පරාජය ගැන වූ දුක අභිබවා මලණුවන්ගේ ජයග්‍රහනය පිළිබඳ වූ මහත් අභිමානයකින් ඔහු සිනාසුනේය .

" අම්මෙ, මල්ලිගෙ තමයි කලාපයේ හොඳම  ප්‍රතිඵල.  ඔයාට සතුටුද..?  'අම්මාගේ දෙනෙතින් උණු කඳුළු ගලා ගියේය.  ඇය සඳුන්ගේත්, නඳුන්ගේත් අත් තදින් අල්ලාගෙන පපුවට  හිර කර ගත්තා ය.

"   මගේ දරුවෝ .....කොච්චර... දක්ෂද කියලා.... මම දන්නවනෙ.... ලොකු  පුතත්... ඔතන ඉඳීවි ...මං ...ඇඳට  වැටුණෙ...  නැත්නම්... 'අම්මාගේ වදන් අතුල් පහරක් සේ නඳුන් ට දැනුනේය.."...... මගේ ...පුතාගේ .....ජීවිතේ ...විනාශ කරන්න ....ආව ....කාලකන්නි... ගෑණියක්  මම ...' අම්මා අපහසුවෙන් අමුණන  වදන් වඩාත් රිදවන්නේ නඳුන් ටය. ".... අනේ.... ඉක්මනට... මාව මැරිල... යනවනං'

"මොනවද අමිමෙ   මේ කියන කතා..?  මට අම්මව සනීප කරගන්න එක හැමදේටම වඩා වටිනව. විභාග නම් කවද   කරන්න බැරිද..? අම්ම සනීප උනාම මම ආයෙ විභාගෙ  ලියන්නම්.. . ලියල  කොහොමහරි දොස්තර කෙනෙක්ම වෙන්නම්කො'.

අම්මා නිශ්ශබ්ද වූවාය . එහෙත් ඇයගේ දෑස නඳුන්ටත් ,සඳුන්ටත් ඇය නොකියූ බොහෝ දේ කීය දේ කීය. නඳුන් සඳුන්  දෙස  බැලුවේය.   අයියාගේ දෑසේ රැඳී තිබුණු භීතිය හඳුනා ගන්නට ඔහුට අපහසු නොවිණි.  අම්මා සියදිවි නසා ගනීවි දැයි  බියකින් නදුන්ගේ සිතද ඇවිලී ගියේය.

"අයිය  ආයෙ විභාග ලියයි අම්මේ.  එයා ඊළඟ පාර ලේසියෙන්ම  පාස්  වෙයි. .. '

අම්මා කිසිවක් නොකීවාය   වරක් සඳුන් දෙසද නඳුන් දෙසද   බලා අපහසුවෙන් ඇඳේ හාන්සි වූවාය . ඒ මොහොතේ පටන්ම සඳුන් අම්මාගේ ඇඳ අසල බිම  පැදුරක රැය පහන්  කිරීමට පටන් ගත්තේය.  ඔහු අම්මා පිළිබඳව වඩාත් සුපරික්ෂාකාරී විය..

අම්මාගේ කටයුතු කිරීම  පිළිබඳව   නඳුන්ට එතරම් වැටහීමක් තිබුනේ නැත.  අයියා කරමින් සිටි කටයුත්තකට සහාය විය යුත්තේ කෙසේදැයි කියාවත් විටෙක ඔහුට වැටහුණේ නැත. ඇතැම් දේ ඔහුට කොහෙත්ම කරගත නොහැකි විය. . එහෙත් අයියාගේ විභාගය ළං වන විට හැකිතාක්  ඔහුට පාඩම් කිරීමට කාලය ලබාදීමට නඳුන් උත්සාහ කළේය .

අම්මා සිටියේ ඇද විට්ටමට හේත්තු වී මොනවාදෝ   කල්පනා කරමිනි. නඳුන් කසාය කෝප්පයද ගෙන ඇය වෙත ගියේය.

"ලොකු පුතේ.... විභාගයට ...තව මාසයක්වත් ..නැහැ නේද? .. අ....නේ පුතේ .. ඔයා  ..විභාග ...පාස්   ..නොවුණොත් ... මේ අම්මට ....ඔයාගෙ...   අනාගතේ ...නාස්ති කළ  ..පව ගෙවල  ..ඉවර ..කරන්න... බැරි වෙයි. මං.... හින්දනෙ   ...මගෙ..    පුතාට ....පාඩම් ..කරගන්න බැරි වුණේ....  පුතා ...මල්ලිවවත් ...උදව් ක..රග..ත්තෙ..... නෑනෙ. ....එයාට ..ඕවා.. තේරුමක් නැහැ ..කිය කියා ...ඔයාම ...ඔක්කොම කළා ..... මල්ලිට......දුක් ..නොදී... මගේ පුතා ම ....සේරම.... තනියෙන්.... වින්දා ....' අම්මා අසීරුවෙන් වුවද නොකඩවා කියවයි

නදුන්ගේ දෑසේ කඳුළු උතුරන්නට විය.  තම සොහොයුරා කෙතරම් කැප කිරීමක් කර ඇද්දැයි ඔහුට වැටහෙන්නේ දැන්ය . තාත්තා කෙනෙකු නොවූ නිවසට තාත්තා වූ ආදරණීය සොහොයුරා වෙනුවෙන් දරාගත නොහැකි සෙනෙහසක් දයාවක් ඔහුට දැනුණි.

"  මම ලොකු නෙවෙයි අම්මෙ.ඒත් මම අද ඔයාට පොරොන්දු වෙනව... මම අයියව  විභාගෙ පාස් කරවල    කොහොමහරි දොස්තර කෙනෙක් කරනව.'

අම්මාගේ හිස අතගා  කාමරයෙන් පිටව ගිය නඳුන් බොහෝ වෙලාවක් ඇඳේ පෙරළී  හැඬුවේය.  අයියාගේ කටයුතු වලට සහාය වූවා නම්, ඔහු සමග වැඩ බෙදා ගත්තා නම් අද නඳුන් කලාපයේ ප්‍රථමයා නොවන්නට ඉඩ තිබුණි . එහෙත් අයියා ද සරසවි වරම් ලබන්නට ඉඩ තිබුණා  නොවේද ?බරපතළ   වරදකාරී හැඟුමක් නදුන්ගේ සිත පෙළන්නට විය .

බොහෝ වේලාවකට පසු සටහන් පොතක්  ගත් ඔහු සහෝදරයා සොයා ගියේය.

"අයියේ අම්මගෙ රෙදි ටික අද මම හෝදන්නම්. ඕක මට දීලා මේ ටික බලා ගන්න' .                         "ඔයාට මේවා කරන්න බෑ මල්ලි ''

"අනේ මේ ඔයා හිතාගෙන ඉන්නෙ ඔයා හරි ලොකු මිනිහෙක් කියලද..?... විනාඩි දෙකේ අයියා    '

"විනාඩි දෙකේ වුණත්  අයියනෙ:.

"අනේ... මහ ලොකු විනාඩි දෙක.. පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල ආවම බලෙන් කලිසම ගලවන් යන්නත් ඔයා පාවිච්චි කළේ ඔය විනාඩි දෙකේ ලොකුකම තමයි.'

බොහෝ කලකට පසු අයිය මලෝ දෙදෙන  හඬනගා සිනාසුනහ.

කෙලෙස කීවත් අම්මාගේ කටයුතු   නඳුන් ට පැවරීමට සඳුන් කැමති වූයේ නැත.

"හරි එහෙනම් මම පාඩම කියවන්නම්. ඔයා ඔය වැඩේ කරන ගමන් අහගෙන ඉන්න.'. හැකි සෑම විටකම නඳුන් පොතක්ද  ගෙන සඳුන් පසුපස ගියේය .

"බලනකොට පාඩම් කරන එක හරි ලේසියි නේ .'  සඳුන් සිනාසෙයි .

" ලේසියි ඉතින් මම වගේ උතුම්, ගුණගරුක මල්ලියෙක් ඉන්න හින්ද'

"එහෙමදා....'සදුන් ඔලොක්කුවට  අසයි.

" ඇයි නැද්ද.'....''

"   මොකෝ නැතුව..... ' සහෝදර සමාගමේ සිනා හඩ  වැතිර සිටින අම්මාට පවා සිනා  පහළ කරයි.

"  ලියල  ඉවර ද ?'

සෝමරත්න ගුරු මහතාගේ ඇමතුමෙන්  නඳුන් නැවත විභාග ශාලාවේ පුටුව මතට වැටුණේය.ප්‍රතිචාර වශයෙන් පෑ සිනාව  නඳුන්ගේ මුවින් අතුරුදන් වන්නට ගතවූයේ තප්පර ගණනකි. ඒ විභාග නිරීක්ෂකගේ අතින් සන් කිරීම මත ඔහුට නැගී සිටින්නට සිදු වූ බැවිනි. ගුරු මහතා පසුපස ඇදුනු ඔහු ශාලාවේ කෙළවරක වූ ශාලාධිපතිවරයා වෙත යොමු කෙරිණි.

කිසිවක් වටහා ගත නොහැකිව වික්ෂිප්තව  හුන් මොහොතකට පසු ඔහුට සියල්ල වැටහෙන්නට විය.  නඳුන්ගේ ඉහමොල රත්විය . . සිදුව ඇති සියල්ල පැහැදිලිය .

තමා මෙතරම්  අපරීක්ෂාකාරීව කටයුතු කළේ මන්දැයි ඔහු තමාටම දොස් පවරා ගත්තේය . නඳුන්ගේ දෑසෙන් කඳුළු ගුලි දෙකක් පැන්නේ ඔහුටත් නොදැනීමය.  ශාලාධිපතිවරයා අසුන් ගන්නැයි නඳුන්ට අතින් සන් කරයි. අප්‍රාණිකව සිටි නඳුන් ක්ලාන්ත වී වැටීමට ආසන්නව සිටි බැවින් වහා ඔහුට කීකරු විය . දැන් කුමක් කිව යුතුදැයි, කුමක් කළ යුතු දැයි ඔහුට නොහැඟේ. වරද තමාගේය. අපරික්ෂාකාරී ලෙස ක්‍රියාකිරීමේ දඬුවම ලෙහෙසි පහසු නොවනු ඇත.

"මේ අත්සන කාගේද පුතා ?'

"  ම..ම.......ම...ගෙ   සර්..'

: " මම අහන්නේ  ඇඩ්මිෂන් එකේ අත්සන ගැන.....'

නඳුන් බිම බලාගත්තේය කඳුළු ගුලි එක පිට එක ඔහුගේ දෙනෙතින් රූරා  වැටෙන්නට  විය. අහිංසක සොහොයුරාගේ දුක්බර මුහුණ ඔහුට ඒ කඳුළු ගුලි අතරෙන් මැවී පෙනුනි.

" මගේ අයියගෙ.... එක බඩවැල කඩාගෙන එකටම මේ ලෝකෙට ආව මගේ  අහිංසක    අයියගෙ  ..  ....' නඳුන් ඉකිබිඳිමින් කීය.  සිය සොහොයුරාගේ හැඳුනුම්පත සාක්කුවෙන් ඇද ගත් ඔහු එය පරීක්ෂකවරයා වෙත පෑවේය.

තම පුතු සිහිපත් වීමෙන්  විභාග නිරීක්ෂක සෝමරත්න මහතාගේ සිත සසල විය.  පළමු  වාරයෙන්ම සරසවි වරම් ලබා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් ඉතා වෙහෙස වී උසස් පෙළ විභාගයට පාඩම් කළ  ඔහුගේ එකම පුතු විභාග ප්‍රතිඵල ලත් මොහොතේ හඬා වැටුණු ආකාරය ඔහුට  නඳුන්ගේ හැඬුම දැකුමින් සිහිවිය . ශාලාධිපතිවරයා  නඳුන්  දෙසත් හැඳුනුම්පත දෙසත් කිහිප වරක් බැලිය. .අත්සනේ වරද නොවන්නට කිසිසේත් මේ වංචාව වටහාගත නොහැකි වනු ඇත .

" ඔව් සර්, එයා මගේ විනාඩි දෙකේ අයියා .  ' නඳුන් හිස මඳක් ඔසවා කීය.

"ඉතින් ඇයි දරුවො මෙහෙම දෙයක් කළේ ?  '

"ඒක දිග කතාවක් සර්. ...මට ඕන කළේ මගේ අයියට උදවු කරල මගේ හිත නිදහස් කරගන්න    '

නිරික්ෂකවරයාත්   ශාලාධිපති වරයාත් මුහුණෙන්  බලාගත්හ. නඳුන් ට   අවශ්‍ය වූයේ  පාපොච්චාරණයක් කර සිත පෙළන වරදකාරී හැඟීමෙන් මිදීමටය.

" කොහොමද  අයියෙ  paper  එක?'

"ශාහ්...මරු එකට  print කරල තිබුණ.දැක්කම ආසාවෙ  බෑ..'.සඳුන් සිනාසෙමින් කියයි

" විහිළු නෙවි ...කියන්නකො.. ලේසිද..'

"ආයෙ මොනවද ඉතින්.... ලියන එක ලිව්වා ඇට්ටි හැලෙන්න... මෙදා අපි ගොඩ.'

සදුන්ට වඩා සතුට උතුරන්නේ අම්මාගේ මුහුණේය.

අම්මාගේ තත්වය දිනෙන් දිනම නරක තත්වයට හැරේ. සදුන්ද ඒ - හාම දිනෙන් දින වැහැරෙයි.ඔහුගේ මුහුණ කියාපාන්නේ අතිශය විඩාපත් බවකි.

විභාගයේ අවසන් දින ද නඳුන් අයියාට පෙර අවදි විය . හැකි අයුරින් බතක් ව්‍යංජනයක් සකස් කළේය. වෙනදා පාන්දර අවදිවන අයියා අද තාමත් නැත.

අයියා වෙනුවෙන් සෑදු තේ කෝප්පයද රැගෙන නඳුන් ඔහු සොයා ගියේය .

"අයියේ ,..හොරා වගේ අදම නිදි නේද?  හෙට ඉඳලයි ඔයාට නිදියන්න පුළුවන්' සොහොයුරාගේ   පොරෝනය අදිමින්  නඳුන් කීය.

පොරෝනයේ ගිනි රස්නය නඳුන් ට දැනුණි. ඔහු  සඳුන්ගේ ඇඟට අත තබා බැලිය..

"ඔයාට හොඳටම උණනෙ අයියෙ.'

සඳුන්ගෙන් පිටවූයේ කෙඳිරියක් පමණි. කළ යුතු කිසිවක් නඳුන්ට වැටහුණේ  නැත. අම්මාගේ අවසාන බලාපොරොත්තුව......... වෛද්‍යවරුන් පවා අතහැර දමද්දී  තවමත් අම්මා සුවකර ගැනීමට සියල්ල කැප කරන සොහොයුරාගේ අනාගතය...... ඉටු නොකළ වගකීම් වෙනුවෙන් පසුතැවෙන හෘද සාක්ෂිය...... මේ සියල්ල නඳුන් ගේ මනස ක්ෂණයකින් අවුල් කර දැමිය. අවට ලෝකය භ්‍රමණය වන සෙයක් ඔහුට දැනේ.

"නැගිටින්නකෝ අයියේ මේ බෙහෙත් පෙති දෙක බීල විභාගයට යන්න බලන්නකො '

සඳුන්ගේ දැඩි පෙරැත්තය නිසාම පෙති දෙක ගිලදැමූ සඳුන් අප්‍රාණිකව ඇඳට වැටුණේ ය. නඳුන්ට දැනුනේ ලෝකයම අහිමි වූ හැඟීමකි බොහෝ වේලාවක් කල්පනා කළ ඔහු නැගී සිටියේ   කුමක් කළ යුතුදැයි සිතමිණි.  විභාගයට පෙනී සිටීමට යාම සඳහා පෙර දින අයියා විසින් සූදානම් කර තිබූ ෆයිල් කවරය මේසය මත  තිබී  නඳුන්ගේ අතෙහි වැදී බිම වැටිණි . සඳුන්ගේ හැඳුනුම්පත බිම වැටී සිටියදී ම නඳුන් සමග සිනාසුනේය.

"අනේ පුතේ, ඔයා අයියාගෙ ටිකත් කෑවද? මම හිතුවේ අයිය කියල. ඔයාට කියන්න තිබුණනෙ අයියට දෙන්න කියල.පෙනේද හොර කොල්ල කරපු දේ...'

නොදන්නාකමට අයියා ලෙස පෙනී සිට ඔහුගේ කොටසද වංචාවෙන් ලබාගත් ළමා කාලය ඔහුට සිහිපත් වූයේ නිරායාසයෙනි .ඒ සමගම ඔහුට සිහි වූයේ මසකට පමණ ඉහත දී අයියා යයි වරදවා සිතා අම්මා ඔහුව  විභාගයට උනන්දු කරවූ ආකාරයයි..

නඳුන් නිහඬවම අයියාගේ හැඳුනුම්පත අහුලා ගත්තේය.  ඔහු කඩිනමින් සූදානම් විය.

" අක්කේ,  .....අක්කේ  '

"මේ එනෝ....'

"අයියට හොඳටම උණ. මම කෑම ලැහැස්ති කළා අක්කට පුළුවනි ද ටිකක් අපේ පැත්ත බලන්න?' මං එන්න ටිකක් පරක්කු වෙයි . '

"ලොකු ට විභාගේ නේද මල්ලි අද  ?'

"එයාට නැගිට ගන්නවත්  බෑ අක්කෙ'

අසල්වැසි යුවතිය නඳුන් දෙස මොහොතක් පරීක්ෂාවෙන්  බලා සිටියාය .

"පරිස්සමෙන් මල්ලි.... බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා... චේතනාහං භික්කවේ කම්මං වදාමි.. කියලා. බුදු සරණයි ඔයාට !'

නදුන් කිසිවක් නොකියාම බස් නැවතුම්පොළ  දක්වා ඇවිද ගියේ යන්ත්‍රයක් පරිද්දෙනි .

"හොරෙකුට බුදු සරණයි කියන්නෙ. අනේ අක්කෙ ඔයා....'

" මේ මගේ අම්මගෙ අන්තිම බලාපොරොත්තුව. අම්මා දාස් ගානක් ළමයින්ගෙ  අනාගතය හදලා ඇති. ඒත් එයාගේ පළවෙනි දරුවගෙ  අනාගතේ එයාගෙ අසනීපෙ නිසා නාස්ති වුනොත්  එයාට දරාගන්න බැරි වෙයි..මගේ අහිංසක අයියගෙ ඉගෙනීම නතර වුණොත් ඒ  පාපකර්මය මටත් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි . '.......

නඳුන් නොකඩවා හඬා වැටෙයි. සෝමරත්න මහතාගේ  දෙනෙතින් වැටෙන කඳුළු වලක්වා ගැනීමට  ඔහු තවදුරටත්  අසමත් ය.                                   "අනේ සර්,  අම්මත් නැති මගෙ දරුවා    විභාගය ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ. ගොඩක් මහන්සි වුණා. ඒත් එයාගේ ප්‍රතිඵලය අපි හිතුව තරම් හොඳ වුණේ නෑ . මගේ දරුවා ඒක ගැනම හිතල අද මානසික රෝගියෙක්. මගේ දරුවාට වුණ දේ තවත් දරුවෙකුට වෙන්නද මේ යන්නෙ? '

ශාලාධිපති වරයා මොහොතක් කල්පනා කළේය.

"ප්‍රශ්න පත්තරේ එකතු කරන්න වෙලාව හරි නේද? '

ඔහු නිරීක්ෂකවරයා ගෙන් ඇසීය.විභාග නිරීක්ෂකවරයා අත් ඔරලෝසුව දෙස බලා අකමැත්තෙන් මෙන් ශාලාවට යාමට පියවර එසවීය .

"මේ දරුවට අසාධාරණයක්  වෙන්න දෙන්න එපා  සර්.'

ශාලාධිපතිවරයාට කළ යුත්තක් සිතාගත නොහැක . වසර  තිහක සේවා කාලය තුළ තමා ආරක්ෂා කරගත් හොඳ නම හා හෘද සාක්ෂිය එක පසෙකය . මනුෂ්‍යත්වය තවත් පසෙකය. නඳුන් ඔහු දෙස    බලා සිටින්නේ යාචකයකු පරිද්දෙනි.                  කරුණාසේන මහතාගේ මනස දෙපසට දෝලනය වෙයි . රාජකාරි ජීවිතයේ මෙතරම් අසීරු මොහොතකට කෙදිනකවත් මුහුණ දී නැත. කළ යුත්තේ කුමක්ද?  එක්කෝ දරුවාගේ අත්සන් දෙක වෙනස් බව අමාත්‍යාංශයට දන්වා යැවිය යුතුය. නැතහොත් දරුවාට අත්සන වෙනස් කිරීමට ඉඩ දිය යුතුය. අවංක රාජ්‍ය සේවකයෙකු ලෙස එය කළ නොහැක. එය අන්‍යයන්ටද වැරදි ආදර්ශයකි. කරුණාසේන මහතා තදින් සිතුවේය .

" මට කණගාටුයි ළමයා .ඔහු පෑන සුරතට ගත්තේය. මට මගේ රාජකාරිය කරන්න වෙනවා   '

නඳුන් ට ඉකි ගැසුණේය. ආදරණීය අම්මාත් අසරණ අයියාත්  සිහිවීමෙන් ඔහුගේ හදවත පුපුරා යන්නට ආසන්න බවක් ඔහුට දැනිණි.

" මං වැරදි තමයි සර් .අනේ මං  මුල ඉඳලම වැරදි  තමයි  '

ශාලාධිපති වරයාගේ අත වෙව්ලන්නට විය දක්ෂ දරුවන් දෙදෙනකුගේ අනාගතයට මරණ දඬුවම් දීමේ වගකීම ඔහුට පැවරී තිබේ තීන්දුව ලියා පෑනේ තුඩ කඩා දමා හෘද සාක්ෂියෙන් ගැලවී යා හැකිද? සේවා කාලය තුළ යෙදෙන අවසන් විභාග අධීක්ෂණ රාජකාරිය ජීවිත කාලය පුරාම සිහිපත් කරමින් මනසින් වේදනා විඳවීමට ඔහුට සිදුවනු ඇත.

නදුන් දෙස තියුණු බැල්මක් හෙලූ කරුණාසේන මහතා පෑන ඔහුට දිගු කළේය.

" ඔය "න"යන්න " ස" යන්න කරනව ඉක්මනට  මගේ හිත වෙනස් වෙන්න ඉස්සර.'

නදුන් කිසිවක් නොසිතාම වහා පැන පෑන ඩැහැ ගත්තේය. ශාලාධිපති වරයා මේසයේ හිස ඔබා ගන්නා විට විභාග නිරීක්ෂක වරයා මද සිනාවක් පා  නඳුන් ට ඉවත්ව  යන ලෙස හිසින් සන් කලේය .නඳුන් ශාලාධිපති වරයාගේ දෙපා මුල වැඳ වැටී හඩන්නට විය..

තම ලෙයින් බිහි වූ පුතුන් දෙදෙනා උසස් පෙළ කඩයිම ජය ගත් බවක් කරුණාසේන මහතාට දැනුණේය. ඔහු යුතුකම් ඉටු කළ   පියෙකි.   ඊළඟ තත්පරයේදී  තමා   අවිවාහක බව සිහිපත් වීමෙන් ඔහුගේ මුවගට  සිනාවක් පහළ විය. කෙදිනකවත් නොදැනුණු ආත්ම තෘප්තියක් ඔහුට දැනුණේය.

එහෙත් කුමක්දැයි කිව නොහැකි බර ගුලියක් හදවත තුළ ඉතිරි වී  තිබුණි. තවදුරටත්  ඔහු ගුරු  වෘත්තියට සුදුසු නැත. තවත් වසරකින් සේවය දීර්ඝ කර ගන්නා ලෙස විදුහල්පතිතුමා කළ ඉල්ලීම පසෙක ලා විශ්‍රාම  යාමට ඉල්ලුම් කළ යුතු යයි කරුණාසේන මහතා  තීරණය කළේය.